මේ තරම් ආර්ථිකය කඩා වැටීමක්‌ ඉතිහාසයේ කවදාවත් සිදුවෙලා නෑ
ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක

බණ්‌ඩාරගම - ආර්. ගුණරත්න

"මහින්ද මහත්තයගෙ ආර්ථිකය නැගලලු. ඒක මාර නැඟිල්ලක්‌. කඩවල්වල බිස්‌නස්‌ නැහැ. ඒ වුණාට මහින්ද මහත්තයගෙ ආර්ථිකේ නැගලා. රටේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා. ඒ මහින්ද මහත්තයගේ ආර්ථිකේ නැගලා. රෝහල්වල බෙහෙත් නැහැ. ඒ වුණාට මහින්ද මහත්තයගෙ ආර්ථිකේ නැගල. මේ තරම් ආර්ථිකය කඩා වැටීමක්‌ ඉතිහාසයේ කවදාවත් සිදුවෙලා නැහැ. දැන් රටේ සල්ලි නැහැ. රජයේ සේවකයන්ට ජනවාරි මාසේ පඩි ගෙව්වේ ලංකා බැංකුවෙන් ණයට අරන්" යෑයි ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය 10 දා රාත්‍රි බණ්‌ඩාරගම - අටුළුගම පැවැති ජන හමුවකදී පැවැසීය.

බස්‌නාහිර පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කළුතර දිස්‌ත්‍රික්‌ ජවිපෙ කණ්‌ඩායමේ ජය තහවුරු කිරීම පිණිස සංවිධානය කර තිබූ මෙම ජන හමුවේදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.

"පසුගිය දෙසැම්බර් මාසේ භාණ්‌ඩාගාර ගිණුමේ සතයක්‌වත් තිබුණේ නැහැ. ආණ්‌ඩුව දැන් බැංකු ඕ. ඩී. එකෙන් දුවන්නේ. ඕ. ඩී. එක රු. දශලක්‍ෂ හැත්තෑහය දාහයි.

ආණ්‌ඩුවට සල්ලි නැතිව දැන් හැම දේකටම බදුÊගහන්න පටන් අරන්. ජනතාව ආහාරයට ගන්නා කොත්තමල්ලි ඇටේ, සූදුරු ඇටේ ඉඳලා පරිප්පු, සීනි, කහකුඩු, හැම දේටම විශාල ලෙස බදු අය කරනවා. ලෝකයේ කිසිම රටක්‌ ජනතාවගේ ආහාර වලින් බදු අය කරන්නේ නැහැ.

තමුන්නාන්සේලා දන්නවා අරාබි රටවල තියෙන කුබුෂ් කියන රොටිය. ඒ රොටිය මීට අවුරුදු 10 කට පෙර තිබූ මිලමයි අද තියෙන්නෙත්.

කිරිපිටි වරායට එනකොට වෙන්නේ කිලෝවක්‌ රු. 350 යි. කිරිපිටි වලට බද්ද විතරක්‌ කිලෝවකට රු. 400 ක්‌ ගහනවා. එතකොට කිලෝ 01 රු. 750 යි. මේවට කිරිපිටි නොවෙයි zබදුපිටිZ කියලයි කියන්න ඕන. උදේට දරුවන්ව කූද්දල කියන්න ඕනේ "පුතේ බදු පිටි ලැහැස්‌තියි ගිහින් බොන්න" කියල.

අපේ රටේ බදුවලට එහා දඩ. උදේට පොලිසියේ මහත්තුරුන්ව පාරට එවන්නේ උඹලා අද මෙච්චර දඩ මුදලක්‌, මෙච්චර නඩු ප්‍රමාණයක්‌ හොයාගෙන එන්න ඕනේ කියලා. පොලිසිය දැක්‌කම බය වෙන්නේ හොරු, මංකොල්ලකාරයොනේ. නමුත් අපේ පොලිසියේ මහත්තුරු ඉන්නේ හැංගිලා. කොහේ හරි අස්‌සක හැංගිලා ඉඳලා වාහනයක්‌ එනකොට පැනල අත දානවා. මොකෙක්‌ හරි වරෙන්, වරෙන් කියල හිත හිතා ඉන්නේ. ඊට පස්‌සේ දඩ. දැන් ඒ දඩේටත් බදු ගහනවා. මොන රටක්‌ ද මේක.

දැන් පොලිසිවලත් සියලු පහසුකම් කපා හැරල. පොලිසිවලට මාසෙකට දෙන ඉන්ධන ප්‍රමාණය දවස්‌ 02 න් ඉවර වෙනවා. හොරෙක්‌ ගැන පැමිණිල්ලක්‌ කළොත් පොලිසියේ මහත්වරු අහන්නේ බැරිද ත්‍රීවීල් එකක්‌ ගේන්න කියලා. පොලිසියේ මහත්වරුන්ගේ ගෙදර තියෙන වාහනේ, බයිසිකලේ ගෙනත් තියාගෙන දැන් පොලිසියේ රාජකාරි කරන්නේ. ඉතින් එහෙම කරන එකේ ඒ මහත්තුරු ඔයගොල්ලන්ගෙන් කීයක්‌ හරි ගත්තේ නැත්නම් අනේ කරුණාකරල ඒ මහත්වරුන්ට කීයක්‌ හරි දෙන්න.

