නියඟයෙන් මතුවන ගැටලුවලට කඩිනම් වැඩපිළිවෙළක්‌ සකසන්න
- ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්‌

රටේ ප්‍රදේශ රැසක හටගෙන ඇති නියඟය නිසා මතුවන ගැටලුවලට විසඳුම් සැලසීමට විශේෂ වැඩපිළිවෙලක්‌ සකසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරින් වෙත උපදෙස්‌ දුන්නේය.

නියඟය කළමනාකරණය කිරීම සඳහා විධිමත් සැලසුමක්‌ සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා නියඟය හේතුවෙන් ජනතාව මුහුණදී ඇති ප්‍රධාන ගැටලුවක්‌ වන පානීය ජල ගැටලුවට පිළියමක්‌ ලෙස පිරිසිදු පානීය ජලය සැපයීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කරන ලෙසද උපදෙස්‌ දුන්නේය.

වාරිමාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සමග පෙරේදා (13 දා) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස්‌ ලබා දුන්නේය.

ඇතැම් ප්‍රදේශවල සැලැස්‌මක්‌ නොමැතිව ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් එම ප්‍රදේශවල පාරිසරික ගැටලු

රැසක්‌ මතුව ඇති බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසරය රැක ගැනීමට ප්‍රමුඛත්වයක්‌ ලබාදීමේ වැදගත්කමද අවධාරණය කළේය.

වනාන්තර තුළ විනාශ වී ගොස්‌ ඇති ජලාශ යළි ප්‍රතිසංස්‌කරණය කිරීමේ වැඩපිළිවෙලක්‌ සැකසීමටද නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. පරිසරයට හානියක්‌ නොවන අයුරින් ඒවා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද පෙන්වා දුන් අතර ඒ තුළින් වන සතුන්ට මෙන්ම ජනතාවටද ප්‍රයෝජන ලැබෙනු ඇති බව කියා සිටියේය.

ගංගා ආශ්‍රිත ඇති වගුරු බිම්වල වැව් ඉදිකිරීමේ වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කිරීමේ හැකියාවද ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දුන්නේය. එය ජල සුරක්‌ෂිතතාවයට මෙන්ම පරිසර අලංකාරයටද ඉවහල් වන බව පැවසීය.

වාරිමාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් ඉඩම් අහිමි වන ජනතාව නැවත පදිංචි කිරීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. එය ප්‍රතිපත්තියකට අනුව ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස්‌ ලබාදුන් ජනාධිපතිවරයා ගම්මාන වශයෙන් එම පදිංචිකිරීම් සිදු කිරීම තුළින් ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය විධිමත් වනවා සේම ජනතාවටද පහසුවක්‌ සැලසෙනු ඇති බව කියා සිටියේය. ගමක්‌ වශයෙන් වූ අපගේ සංස්‌කෘතියද ඒ තුළින් ආරක්‌ෂා කරගත හැකි බව පෙන්වා දුන්නේය.

සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තුළින් එම කටයුතු පහසු කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජලාශ සෑදීමේදී වනාන්තර යටවීම හේතුවෙන් මතුවන අලි මිනිස්‌ ගැටුම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

වන අලි ගමන් කරන මාවත් අවහිර නොකරන ලෙසද, මෙහිදී උපදෙස්‌ ලබාදුන් ජනාධිපතිවරයා රටේ ඉහළ සිට පහළට අලින්ට ගමන් කළහැකි පරිදි වන රක්‌ෂිත යා කරමින් අලිමංකඩ සැකසීමටද උපදෙස්‌ දුන්නේය.

වාරිමාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම, පාරිසරික අනුමැතීන් ලබාගැනීම, ජලාශ තුළ මීටර් 100 ක සීමාවේ සංචාරක කටයුතු සංවර්ධනය කිරීම ආදී කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්‌විය.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් අයිවන් ද සිල්වා යන මහත්වරුන්ද, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු මීට එක්‌ව සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.