රාජපක්‌ෂ රෙජීමයෙන් ජනතාවට අනාගතයක්‌ නෑ
- විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ අවිස්‌සාවේල්ලේදී කියයි

මෙම වසරේදී ජාතික මැතිවරණයක්‌ ලබාගෙන ලබන වසරේදී (2015) එක්‌සත් ජාතික පක්‌ෂ ආණ්‌ඩුවක්‌ ගොඩනැගීමේ මුල් පියවර වශයෙන් මෙවර පළාත් සභා මැතිවරණයේදී අලියා ඉදිරියේ කතිරය ගසා එජාපයට ඡන්දය ලබා දෙන්නැයි තමන් වගකීමෙන් යුතුව ඉල්ලා සිටින බව විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බස්‌නාහිර පළාතේ එජාප ජය තහවුරු කිරීම සඳහා අවිස්‌සාවේල්ලේ පැවැති රැළියකදී හෙතෙම මේ බව කියා සිටි අතර එහිදී එජාප නායකයා වැඩිදුරටත් මෙසේද කීය.

ඒකාධිපති රාජපක්‌ෂ රෙජීමයෙන් ජනතාවට සහනයක්‌ නැහැ. ඒකාධිපති රාජපක්‌ෂ රෙජීමයෙන් ජනතාවට සාධාරණයක්‌ සිදුනොවන අතර එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්ට සාධාරණයක්‌ ගැන බලාපොරොත්තුවක්‌වත් තැබීමට හැකියාවක්‌ ඇත්තේ නැහැ. ඒaකාධිපති රාජපක්‌ෂ රෙජීමයෙන් ජනතාවට අනාගතයක්‌ නොමැති අතර එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කරලා.

යුද්ධයෙන් පසුව රට සංවර්ධනය කර සියලු සේවක වැටුප් වැඩි කරමින් බඩු මිල අඩු කර ජනතාවට සහන සලසා නව රැකියා අවස්‌ථා නිර්මාණය කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වුණත් ඒකාධිපති රාජපක්‌ෂ රෙජීමය ඒ සියලු බලාපොරොත්තු විනාශ කළා.

යුද්ධය අවසන් වී පස්‌ අවුරුද්දක්‌ ගත වී තිබෙන මේ මොහොතේ සිදුව තිබෙන්නේ ඒකාධිපති රාජපක්‌ෂ රෙජීමය සමග සිටින සියයට එකක්‌ වූ හෙංචයියන්ගේ අතමිට සරු වී සියයට අනූනවයක්‌ වූ පොදු ජනතාව අගාධයට වැටීමයි.

"සියයට එකක්‌" රුපියල් එක්‌ ලක්‍ෂ පනස්‌ දහසක්‌ වටිනා "ලූවිස්‌ විටෝන්" වර්ගයේ සපත්තු, කෝටි ගණන් වටිනා ලැම්බෝගිනි රේස්‌ කාර් සහ ෙµයාර්¨ වර්ගයේ අති සුඛෝපභෝගි කාර් පාවිච්චි කරන විට සියයට අනූනවයක්‌ ජීවිතය ගැට ගසාගන්නේ ඉතාම අමාරුවෙන්a.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා අනුව සාමාජිකයන් සිවු දෙදෙනෙකුගෙන් යුතු නාගරික පවුලකට ජීවත් වීම සඳහා මසකට රුපියල් 59,000 ක්‌ අවශ්‍ය වනවා. මසකට රුපියල් 59,000 ක්‌ උපයන අය මේ අවිස්‌සාවේල්ල ප්‍රදේශයේ සිටින්නේ කොපමණ පිරිසක්‌ද? ඔබේ ප්‍රදේශයේ බහුතරයකට මසකට රුපියල් 59,000 ක්‌ ලැබෙනවාද? මසකට රුපියල් 59,000 ක්‌ උපයා ගැනීමට ඔබට අඩු තරමින් බලාපොරොත්තුවක්‌වත් තබා ගත හැකිද? ස්‌වාමිපුරුෂයාට සහ භාර්යාව දෙදෙනාටම රැකියා කරලත් මේ මුදල සොයා ගැනීමට බැරි අවස්‌ථා එමටයි. ජීවත් වීම සඳහා අමාරුවෙන් යම් මුදලක්‌ සොයා ගත්තත් ඉතිරියක්‌ කිරීමට හැකියාවක්‌ නැහැ.

සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මත පනවා ඇති බදු විශාල ලෙස වැඩි කර තිබෙන නිසා උග්‍ර ජීවන අර්බුදයක්‌ නිර්මාණය වී තිබෙනවා. මේ ජීවන බර තවදුරටත් දරා ගත නොහැකි තත්ත්වයට ජනතාව පත් වෙලා. නමුත් මහින්ද රාජපක්‌ෂ ප්‍රධාන ඒකාධිපති රාජපක්‌ෂ රෙජීමය ජනතාවගේ මේ අමාරුකම් ගැන කිසිදු තැකීමක්‌ කරන්නේ නැහැ. ඒaකාධිපති රාජපක්‌ෂ රෙජීමය කියා සිටින්නේ ජනතාව කිසි ප්‍රශ්නයකින් තොරව හොඳින් ජීවත් වන බවයි. නමුත් ජනතාව මුහුණ දී සිටින අසීරුතාව අප හොඳින් දන්නා අතර තව එක වතාවක්‌ බඩු මිල වැඩි කළොත් බොහෝ අයට වේල දෙවේල නොකා හාමතේ සිටින්නට සිදු වෙනවා.

බඩු මිල වැඩි වුණාට ජනතාවගේ ආදායම් වැඩි වී නොමැති අතර ජනතාවගේ ආදායම් වැඩි කිරීමට ආණ්‌ඩුවට අවශ්‍යතාවක්‌ ඇත්තේ නැහැ. මේ ආණ්‌ඩුව යටතේ කෘෂිකර්මය, වෙළෙ¹ම, කර්මාන්ත ආදි ක්‍ෂේත්‍ර දියුණුවට පත්වී නැහැ. ආණ්‌ඩුව කරන්නේ මහා මාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් මහා පරිමාණයෙන් මුදල් ගසා කෑමයි.

නිදහස්‌ අධ්‍යාපනය තිබුණාට දරු දැරියන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් කිරීමේ සිට සියලු දේටම මුදල් ගෙවීමට දෙමවුපියන්ට සිදුව තිබෙන අතර මේ ආණ්‌ඩුව යටතේ නිදහස්‌ අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ගෙවීමට තිබෙන නිදහසයි.

අධ්‍යාපනයට මේ කල ගොස්‌ තිබෙන්නේ පාසල් සියල්ල පාලනය කරන පළාත් සභාව ආණ්‌ඩුව යටතේ තිබිය දී වන අතර ජාතික පාසල් පාලනය කරන අධ්‍යාපන අමාත්‍යවරයා නියෝජනය කරන්නේ ද කොළඹ දිස්‌ත්‍රික්‌කයයි. මේ ආණ්‌ඩුවට බලය හිමි පළාත් සභාව යටතේ පාලනය වන රෝහල්වල ගොඩනැඟිලි තිබුණාට බෙහෙත් ඇත්තේ නැහැ.

ආණ්‌ඩුවට බලය හිමි මේ පළාත් සභාවලට නිදහස්‌ අධ්‍යාපනය සහ නිදහස්‌ සෞඛ්‍ය පහසුකම් ජනතාවට සැලසිය නොහැකි නම් තවත් කුමන කතා ද? ඒකාධිපති රාජපක්‌ෂ රෙජීමය යටතේ වර්ධනය වී තිබෙන්නේ හොරකම පමණයි. මේ ඒකාධිපති රෙජීමයේ උඩ සිට පහළටත්, පහළ සිට, උඩටත් හැම එකාම හොරකම් කරනවා. මේ අය ගමේ ගුරු පාරේ සිට අධිවේගී මාර්ගය දක්‌වා ඉදිකරන සෑම මාර්ගයකින්ම හොරකම් කරනවා. එකෙක්‌ රුපියල් ලක්‍ෂයක්‌ හොරකම් කරන විට තවත් එකෙක්‌ අමෙරිකානු ඩොලර් මිලියන 100 ක්‌ හොරකම් කරනවා.

ජනතාවට කිසිදු සෙතක්‌, සහනයක්‌ නොලැබී ජීවන බර විශාල ලෙස වැඩි වී තිබෙන්නේ ඒකාධිපති රාජපක්‌ෂ රෙජීමයේ මේ හොරකම නිසයි. ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක්‌ උදා වී තිබියදී මත් කුඩු ද රට පුරා ව්‍යාප්ත වී ගොස්‌ තිබෙනවා.

මත් කුඩු ජාවාරම පාලනය කරන්න ආණ්‌ඩුවට අප බල කරන විට ආණ්‌ඩුව අපට කියන්නේ මත් කුඩු ගන්නා අය සහ ගෙන්වන අය පෙන්වන්න කියායි. මත්කුඩු ගන්නා අය සහ ගෙන්වා බෙදාහරින අය දැක බලා ගැනීමට ඕනෑ නම් ආණ්‌ඩුව සහ සිය කැබිනට්‌ මණ්‌ඩලය දෙස බැලිය යුතුයි.

