ජිනීවා මානව හිමිකම් සමුළුවේ බොරු සාක්‌කිකරුවෝ

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

ජිනීවා මානව හිමිකම් සමුළුව ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය ප්‍රකාශ කරන්නන්ගේ මූලස්‌ථානය බවට පත් වී ඇත.

මේ සතියේ දිනෙක ප්‍රභාකරන්ගේ සමීපතම ඥතියකුවන එම්. කේ. සිවාජිලිංගම්, ත්‍රිකුණාමල කොටි හමුදා නායක වූ එලිලන්ගේ බිරිය වූ ආනන්දි සසිතරන් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු ජිනීවා මානව හිමිකම් සමුළුවේදි ශ්‍රී ලංකාවට එරෙහිව බොරු ප්‍රකාශ රැසක්‌ කරනු ලැබූහ.

එලිලන්ගේ බිරිය ආනන්දි සසිතරන් මෙලෙස කියා සිටියේය.

අපේ නිජබිම සිංහල හමුදාව මුළුමනින්ම අල්ලාගෙන අවසානයි. හැම උත්සවයකටම හමුදාව එනවා. කතාකරන්න ඉඩක්‌ නැහැ. ඔවුන් හැමදේම අල්ලාගෙන සිටිනවා. දේශපාලන සිරකරුවන් (කොටි) වසර ගණනක්‌ තිස්‌සේ රඳවා ගෙන සිටින අතර ඔවුන්ව නිදහස්‌ කර නැත. සැමදාම අපේ ද්‍රවිඩ කාන්තාවන්ට හා තරුණියන්ට හමුදාව විසින් ලිංගික වධ හිංසා කරනවා. ද්‍රවිඩ කාන්තාවන්ව උපත් පාලනයට යොදවනවා. සිංහල හමුදාවන්ට දරු උපත් වැඩිකරන ලෙස රජය උපදෙස්‌ දී තිබෙනවා.

මේ රජය ඉතා ක්‍රමානුකූලව ද්‍රවිඩ රාජ්‍ය විනාශ කරනවා. අපේ සංස්‌කෘතිය දේශපාලනය හා ආර්ථිකයද වනසනවා. සිංහල ආණ්‌ඩු වසර 65 ක්‌ තිස්‌සේ ද්‍රවිඩයන්ට අසාධාරණ ක්‍රියා සිදු කළා. අන්තර්ජාතික ප්‍රජාව මැදිහත්වී අපට දේශපාලන විසඳුමක්‌ දිය යුතුයි.

ද්‍රවිඩ රාජ්‍ය වැනසීමට ඔවුන් ද්‍රවිඩයන්ව සංහාරය කරනවා. යුද්ධය පැවැති සමයේ සිදුවු උල්ලංඝනය කිරීම් සහ ඉන්පසුව සිදුවූ උල්ලංඝනය කිරීම් ගැනද අන්තර්ජාතික විමර්ශනයක්‌ අවශ්‍යයි.

ඝාතන රැසක්‌ සිදු කළ ප්‍රභාකරන්ගේ සමීපතම ඥතියකු වූ එම්. කේ. සිවාජිලිංගම් මෙලෙස කියා සිටියේය. ''දස දහස්‌ ගණනක්‌ ද්‍රවිඩයන්ට තමන්ගේ අහිමි වූ අය ගැන යුක්‌තියක්‌ අවශ්‍යයි. ද්‍රවිඩයන්ව කෲර ලෙස ක්‍රමානුකූලව ඝාතනය කළා. ශ්‍රී ලංකා රජයට ඔබලා වසර පහක්‌ කල් දුන්නා. නමුත් රජය කිසිදු ලෙසකින් ක්‍රියා කළේ නැහැ. උතුරු පළාත් සභාව ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා යෝජනාවක්‌ සම්මත කරගත්තා.''

ඉම්ඩා සංවිධානයේ නායිකා නිමල්කා ප්‍රනාන්දු සමුළුව අමතමින් ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ දිගු කලක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ ජනතාව බලාපොරොත්තුව සිටි බවත් අපට අන්තර්ජාතික විමර්ශනයක්‌ අවශ්‍ය යෑයි කියා ද සිටියාය.

