දත් නැති වැඩිහිටි පිරිස ඉහළට

ඒමන්ති මාරඹේ



මුඛයෙහි එක්‌ දතක්‌වත් නොමැති ශ්‍රී ලාංකීය වැඩිහිටියන්ගේ ප්‍රතිශතය ඉහළ යමින් පවතින බව මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ සංරක්‍ෂණ දත්ත විශේෂඥ වෛද්‍ය ප්‍රියක පලිපාන මහතා පැවසීය.

වයස අවුරුදු 60 න් ඉහළ වැඩිහිටියන් අතර දත් දිරාපත් වීම ඉහළ මට්‌ටමක පැවතීම මෙම තත්ත්වයට මුල්ව ඇති අතර ළමා වියෙහි සිටම සිය දත් ආරක්‍ෂා කර ගැනීමට පුරුදු කිරීමෙන් වයස අවුරුදු 60 වන විට අවම වශයෙන් දත් 20 ක්‌ වත් මුඛයෙහි රඳවාගත හැකි බව වෛද්‍ය පලිපාන මහතා කීවේය.

දත් දිරාපත් වීමේ රෝගයෙන් දත් ආරක්‍ෂා කර පසුකාලීනව නිරෝගී දත් පෙළක්‌ හිමිකර ගැනීමට නම් ළමා වියේදී ඒ සඳහා අඩිතාලම යෙදිය යුතු බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර දත් දිරාපත් මට්‌ටමේ පවතින ගැබිනි මවුවරුන්ට උපදින ළදරුවන් දත් දිරාපත් වීමේ රෝගයට ගොදුරු වීමේ හැකියාව නිරෝගී දත් පෙළක්‌ හිමි මවකට උපත ලබන ළදරුවකුට වඩා පස්‌ගුණයකින් වැඩි බව ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය ඊශානි ප්‍රනාන්දු මහත්මිය පවසන්නීය.

මෙම 20 වැනිදාට යෙදී ඇති ලෝක මුඛ සෞඛ්‍ය දිනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (14 දා) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී මෙම කරුණු අනාවරණය කෙරිණි. නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය ජයසුන්දර බණ්‌ඩාර, වෛද්‍ය නිලමනී රාජපක්‍ෂ හේවාගීගන යන මහත්ම මහත්මීහු ද මෙහිදී කතා කළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.