මේ ආණ්‌ඩුව වහාම පෙරළා දැමිය යුතු යෑයි අප කියා සිටින්නේ ඒකාධිපති රාජපක්‌ෂ රෙජීමය මේ මත් කුඩුවලින් අපේ තරුණ තරුණියන්ගේ ජීවිත විනාශ කර රටේ අනාගතය සම්පූර්ණයෙන්ම අඳුරු කරන නිසයි.

මේ ඒකාධිපති රාජපක්‌ෂ රෙජීමය යටතේ එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්ට අත්ව තිබෙන ඉරණම කුමක්‌ද? මහ පාරට තාර අතුරන විට ඒ පාරේ එක්‌සත් ජාතික පාක්‍ෂිකයකු සිටිනවානම් ඔහුගේ නිවස ඉදිරිපිට පාරට තාර අතුරන්නේ නැහැ. ගමට විදුලිය ලබා දෙන විට ඒ ගමේ එක්‌සත් ජාතික පාක්‌ෂිකයන් සිටිනවා නම් ඒ අයගේ නිවාසවලට විදුලිය ලබා නොදෙන අතර එක්‌සත් ජාතික පාක්‌ෂිකයන් යම් ඉඩම් ආරවුල්වලට පටලැවී සිටිනවා නම් ඒ ඉඩම් ආරවුල් විසඳන්නේ නැහැ. යුක්‌තිය සහ සාධාරණත්වය ඉටු කර ගැනීමට පොලිසියට ගියොත් එක්‌aසත් ජාතික පාක්‌ෂිකයකු වන නිසා උදව් කරන්න එපා යෑයි ඒ ප්‍රදේශයේ ආණ්‌ඩුවේ දේශපාලන බලවතා පොලිසියට බලපෑම් එල්ල කරනවා. එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ගේ දූ දරුවන්ට රැකියා සොයා ගැනීමට නොහැකි තත්aත්වයක්‌ උදා වී තිබෙන අතර ඒ තරුණ තරුණියන් ග්‍රාම නිලධාරී විභාගය ඇතුළු විභාගවලට ලියා සමත් වුණත් තනතුරු ලබා දෙන්නේ නැහැ.

සාමාන්‍ය ජනතාවට මේ ආණ්‌ඩුව යටතේ ජීවත් වීමට නොහැකි නම් එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් ජීවත් වන්නේ කෙසේද කියා අප ප්‍රශ්න කරන්නේ ඒ නිසයි. ඒකාධිපති රාජපක්‌ෂ රෙජීමය 2005 සිටම කළේ එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් හොය හොයා පහර දීමයි. එක්‌සත් ජාතික පක්‍ෂය අවුරුදු දෙකක්‌ රටේ ආණ්‌ඩු කළ නමුත් අපට අපේ පාක්‍ෂිකයන් වෙනුවෙන් සියලු දේ කළ නොහැකි වුණේ ඒ ආණ්‌ඩුව පෙරළා දැමූ නිසයි. එක්‌සත් ජාතික පාක්‍ෂිකයකු කඩයක්‌ කරගෙන යනවා නම් ඒ කඩේ කඩන අතර මගී ප්‍රවාහන බස්‌ රථයක්‌ ධාවනය කරවනවා නම් ඒ බලපත්‍රය අහෝසි කරනවා. එසේ නොමැති නම් මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාගේ වේදිකාවට නැග ආණ්‌ඩුව වෙනුවෙන් කතා කරන්නැයි බලපෑම් එල්ල කරනවා.

මේ සියලු දුක්‌ වේදනා, අසාධාරණකම් සහ බලපෑම් කෙසේ හෝ විඳ දරා ගෙන පක්‍ෂය එක්‌ක සිටීම ගැන එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ට මම මගේත්, පක්‍ෂයේත් ගෞරවය සහ ආචාරය පුද කරන බව කිව යුතුයි. මේ දුක තව කොච්චර කල් විඳීමට සිදුවනවා දැයි අසන එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්ට මම කියා සිටින්නේ, මේ අවුරුද්ද අවසාන වීමට පෙර ආණ්‌ඩු මාරු කරන ජාතික මැතිවරණයක්‌ ගෙන ඒ මැතිවරණයෙන් මේ ඒකාධිපති රෙජීමය පෙරළා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ ගොඩනගා නව රැකියා අවස්‌ථා නිර්මාණය කර අපේ පාක්‍ෂිකයන්ගේ නිවාසවලට විදුලි බලය දී පාරට තාර අතුරා, රජයේ රැකියා දී, දේශපාලන පළිගැනීම්වලට ලක්‌වූ සියලු දෙනාටම වන්දි ගෙවා සාධාරණය ඉටු කරන බවයි.

