හරි ලස්‌සන ඉස්‌පිරිතාලේ


රජයේ රෝහලකින් නේවාසික ප්‍රතිකාර ගන්න පොදුවේ සෑම අයෙකුම දැඩිව අකමැති වන්නේ, රෝහල්වල වැසිකිළි, වාට්‌ටු ඇතුළු පහසුකම් වල පවතින අඩුපාඩු බව අමුතුවෙන් කිව යුතු නෑ. ඉතා හොඳ වෙද හෙදකම් නැතත්, බොහොමයක්‌ පිරිස්‌ පෞද්ගලික අංශයේ ප්‍රතිකාර වලට යොමුවන්නේද ඒ නිසායි.

නමුත් දැන් දැන් රජයේ රෝහල් වල සමහර විශේෂඥ වෛද්‍යවරු එක්‌කාසු වෙලා තමතමන්ට වෙන්වූ වාට්‌ටු අලුත් වැඩියා කිරීමට පෙළඹිලා. ඒ අතරේ සුපිරි හෝටලයක පහසුකම්වලට සමාන පහසුකම් ඇති වාට්‌ටුවක්‌ මහනුවර රෝහලේ ඉදිවී තිබෙනු ඉකුත්දා දක්‌නට ලැබුණා. ඒ ස්‌නායු ශල්‍ය ඒකකය 11 හෙවත් 73 (පිරිමි) වාට්‌ටුව සහ 74 (ගැහැණු) වාට්‌ටුව යි. මහනුවර ශික්‌ෂණ මහ රෝහලේ අධ්‍යක්‌ෂ ආර්.එම්.සී. රත්නායකගේ උපදෙස්‌ හා මග පෙන්වීම අනුව ස්‌නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. ඩී. ලෙස්‌ලි සිරිවර්ධන සිය සේවක මඩුල්ලද සමග එක්‌ව දැඩි කැපවීමෙන් මෙම වාට්‌ටු නවීකරණය කර තිබුණා. මෙපමණ අලංකෘතව සේම සාමාන්‍ය ජනතාවට සේවය පිණිස මෙවන් කටයුත්තක්‌ සිදුකිරීමට මූලික අදහස පහළ වූ ස්‌නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ලෙස්‌ලි සිරිවර්ධන මේ පිළිබඳව දැක්‌වූයේ මෙවන් අදහසක්‌.

"ස්‌නායු රෝග පමණක්‌ නෙවෙයි, වෙනත් ඕනෑම රෝග තත්ත්වයකදී රෝගියෙකුට ප්‍රතිකාර කළ යුත්තේ, ඉතා සුපිරිසිදු, නිබඳවම මනසට විවේකය ලබා දෙන ස්‌ථානයක සිටයි. ඉස්‌කෝලෙ යන කාලේ ඉ`දලාම මගේ පුරුද්දක්‌ තිබුණා හැම වැඩක්‌ම උවමනාවටත් වඩා පිළිවෙලකට කරන්න. ඒ ස`දහා කොහොමහරි ක්‍රමවේදයක්‌ සකසා ගන්න මම බොහොම වෙහෙස ගන්නවා. වෛද්‍ය වෘත්තියට ආවා කියලා වෙනසක්‌ වුණේ නැහැ. වැඩ කරන තැන කාටත් සැනසිලිදායක තැනක්‌ කරන්නත්, හැම වැඩක්‌ම පහසුවෙන් කරන්නත් පුළුවන් වාතාවරණයක්‌ ඇති කරන්න දැන් මම උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලයක්‌ තමයි, 73 සහ 74 වාට්‌ටු වලින් පෙනෙන්නේ."