මේ රාජ්‍ය නොවන සංවිධාන නායිකාව පවසන අන්දමට තම රටේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා ඇත්තේ ජනතාවයි. මෙය මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශනයක්‌ නොවේද?. මන්නාරමේ ජෙයපාලන් පියතුමාද උතුරු ප්‍රදේශය හමුදාකරණයට ලක්‌වී ඇතැයි කීවේය.

අනතුරුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක්‌ යයි හඳුන්වාගත් ඈන් කැතරින්ද සමුළුව අමතමින් අවතැන්වූවන් 90000 ක්‌ ශ්‍රී ලංකාවේ සිටින බවට තවත් බොරුවක්‌ කීවාය.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ තවත් මානව හිමිකම් ක්‍රියාකාරිකයකු යයි පවසමින් නිරාන් ඇන්නටේල් නමැත්තකුද සමුළුව අමතනු ලැබීය. එහෙත් මානව හිමිකම් සමුළුව ඇමතූ අයගෙන් දෙදෙනකු මානව හිමිකම් උල්ලංඝනය කළවුන්ට සමීපතම අයයි.

මානව හිමිකම් ගැන හඬ නගන ආනන්ති සසිතරන් ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලිලන්ගේ බිරියයි. ගොවීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් මාවිල්අරාe සොරොව්ව වැසුවේ එලිලන්ය.

ත්‍රිකුණාමලයේ මුස්‌ලිම් ග්‍රාමාරක්‍ෂකයන්ව පැහැරගෙන ගියේ ඔහුය. වන්නියේ පාතිමා දෙව්මැදුරේ ලැගුම්ගෙන සිටි ද්‍රවිඩ අනාථයන් රැසකට වෙඩි තබන ලෙස නියෝග කළේද එලිලන්ය.

පසුගියදා උතුරු පළාතේ පැවැති පළාත් සභා මැතිවරණයේදී ද්‍රවිඩ මාධ්‍යවේදියකු ආනන්දි සසිදරන්ගෙන් ප්‍රශ්න කළේ සිවිල් වැසියන් පැන යැමට උත්සාහ කරද්දී වෙඩි තැබීම ගැනයි.

පිරිසක්‌ දුක්‌ විඳින විට තවත් පිරිසකට පැන යන්න දිය හැකිදැයි ඇය කියා සිටියාය. එසේ නම් දැන් ජිනීවා ගොස්‌ මානව හිමිකම් ගැන හඬනගන්නේ මානව හිමිකම් උල්ලංඝනය කළ පිරිස්‌ නොවේද?

මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු අතරින් නිමල්කා ප්‍රනාන්දුට අවශ්‍ය වී ඇත්තේ උතුරට ස්‌වයංපාලනය දීමයි. ස්‌වයංපාලනයට ඇති හිමිකම අහිමි කර තිබෙනවා යෑයි ඇය මානව හිමිකම් සමුළුවේදී කියා සිටියාය.

ඉන් ඇය කියන්නේ ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළාම් රාජ්‍යය නොදීමත් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌a ලෙසයි. එසේ නම් ඉන්දියාවේ බිහාරයේ මාඕවාදීන්ට හා ඇසෑමයේ බෙදුම්වාදීන්ටත් ස්‌වයංපාලනය නොදීම ඉන්දීය රජය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ නොවන්නේද?

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යෑයි කියමින් මානව හිමිකම් සමුළුව හමුවට යන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ කොටි හිතවාදීන්ට හා කොටි ඩයස්‌පෝරාවේ ඉල්ලීම් ඉටු කරලීමට සහාය වීම නොවේද?

මේ අන්දමට ඊශ්‍රායලය යුද අපරාධ කළ බව කියමින් බ්‍රිතාන්‍ය අධිකරණ හිටපු විදේශ ඇමැතිනිS මිසි ලිවිනිට එරෙහිව චෝදනා නඟද්දී සමස්‌ත ඊශ්‍රායල් ජනතාවම ඊට විරුද්ධ විය.

