දුරකථනයෙන් බලපෑම් කිරීමේ නඩුව
විනිසුරුවරුන්ගෙන් ඇමැති සමාව යදී

සරත් ධර්මසේන

මන්නාරම මහෙස්‌ත්‍රාත් ඒ. ජූඩ්සන් මහතා හමුවේ විභාග වූ නඩුවකදී ඔහු දුන් නියෝගයක්‌ වෙනස්‌ කරවා ගැනීමට දුරකථනයෙන් බලපෑම් කළැයි චෝදනා එල්ලවී සිටි කර්මාන්ත සංවර්ධන ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා එම සිද්ධිය හේතුකොට ගෙන මහෙස්‌ත්‍රාත්වරයාට යම් සිත්වේදනාවක්‌ ඇති වූයේ නම් ඒ ගැන ඔහුට කනගාටුව පළ කරන බව සිය නීතිඥවරුන් මගින් ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

කිසියම් පුද්ගලයකු තමාගේ දුරකථනයෙන් මහෙස්‌ත්‍රාත්වරයා අමතා එලෙස බලපෑමක්‌ කර ඇති බවත් ඒ අනිසි ක්‍රියාව සඳහා තමාගේ නමට ලියාපදිංචි කර ඇති දුරකථනය පාවිච්චි කිරීම ගැන මහෙස්‌ත්‍රාත්වරයාගෙන් සමාව අයදින බවත් ඇමැතිවරයා කියා සිටියේය.

අධිකරණයේ ස්‌වාධීනත්වයට මෙන්ම අධිකරණයේ සාමාජික විනිසුරුවන්ට තමා ඉතා ඉහළ ගෞරවයක්‌ දක්‌වන පුද්ගලයකු බවත් ඒ ගරුත්වයට හානි කිරීම දැඩි ලෙස හෙළා දකින බවත් තමාගේ දුරකථනයෙන් මහෙස්‌ත්‍රාත්වරයාට බලපෑම් කිරීමට යොදා ගැනීම ගැන සියලුම විනිසුරුවන්ගෙන්ද සමාව අයදින බවත් ඔහු දන්වා සිටියේය.

ඇමැති බදියුදීන් මහතා එම ප්‍රකාශය කළේ මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයාට එලෙස බලපෑමක්‌ කිරීම උසාවියට අපහාසකිරීමේ වරදක්‌ වන බැවින් ඔහුට දඬුවම් කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් 7 දෙනකු ගොනුකර තිබූ පෙත්සම ඊයේ අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රd ජයතිලක මහතා හමුවේ කැඳවූ අවස්‌ථාවේදීය.

ඇමැතිවරයා ඉහත දැක්‌වූ ප්‍රතිචාරයට අනුව පෙත්සම තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නැතිව අවසන් කිරීමට පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරු 7 දෙනාම අභියාචනාධිකරණය හමුවේ එකඟත්වය පළ කළහ. පෙත්සම ගොනු කළේ අධිකරණයේ ස්‌වාධීනත්වය හා ගරුත්වය රැක ගැනීමේ අරමුණින් යුතුව බවත් ඇමැතිවරයා කළ ප්‍රකාශයෙන් තමන් සෑහීමට පත්වන බවත් ඔවුහු සඳහන් කළහ.

දෙපාර්ශ්වය ඇතිකර ගත් එකඟත්වය ලිතව උසාවියට භාරදීමෙන් පසුව එය නඩු ගොනුවට ඇතුළත් කරන ලදී.

ජනාධිපති නීතිඥ ජෙµaරි අලගරත්නම්, ආචාර්ය සුනිල් කුරේ, අධිනීතිඥ ලාල් විෙ-නායක, චන්ද්‍රපාල කුමාරගේ, මන්නාරම නීතිඥ සංගමයේ සභාපති ඊ. සී. පෙල්ඩානෝ ගාල්ල නීතිඥ සංගමයේ සභාපති නාලනී කමාලිකා මනතුංග. ජනාධිපති නීතිඥ ඒ. එස්‌. එම්. පෙරේරා ඇමැති බදියුදීන් මහතාට එරෙහිව පෙත්සම ගොනු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු වෙති.

ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ඉක්‍රාම් මොහාමඩ්, සන්ජය ජයවර්ධන, අධිනීතිඥ ජී. ජී. අරුල්ප්‍රකාශම්, සුගත් කල්දේරා, වීශ්ව ද ලිවේරා තෙන්නකෝන්, නිරන්ජන් අරුල්ප්‍රකාශම්, වී. කේ. නයිල්ස්‌ යන මහත්වරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් ජගත් ද සිල්වා මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.