"මෙම වාට්‌ටුවෙන් ප්‍රතිකාර ලබා ගන්න එන්නේ, ස්‌නායු වල ප්‍රශ්න තියන උදවියයි. ඒ අයට අවට පරිසරයේ සැනසිලිදායක බව අතිශයින්ම වැදගත් . වැසිකිලිවල අපවිත්‍රතාවය නිසා බොහොමයක්‌ රෝගින් නේවාසික ප්‍රතිකාර ස`දහා රෝහලේ නතර වීම ප්‍රතික්‌ෂේප කළා. ඒ වගේ අවස්‌ථාවක අපි නිහ`ඩව සිටියහොත් වෛද්‍ය වෘත්තියට කරන නින්දාවක්‌ වගේ. වෛද්‍යවරු විදිහට අපි හැමෝම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ කවුරුන් හෝ සුවපත් කිරීමයි. එවකට මහනුවර රෝහල් අධ්‍යක්‌ෂ ලෙස කටයුතු කළේ වෛද්‍ය ඩබ්ලිව්. ජී.ඒ. දිසානායකයි. ඔහු සමග මම කතා කරලා අනුග්‍රහය දක්‌වන්න කැමති අය එකතු කරලා වාට්‌ටුව හදමු කියන යෝජනාව ස්‌ථිර කර ගත්තා.

ඒ අනුව මහනුවර කොළඹ සහ දඹුල්ලේ ප්‍රදේශවල දානපතින් වගේම යහපත් වැඩක්‌ කරද්දී එකතු වෙන්න කැමති බොහෝ දෙනෙක්‌ සහභාගී කර ගත්තා. ඔවුන් නොයෙක්‌ උදව් උපකාර කළා. මෑතකදී කළ ගණන් බැලීමකදී වාට්‌ටුව නවීකරණ කිරීමට මේ වන විට රුපියල් මිලියන 7 කට ආසන්න මුදලක්‌ වියදම් වී තිබෙනවා. පරණ වාට්‌ටුවේ බිත්ති සුද්ද කරන තැන ඉඳන් හැම අවස්‌ථාවකදීම ශ්‍රමයෙන් දායක වුණේ, මධ්‍යම පළාත් යුද හමුදා නිලධාරින්. ඒ අයගේ දිවා රාත්‍රී කඩිනම් සේවාව නිසයි ඉතාම කෙටි කලකදී මේ කටයුත්ත සාර්ථක වුණේ.

අපේ වාට්‌ටුවේ හෙද සොයුරිය මාරසිංහ මහත්මියටත් වාට්‌ටුව ලස්‌සන කරන්න ලොකු උවමනාවක්‌ තිබුණා. ඇයටත් සේවය කරන්න නිෂ්චිත වේලාවක්‌ තිබුණෙ නෑ. හැම වෙලාවෙම වැඩ. වාට්‌ටුවෙ සෙසු වෛද්‍යවරු, හෙදියන්, කනිෂ්ඨ කාර්යය මණ්‌ඩලය ඇතුළු සියලුම දෙනාගේ සහාය එකතු වුණා. මේ වගේ තැනක්‌ අපි හැදුවේ මහ ජනතාවකට. මේවා ආරක්‌ෂා කරගෙන ඉදිරියට පවත්වාගෙන යාම අනාගතයට කරන සේවයක්‌. පොදුවේ දෙස්‌ විදෙස්‌ පිං කැමති ඕනෑම කෙනෙකුට මමත් රෝහල් අධ්‍යක්‌ෂවරයාත් ආරාධනා කරනවා මේ වාට්‌ටු දැක බලා ගන්න එන්න. කවුරු හෝ ස්‌වකැමැත්තෙන් මෙම වාට්‌ටුවේ අනාගත සුරක්‌ෂිතභාවයට දායක වෙන්න. ඒ සඳහා අවශ්‍ය වන්නේ සිතේ ශක්‌තිය පමණයි.

සිය දහස්‌ ගණනක්‌ රෝගින් ප්‍රතිකාර ලබන, බොහෝ වෙහෙස වී නවීකරණය කළ මෙම වාට්‌ටුව රැක ගැනීම මහඟු පිංකමක්‌ සේමැයි...


උපේක්‌ෂා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.