ආණ්‌ඩු පක්‍ෂය මෙන්ම විරුද්ධ පක්‍ෂය ද එක්‌වී දැක්‌වූ විරෝධතා නිසා බ්‍රිතාන්‍ය රජයට සිදු වූයේ අධිකරණ නියෝගය ඉවත් කර ගැනීමටයි.

එහිදී ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුq පැවසුවේ බ්‍රිතාන්‍ය බලධාරීන්ද යුද අපරාධ සිදු කර ඇති නිසා ඊශ්‍රායලය නඩු අසා චෝදනා ගොනු කරන බවයි.

මේ තත්ත්වය මත කොටුවේ මහ බැංකු බෝම්බය නිසා 100 කට අධික සිවිල් වැසියන් මිය යැම ගැන ප්‍රභාකරන් ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල නොවූයේ මන්ද".

නවි පිල්ලේගේ විමර්ශන වාර්තාවෙන් කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ ගැන ද සෙවිය යුතු යෑයි ප්‍රකාශ කර ඇතත් ඇමරිකාව පසුගිය මාර්තු 3 දා ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේ කිසි තැනක කොටි අපරාධ ගැන සෙවිය යුතු යෑයි දක්‌වා නැත.

ඊට මූලික හේතුව නම් යුද අපරාධකරුවන් වූ රුද්රකුමාර ඇමරිකාවේද ඇඩෙලා බාලසිංහම් බ්‍රිතාන්‍යයේද සිටීමයි.

මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ වරක්‌ පැවසුවේ රුද්රකුමාර්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක්‌ ගැනීමට තමා ඉඩ දෙන්නේ නැති බවයි.

එසේම ඇඩෙලා බාලසිංහම් හා කොටින්ට අවි ආයුධ මිලයට ගැනීමට අරමුදල් සැපයූ ටී. ආර්. ඕ. සංවිධානයේ රෙජී ද ලන්ඩනයේ සිටී.

මොවුන්ට එරෙහිව අගමැති ඩේවිඩ් කැමරන්ගේ රජය අද දක්‌වාම කිසිදු පියවරක්‌ ගෙන නැත.

එහිදී ඇමරිකාව හා බ්‍රිතාන්‍යය පවසන වගකීම දැරීමේ ක්‍රමවේදය එකී යුද අපරාධකරුවන්ට බලපා නැත.

මේ තත්ත්වය මැද මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේට ශ්‍රී ලංකාව සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්‌ද? ඒ විශේෂ විමර්ශකයකු පත් කිරීම, විනිශ්චය කොමිසමක්‌ පත් කිරීම හා ශ්‍රී ලංකාව ගැන සෙවීමට විද්වත් මණ්‌ඩලයක්‌ පත් කිරීමයි.

ඒත් ඇමරිකානු රජය උත්සාහ කරන්නේ විනිශ්චය කොමිසමක්‌ පත් කිරීමටයි. ඒ අනුව එකී කොමිසම ශ්‍රී ලංකාවට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට රජයේ අවසරය පතනු ඇත. ඊට අවසරය දුන්නොත් එය ඉල්ලාගෙන කෑමක්‌ වනු නියතය. මන්දයත් උතුරේ බොරු සාක්‍ෂිකරුවන් එකී කොමිසම හමුවේ බොරු සාක්‍ෂි දීමට සූදානම් වීමයි.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් මණ්‌ඩලයට පෙත්සම් 4000 ක්‌ හා සාක්‍ෂිකරුවන් 2000 ක්‌ ඉදිරිපත් වී ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය සාක්‍ෂි ලබාදී තිබේ.

එම තත්ත්වය මත නවි පිල්ලේ පත් කිරීමට නියමිත විනිශ්චය මණ්‌ඩලයටද තොගපිටින් බොරු සාක්‍ෂිකරුවන්a ඉදිරිපත් වනු නියතය.

එකී සාවද්‍ය සාක්‍ෂි විනිශ්චය කොමිසම පිළිගනු ඇත.

මෙය නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේa යන ක්‍රියාදාමයයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මාර්තු 26 දායි. එහෙත් නවි පිල්ලේ සහ ඇමරිකාව දැනටමත් තීන්දුව ප්‍රකාශ කර අවසානය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.