වීදිනාට්‍ය කණ්‌ඩායමට එල්ලකළ ප්‍රහාරය ගැන
පොලිසිය කටයුතු කරන ආකාරය ගැටලූ සහගතයි

- බිමල් රත්නායක

සමාජවාදී කලා සංගමයේ වීදි නාට්‍ය කණ්‌ඩායමට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳව බරපතළ ගැටලු මතුවී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණු දේශපාලන මණ්‌ඩල සභික බිමල් රත්නායක මහතා පැවසීය.

කුඩු, එතනෝල් ජාවාරම් ගැන, අධ්‍යාපන ප්‍රශ්නය ගැන මෙන්ම ආණ්‌ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සිටින විට මෙම පහරදීම සිදුවූ බවද රත්නායක මහතා කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ වීදි නාට්‍ය කණ්‌ඩායමට පහරදීම සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (14 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී තවදුරටත් කතා කළ රත්නායක මහතා මෙසේද සඳහන් කළේය.

සාමාන්‍යයෙන් වීදි නාට්‍ය රඟ දක්‌වන්නේ ජනතාව වැඩිපුර ගැවසෙන ස්‌ථානවල ජනතාවට අවහිරයක්‌ නොවන විදියට. පානදුර බස්‌ නැවතුම්පොළ ආසන්නයේ නාට්‍ය රඟ දැක්‌වූයේ ඒ අයුරින්මයි.

වීදි නාට්‍ය අවසන් වූවාට පසුව බස්‌ නැවතුම්පොළේ සේවය කරන මැරයන් පිරිසක්‌ වීදි නාට්‍ය කණ්‌ඩායමට පහර දුන්නා. එතැන් සිට පොලිසිය කටයුතු කරන ආකාරය ඉතාම බරපතළයි. ඔවුන් කටයුතු කරන්නේ පක්‍ෂග්‍රාහීවයි. ඔවුන් යුක්‌තිය ඉටුකිරීම පිළිබඳව ගැටලු සහගතයි. මොකද මේ වන විට නාට්‍ය කණ්‌ඩායමේ පිරිසක්‌ අත්අඩංගුවට අරං ඇප මත මුදාහැර තිබෙනවා.

ජනාධිපතිවරයා මැතිවරණ සමයේ සියලුම මාධ්‍ය ආයතන උපයෝගී කරගනිමින් ජනපති ජනහමු පවත්වනවා. ජනතා විමුක්‌ති පෙරමුණේ නීත්‍යනුකූලව පවත්වාගෙන ගිය මැතිවරණ කාර්යාලවලට ආණ්‌ඩුවේ මැරයන් පහර දෙනවා. ඊයේ දිනයේ දී හම්බන්තොට ප්‍රදේශයේ මැතිවරණ කාර්යාල දෙකකටත් පහරදී තිබුණා. මීට අමතරව කොළඹ, අවිස්‌සාවේල්ල, කහතුඩුව, ගම්පහ, කටාන, ජාඇල ප්‍රදේශවලදීත් අපේ කාර්යාල රාජපක්‌ෂ ප්‍රහාරවලට ලක්‌වුණා.

මෙම පහරදීම් සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු කළ යුත්තේ පොලිසියයි. නමුත් පොලිසියේ සිටින සමහර නිලධාරීන් ආණ්‌ඩුවේ බත් බැලයන් බවට පත්වෙලා. සේවා දිගු ලබාගැනීමට, තනතුරු උසස්‌ කර ගැනීමට, ස්‌ථාන මාරු ලබාගැනීමට ආණ්‌ඩුවට හිතවාදීව කටයුතු කරනවා. ප්‍රධාන ප්‍රවෘත්ති ආයතන මෙය නාට්‍ය කණ්‌ඩායමට එල්ල කළ ප්‍රහාරයක්‌ ලෙස වාර්තා කර තිබියදී පොලිසිය කියන්නේ මේක දෙපිරිසක්‌ අතර ගැටුමක්‌ කියලා. අපි ඉතා වගකීමෙන් කියනවා ජවිපෙ දේශපාලනය පුස්‌ වෙඩිවලින් නතර කරන්න බැහැ. අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදය සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන කොට රාජපක්‌ෂලා හිටියේ ඇඳන් යට හැංගිලා.

ආණ්‌ඩුවේ මැරයන් මේ විදියට සාමාන්‍ය ජනතාවට ප්‍රහාර එල්ල කරන අතරේ දැන් රටේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබෙන්නේ ජිනීවාවල කතාබහ වන මානව හිමිකම් ගැනයි. ඔවුන්ගේ චෝදනාව වෙලා තිබෙන්නේ රටේ සාධාරණත්වය යුක්‌තිය නැහැ කියන එකයි. පොලිසිය, උසාවි සාධාරණව කටයුතු නොකරන බවයි. ඒ ආකාරයෙන් චෝදනා එල්ල වෙද්දී ආණ්‌ඩුව කලාකරුවන්ගේ ඔළු පලනවා. ඒ නිසා අපි මැතිවරණ කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලා සිටිනවා පොලිසිය ගැන විශේෂ පරීක්‍ෂණයක්‌ කරන්න කියලා.

වීදි නාට්‍යය රඟදක්‌වලා අවසන් වන වෙලාවේ තමයි මැරයන් විසින් පහර දුන්නේ. පානදුර බස්‌ නැවතුමේ ඉන්න ස්‌ථාන භාර නිලධාරියා සහ වේලා සටහන්කරු ඇතුළු මැරයන් 12 - 15 ක්‌ අතර සංඛ්‍යාවක්‌ බස්‌වල තිබුණු යකඩ පොලුවලින් පහර දුන්නා. වීදි නාට්‍ය කලාවේ නිර්මාතෘවරයා වූ ගාමිණී හත්තොටුවේගම කලාකරුවා උපන් පානදුර නගරයේදී වීදි නාට්‍යකරුවන් පිරිසකට මැර ප්‍රහාරයක්‌ එල්ලවීම ඉතා කනගාටුදායක තත්ත්වයක්‌. නාට්‍ය බලන්න පැමිණි 100-125 ක පමණ පිරිසක්‌ මැර ප්‍රහාරය නිසා කලබලයට පත්වුණා. "උඹලට වීදි නාට්‍ය කරන්න මෙහෙ බැහැ. මේක ජනාධිපතිතුමාගේ තැනක්‌. උඹලා උඹලගේ නායකයා ගෙනත් 10 වෙනිදාත් රැස්‌වීමක්‌ කළා. උඹළට මෙහෙ දේශපාලනය කරන්න අයිතියක්‌ නැහැ"කියමින් තමයි මැරයන් පහර දුන්නේ. අපේ අපේක්‍ෂකයන් දෙදෙනකුටත් පහරදී තිබුණා. මැරයන් ඔවුන් හොඳින් හඳුනගෙන තමයි පහර දී තිබුණේ. හෙල්මට්‌, යකඩ පොලු, ලී පොලුවලින් පහර දුන්නා.

සාමාන්‍යයෙන් වීදිනාට්‍ය රඟ දක්‌වන්නේ ජනතාව වැඩිපුර ගැවසෙන ස්‌ථානවල ජනතාවට අවහිරයක්‌ නොවන විදියට. අපේ නාට්‍ය කණ්‌ඩායමත් නාට්‍ය රඟ දැක්‌වූවේ ඒ ආකාරයෙන්මයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.