දේශීය පරිගණක ඇඟිලි සලකුණු පද්ධතියෙන් දින 12ක්‌ තුළ අපරාධකරුවන් 899ක්‌ හඳුනා ගනී

ශ්‍යාම් නුවන් ගනේවත්ත

දේශීය තොරතුරු තාක්‌ෂණ විශේෂඥයන්ගේ දැනුමින් දියත් කළ පරිගණක ඇඟිලි සලකුණු පද්ධතිය ස්‌ථාපිත කර දින දොළහක්‌ (12 ක්‌) තුළ පුද්ගලයන් 4035 කගේ ඇඟිලි සළකුණු පරීක්‍ෂා කර අපරාධකරුවන් 899 දෙනෙක්‌ හඳුනා ගැනීමට හැකි වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය පවසයි.

මෙම ඇඟිලි සලකුණු පද්ධතිය ජාත්‍යන්තර පොලිසියේ ඇගයීමට ලක්‌වී ඇතැයිද ඒ සඳහා වන ඉදිරිපත් කිරීමක්‌ සඳහා ප්‍රංශයේ පැරිස්‌ නුවර පැවැත්වෙන විශේෂ සැසියකට සහභාගි වන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනාවක්‌ ලැබී ඇතැයිද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ මහතා පවසයි.

මෙම ස්‌වයංක්‍රීය ඇඟිලි සලකුණු ක්‍රමයට සම්බන්ධ පරිගණක මෘදුකාංගය ශ්‍රී ලංකාවේ මෘදුකාංග සංවර්ධන ශිල්පීන් ලවා දේශීයව නිර්මාණය කිරීමෙන් රටට රු. කෝටි 100 ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක්‌ ඉතිරි කර ගැනීමට හැකිවූ බවද ඈපාසිංහ මහතා පවසයි.

මේ සඳහා මූල්‍ය සහ තාක්‌ෂණ අනුග්‍රහය ලබා දෙන ලද්දේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය විසිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනය මෙම නව ක්‍රමයට සම්බන්ධ පරිගණක මෘදුකාංගය නිර්මාණය කිරීම සාර්ථකව ඉටු කළේය.

පසුගියදා කුලියාපිටියේ පැවැති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේදි විදුලි සන්දේශ සහ තොරතුරු තාක්‌ෂණය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පද්ධතිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණි.

දැනට ලෝකයේ දියුණු රටවල භාවිතා කරන්නේ මෙම නව ක්‍රමය බවත් දකුණු ආසියාවේ රටවල් අතරින් මෙම ක්‍රමය ක්‍රියාත්මත කරන පළමු රට ශ්‍රී ලංකාව බවත් ඈපාසිංහ මහතා සඳහන් කරයි.

දේශීය තොරතුරු තාක්‌ෂණ විශේෂඥයන්ගේ දැනුමෙන් මෙම පරිගණක ඇඟිලි සලකුණු පද්ධතිය ජාත්‍යන්තර මට්‌ටමේ ප්‍රමිතීන්ට අනුකූලව සකස්‌ කරන ලද බවත් පූර්ණ වශයෙන්ම මෙය දේශීය නිෂ්පාදනයක්‌ නිසා මෙය ක්‍රියාත්මක කිරීමේදී තොරතුරු සහ දන්ත පිළිබඳ රහස්‍ය භාවයද සුරක්‍ෂිතවීම සිදුවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ මෘදුකාංග ඒකකයේ ප්‍රධානී හර්ෂ විඡේවර්ධන මහතා පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.