ඒ සඳහා වන පළමු පියවර ලෙස මේ පළාත් සභා මැතිවරණයට අප මුහුණ දී ඒ වෙනස ඇති කරන ලකුණ තබා පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කළ යුතුයි. දෙවන පියවර ලෙස පළාත් සභා මැතිවරණයෙන් පසුව අප සියලු දෙනාම එකට එක්‌ව සංවිධානය වී මහ පාරට බැස ජන බල මෙහෙයුම් කරමින් ආණ්‌ඩු මාරු කරන ජාතික මැතිවරණයක්‌ ලබා ගන්නවා. තෙවන පියවර වන්නේ ඒ ආණ්‌ඩු මාරු කරන ජාතික මැතිවරණයෙන් ඒකාධිපති රෙජීමය පෙරළා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ මේ රටේ ගොඩනැඟීමයි.

මේ සියල්ල කිරීමට නම් ප්‍රථමයෙන්ම අප කළ යුත්තේ මාර්තු මස 29 වැනිදාට පැවැත්වෙන බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී උදැසනම ඡන්දපොළට ගොස්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට ඡන්දය ලබා දීමයි.

එහිදී අදහස්‌ දැක්‌වූ එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික සංවිධායක දයා ගමගේ මහතා මෙසේ පැවසීය.

"ණයට කිරුළ", ලැම්බෝගිනි රේස්‌ කාර් තරග, මාර්ග ව්‍යාපෘති ඇතුළු ඊනියා සංවර්ධන ව්‍යාපෘතිවලින් කොමිස්‌ ගැසීම, ඇමැති මණ්‌ඩල නඩත්තුව, දූෂණ වංචා සහ අක්‍රමිකතා පියවා ගැනීම වෙනුවෙන් ඒකාධිපති ආණ්‌ඩුව මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 28,000 ක ණයකාර රටක්‌ බවට ශ්‍රී ලංකාව පත් කරලා.

ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ලෝක ආයතනවලින් සියයට එකක පොලියට සංවර්ධන ණය ලබා ගත හැකිව තිබිය දී ආණ්‌ඩුව 9.5% ක ගිනි පොලියට ජාත්‍යන්තර මුල්‍ය සමාගම්වලින් ණය ගන්නේ ඒ ණය වලිනුත් කොමිස්‌ ගැසීමටයි.

අධිවේගී මාර්ගයක කිලෝ මීටරයක්‌ ඉදිකිරීම සඳහා ලෝකයේ වැඩිම මුදලක්‌ වැය කළ රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා ලෝක ගිනස්‌ වාර්තා පොතට නම ඇතුළත් කර ගෙන සිටින්නේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝ මීටරයක්‌ සඳහා රුපියල් කෝටි ගණනක්‌ අමතරව වැය කරමිනුයි.

රටත් - ජනතාවත් ජාත්‍යන්තරයට උකසට තබා රුපියල් කෝටි ගණන් ණයට ගෙන ඒ මුදල් කොමිස්‌ ගසා ජනතාව දුක්‌ විඳිද්දී සුරසැප විඳින ජනතා විරෝධී ආණ්‌ඩුව පළවා හැරීම සඳහාත්, 2015 එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව ගොඩනැගීම සඳහාත් දූෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහිව පළාත් සභා මැතිවරණයේදී අලියා ඉදිරියේ කතිරය ගසන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අවස්‌ථාවට මාලබේ සීලරතන සහ මාරපන හේමානන්ද යන නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නයද, එක්‌සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්‌ස අත්තනායක, කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක, සබරගමු පළාත් සභා විපක්‍ෂ නායිකා දොස්‌තර තුසිතා විඡේමාන්න, අවිස්‌සාවේල්ල ප්‍රධාන සංවිධායක උපුල් මාලේවන, බස්‌නාහිර පළාත් සභා අපේක්‍ෂකයන් වන ඉසුරු අර්ජිත්, අමල් පුස්‌වැල්ලගේ, නිරෝෂන් පාදුක්‌ක, ප්‍රියන්ත පත්බේරිය සහ සරත් මනමේන්ද්‍ර යන මහත්වරු ඇතුළු විශාල ජනකායක්‌ ද එක්‌ව සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.