මහියංගනය පැත්තෙ පොලිසිවල තියෙනවා පරිසර පොලිසිය කියල එකක්‌. ඒකේ නිලධාරි මහත්වරු වැඩිපුර ඉන්නේ ටවුමෙ තියෙන බුලත්විට කඩ ළඟ. අපේ සීයල, මාමල ගිහින් කඩෙන් විටක්‌ ගත්තොත් අර මහත්වරු පස්‌සෙන් යනවා. හපපන්, හපපන් කියල. බුලත් විට හැපුව ගමන් දඩ

දරුවෙක්‌ ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක්‌ දැක්‌කොත් "ඉක්‌මනට ඉපදියන්, ඉපදියන්Z කියනවා. ඇයි උප්පැන්න සහතිකය දෙන්න රු. දෙදහයි. කොල්ලා කැමතියි, කෙල්ලත් කැමතියි. දෙපැත්තේ දෙමවුපියොත් කැමතියි. නමුත් ආණ්‌ඩුව කියන්නේ බඳින්න ඕනේ නම් රු. 5000 ක්‌ දියල්ල කියලා.

ඉස්‌සර මේ රටට කුඩු ගෙනාවේ පොඩි ගුලි 2 - 3 ක්‌ ගිලල පස්‌ස පැත්තෙන් වස්‌ති කරල ගන්න පුළුවන් සයිස්‌ එකේ ඒවා. දැන් කුඩු ගේන්නේ කන්ටේනර්වල. දැන් කුඩු බිස්‌නස්‌ කරන්නේ ආණ්‌ඩුවේ ලොකු ලොකු උදවිය. දැන් අපේ දරුවන්ගේ පාලකයෝ වෙලා ඉන්නේ ලංකාවේ ඉන්න ලොකුම කුඩු මුදලාලිලා ටික.

මේ මැතිවරණය යෙදිල තිබුණේ මැයි මාසේ 27 වෙනිදට. මොකටද මේ හදිස්‌සියෙන් ඒක මාර්තු 29 ට දා ගත්තේ. මොකද රටේ මහජනතාව ඇඬුවද අපිට මැතිවරණ ඕනේ ඕනේ කියලා. නැහැ. මැයි මාසේ වෙනකොට ජිනීවා නැහැ. මානව හිමිකම් ප්‍රශ්න නැහැ. මාර්තු 28 අපේ රටට විරුද්ධව ගෙනෙන යෝජනාව සම්මත වුණාම මහින්ද මහත්තය රූපවාහිනිය ඉදිරියට ඇවිත් කියනවා මම විදුලි පුටුවට වුණත් යන්න ලැහැස්‌තියි කියලා.

මේ රටේ ප්‍රධාන ආගම් 04 ක්‌ තියෙනවා. මේ රටේ ඕන පුරවැසියකුට තමන් කැමැති ආගමක්‌ ඇදහීමේ නිදහස තිබිය යුතුයි. එක ආගමක්‌ අනෙක්‌ ආගමට වඩා උසස්‌ වෙන්නෙත් නැහැ. පහත් වෙන්නෙත් නැහැ. මේ රටේ සියලු ආගම්වල සහජීවනය, සම අයිතිය පිළිගන්න එකම දේශපාලන ව්‍යාපාරය ජවිපෙ විතරයි. මේ වචන ටික පුළුවන්නම් රනිල් මහත්තයට හෝ මහින්ද මහත්තයට කියන්න කියන්න.

අපි මේ රටේ සියලු ජාතිවාදී පක්‍ෂවලට විරුද්ධයි. චම්පිකලාගේ, ගම්මන්පිලලාගේ බොරු උපාසකකම්වලට අපි විරුද්ධයි. අපි මුස්‌ලිම් ජාතිවාදයටත් විරුද්ධයි. තමුන්නාන්සේලා ඡේ.වී.පී. එක ගැන දැන ගත්තේ අපෙන් නොවෙයි. අපේ සතුරන්ගෙන්. ඡේ.වී.පී. එක ගැන හරියට දැනගන්න අවශ්‍ය නම් අපෙන් අහන්න.

අද ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු ලෙඩක්‌ හැදුනාම බෙහෙත් ගන්න යන්නේ සිංගප්පූරුවට. අපේ දරුවන්ට බෙහෙත් ටිකක්‌ ගන්න ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාලෙට ගියහම බෙහෙත් පෙත්තක්‌වත් නැහැ. ඒ අයගේ දරුවෝ ඉගෙන ගන්නේ පිටරටවල්වල. විනෝදෙට කරන්නේ පාරවල් වහගෙන රේස්‌ පදින එක. ලෝකේ කොහේවත් නැතිව ඇති අපේ වගේ තමන්ගේ රටේ අගනුවර පාරවල් වහගෙන නයිට්‌ රේස්‌ පදින රටක්‌.



ඉතින් මේ ක්‍රමය වෙනස්‌ කළ යුතු නැද්ද. තමුන්නාන්සේලා අද මේ දේ තේරුම් ගනියි. නැත්නම් හෙට තේරුම් ගනියි. නැතිනම් කවදා හරි තේරුම් ගනියි. ඒ වෙනකම් අපි මේ දේ තමුන්නාන්සේලාට කියනවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.