යාල වනෝද්‍යානයේ ගංජා හේන වනජීවියෙන් වටලයි
සැකකරුවෝ බත් මුට්‌ටියත් දමා පලායති

ජගත් කණහැරආරච්චි

යාල ජාතික උද්‍යානය තුළ පවත්වාගෙන ගිය අක්‌කර දහයකින් පමණ සමන්විත අතිවිශාල කංසා (ගංජා) හේනක්‌ වැටලීමට වනජීවී නිලධාරීහු ඊයේ (14 දා) සමත් වූහ.

යාල කලාප අංක එකට අයත් කටගමුව පහළහෙන්තොට කඳවුරු බිමේ සිට මීටර් හයසියයක්‌ පමණ සමීපයේ පිහිටි මෙම කංසා හේනට ජලය සපයා ඇත්තේ මැණික්‌ ගඟේ සිට භූගත නළ මාර්ගයක්‌ භාවිතයට ගනිමිනි.

ඊට අදාළ ජල පොම්පය මැණික්‌ ගඟ අසබඩ තැනක පොළොව යට වළලා තිබියදී වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

වැටලීම සිදුකරන අවස්‌ථාවේ දී කංසා වගාව පැළ අවධියේ තිබූ බවත්, මෙහි අස්‌වනු අවාරයේ දී ලබාගැනීමට අපේක්‌ෂාවෙන් වගාකර තිබූ බවත් ඌව කලාප භාර සහකාර වනජීවි අධ්‍යක්‌ෂ අයි. එම්. සිසිර කුමාර මහතා "දිවයින"ට පැවසීය.

පලු, වීර, බුරුත වැනි වටිනා වනාන්තරයක යටිරෝපණය සම්පූර්ණයෙන්ම හෙළිකර මෙම හේන සකස්‌කර තිබූ බවද කිලෝග්‍රෑම් 50 ක හාල් මිටියක්‌, යූරියා කිලෝ ග්‍රෑම් 500 ක්‌ හා උපකරණ රැසක්‌ අත්අඩංගුවට ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වැටලීම සිදුකරන අවස්‌ථාවේ දී සැකකරුවන් පලාගොස්‌ ඇති බවත් පිසින ලද බත් මුට්‌ටියක්‌ හා උදලු කිහිපයක්‌ද තිබූ බවත් නිලධාරීහු පවසති.

මේ වසරේ මාස 2 1/2 ක්‌ ඇතුළත යාල වනෝද්‍යානය තුළින් අක්‌කර 20 ක ගංජා හේනක්‌ සොයාගනු ලැබූ බවද පසුගිය වසර සමග අක්‌කර 30 ක්‌ ඉක්‌මවූ වගාවන් තම කාර්ය මණ්‌ඩලය වැටලූ බවද සහකාර අධ්‍යක්‌ෂවරයා පැවසීය.

කතරගම සහකාර වනජීවි අධ්‍යක්‌ෂ කාර්යාලයේ වනජීවී අඩවි ආරක්‌ෂක එම්. ආර්. ඒ. සුමතිරත්න, අඩවි සහකාර ඩබ්ලිව්. ශාන්තානන්ද, වනසත්ව නියාමක යාපා බණ්‌ඩාර, ස්‌ථිර කම්කරුවන් වන සනත් තිලකරත්න හා පී. එම්. ප්‍රියන්ත, සිවිල් ආරක්‌ෂක සෙබළුන් වන නුවන් නාලක සහ පී. ජී. ගමගේ යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.