ජවිපෙ වීදි නාට්‍ය කණ්‌ඩායමට පහරදීම
8 දෙනෙක්‌ අත්අඩංගුවට
6 දෙනෙක්‌ ජවිපෙ අය

පසුව සියලුදෙනා ඇප මත මුදාහරී

හේමන්ත රන්දුණු සහ විජිතා ලියනගේ

පානදුර පෞද්ගලික බස්‌ නැවතුම්පළේදී ජනතා විමුක්‌ති පෙරමුණේ වීදි නාට්‍ය කණ්‌ඩායමේ සාමාජිකයන් සහ පෞද්ගලික බස්‌ නැවතුම්පළේ සේවකයන් අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ බව කියන ජනතා විමුක්‌ති පෙරමුණ පළාත් සභා අපේක්‌ෂකයන් දෙදෙනකු ඇතුළු අට දෙනෙක්‌ පානදුර පොලිසිය මගින් ඊයේ (14 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන් අතර ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන් හය දෙනකු සහ පානදුර පෞද්ගලික බස්‌නැවතුම්පළේ ස්‌ථානාධිපතිවරයා මෙන්ම වේලා සටහන්කරු ද සිටින බව පොලිසිය පවසයි.

මේ අතර මෙම ගැටුමට තවත් සැකකරුවන් පහළොස්‌ දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

මෙම ගැටුමේදී තුවාල ලැබූ ජනතා විමුක්‌ති පෙරමුණ සාමාජිකයෝ අට දෙනෙක්‌ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

ජනතා විමුක්‌ති පෙරමුණේ වීදි නාට්‍ය කණ්‌ඩායම පෙරේදා (13 වැනිදා) දහවල් පානදුර බස්‌ නැවතුම්පළේ නාට්‍ය සංදර්ශනයක්‌ පවත්වමින් සිටියදී එහි කඩා වැදුණු පිරිසක්‌ ඔවුන්ට අමානුෂික ලෙස පහර දී ඇත.

පොලිසිය පවසන්නේ වීථි නාට්‍ය කණ්‌ඩායමේ සාමාජිකයන් ද පෙරලා පහරදී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්වූ පානදුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක මහේෂ් පෙරේරා මහතා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන් පොලිසියට පවසා ඇත්තේ මැර පිරිස තමන්ට පහරදුන්නේ ආණ්‌ඩුව විවේචනය කළොත් තොපි මරනවා යෑයි කියමින්ය.

පානදුර මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ වීදි නාට්‍ය කණ්‌ඩායමේ 7 දෙනකු රුපියල් 50,000 බැගින් ශරීර ඇප මත මුදාහැරීමටත්, ප්‍රවාහන අධිකාරියේ සේවකයන් දෙදෙනකු රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප 2 ක්‌ සහ රුපියල් 5000 බැගින් වූ මුදල් ඇප මත මුදාහැරීමටත් ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (14 දා) නියෝග කළේය.

මෙසේ රුපියල් 50,000 ක ශරිර ඇප මත මුදාහරිනු ලැබුවේ ජවිපෙ සමාජවාදී කලා සංගමයේ සාමාජිකයන් වන කිත්සිරි කොඩිතුවක්‌කු, නිලන්ත සමන් කුමාර, ජගත් චන්දිමාල් සිරිපාල, ගයාන් චතුරංග බණ්‌ඩාර, මිරිස්‌සගේ සමන් ද සිල්වා හා ඉලේපෙරුම ආරච්චිගේ ධර්මසිරි යන අයයි.

බස්‌නාහිර මගී ප්‍රවාහන අධිකාරියේ පානදුර බස්‌ නැවතුම්පළේ ස්‌ථාන භාර නිලධාරි හිරාඡ් දිනිත් කුමාර සහ වේලා සටහන් ලිපිකරු පී. දර්ශන සම්පත් සිල්වා රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් හා රුපියල් 5000 ක මුදල් ඇපමත මුදාහරිනු ලැබූ අතර යළිත් මාර්තු 31 දා උසාවිය හමුවේ පෙනී සිටින ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා ඔවුන්ට දැනුම් දුන්නේය. පානදුර පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කළේය.

පානදුර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.