ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මාෆියාකරුවන් නිර්වින්දනය කරයිද?

ලොව ලාභදායිම ව්‍යාපාරය... ආයුධ වෙළඳාමය. ඊට සමකළ හැකි තවත් ව්‍යාපාරයක්‌ තිබේ නම් ඒ ඖෂධ වෙළඳාමය. රෝගාබාධයන්ට ලක්‌ වන්නන් සිටිනතාක්‌ කල් ඖෂධ වෙළඳාමට වාසිය. ඖෂධ වෙළ¹ම ජාවාරමක්‌ බවට පත්වන්නේ මේ වාසිය නිසාය. ඖෂධ ජාවාරම මාෆියාවක්‌ වන්නේ ලාභ ලැබිය හැකි පහසුම මාර්ගය එය වන නිසාය.

සිය ව්‍යාපාරය රැක ගැනීම සඳහා මේ ඖෂධ මාෆියාකරුවන්ට කළ නොහැක්‌කක්‌ නොමැත. අවශ්‍ය නම් ඒ උදෙසා ජීවිතයක්‌ නැති කිරීමට වුවද ඔවුන් පසුබට වන්නේ නැත, ඒ නිසාම ඖෂධ මාෆියාවට එරෙහි වන්නෝ ඒ සඳහා වරක්‌ දෙවරක්‌ නොව සිය දහස්‌ වරක්‌ සිතති.

ඖෂධ මාෆියාවට වැට බැඳීම සඳහා බොහෝ රටවල් ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇත. ඒ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තිද ක්‍රියාත්මක කරති. එහෙත් තුන්වැනි ලෝකයේ රටවල්. සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝමයක්‌ ඖෂධ මාෆියාව නමැති බහුජාතික බූවල්ලාගේ ග්‍රහණයට හසුව සිටිති. ජාතික ප්‍රතිපත්තීන් එද්දී ඒවාට වැට බඳිති.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක අවශ්‍යතාව ශ්‍රී ලංකාවටද දැනුණේ අද ඊයේ සිට නොවේ. ශ්‍රී ලංකාවේ අපද වසර ගණනාවක පටන් ඖෂධ මාෆියාවට ගොදුරුව සිටිති. මේ ඖෂධ ජාවාරම්කරුවන්ගේ සූරාකෑමට ලක්‌ නොවූ කෙනෙක්‌ සිටිත්ද.... මවුකුස සිටින නූපන් දරුවා පවා මේ නරුම ඖෂධ මාෆියාකරුවන්ට ගොදුරු වී සිටී. කුස තුළ සිටින දරුවා වෙනුවෙන් මව භාවිත කරන බෙහෙත් පෙත්තේ සිට මිය යන මොහොතේ දී... තවත් එක්‌ විනාඩියක්‌ හෝ ජීවත් වීම සඳහා කෙනකු බොන බෙහෙත් උගුරෙන් පවා මේ ජාවාරම්කරුවෝ මුදල් ගසා කති.

එදා හැත්තෑව දශකයේ දී කීර්තිමත් වෛද්‍යවරයකු වූ මහාචාර්ය සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක අවශ්‍යතාව පෙන්වා දුන්නේ ඒ නිසාය. බහුජාතික සමාගම් විසින් රෝගීන් සූරාකමින් ලොව පුරා ගෙන යන ඖෂධ මාෆියාවේ ස්‌වභාවය මහාචාර්ය සේනක බිබිලේ විසින් මුළු ලෝකයටම හෙළි කළේය. දුප්පත් රටවල් මේ මාෆියාකරුවන්ගෙන් ගළවාගැනීමට ඔහුට බලවත් වුවමනාවක්‌ තිබිණි. ඒ නිසාම ඖෂධ ප්‍රතිපත්තියක්‌ අවශ්‍ය බව ඔහු තරයේ කියා සිටියේය.

අපට අවශ්‍ය ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමට සහ මෙරටට ගෙන්වන ඖෂධ නියාමනය කිරීමේ වැඩ පිළිවෙළක අවශ්‍යතාව මහාචාර්ය බිබිලේ එදා අවධාරණය කළේය. ඖෂධ ජාවාරම්කරුවන්ට විරුද්ධව ඔහු කළ සටනට යම් වටිනාකමක්‌ ලබා දෙමින් හැත්තෑ එකේදී සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිවරිය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්‌ථාවත්, රාජ්‍ය ඖෂධ සංස්‌ථාවත් පිහිටුවනු ලැබුවාය. එවක සිටි කර්මාන්ත ඇමැති ටී. බී. සුබසිංහ මහතා විසින් මහාචාර්ය සේනක බිබිලේ මහතාව රාජ්‍ය ඖෂධ සංස්‌ථාවේ ප්‍රථම සභාපතිවරයා ලෙසද පත් කළේය.

මහාචාර්යවරයා ඖෂධ ජාවාරම්කරුවන්ට එරෙහි සටන අඛණ්‌ඩව ගෙන ගියේය. එහෙත් හැත්තෑ හතේ සැප්තැම්බර් 29 වැනිදා සේනක බිබිලේ අබිරහස්‌ ලෙස ඝාතනයට ලක්‌වූයේය. ඔහුගේ ඝාතනය පිටුපස ඖෂධ මාෆියාව සිටි බවද නොරහසකි.

එදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ රජය මහාචාර්ය බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික අඩිතාලම තැබුවත් හැත්තෑ හතේදී එජාප රජය යටතේ එය යටපත් විය. එදා මෙදා තුර ගතවූ කාලය වසර හතළිහකට අධිකය. මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය විවාදයට තුඩුදෙන කරුණක්‌ විය. එය ක්‍රියාත්මක කරන බවට වරින් වර පත් වූ ආණ්‌ඩු, සෞඛ්‍ය ඇමැතිවරු පොරොන්දු දුන්නද... ඒවා කඩවුණු පොරොන්දු බවට පත්විය. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට හිමිවූයේ හමස්‌ පෙට්‌ටිය පමණි. එය හමස්‌ පෙට්‌ටියෙන් පිටතට ගෙන ක්‍රියාත්මක කිරීමට කිසිදු වැඩ පිළිවෙළක්‌ තිබුණේ නැත.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් තිබෙන රටවලට ඖෂධ මාෆියාවේ බලපෑම ඉතා බරපතල ලෙස සිදුකෙරේ. අපේ රටේ සෞඛ්‍ය සේවාව සඳහා රජය විසින් වසරකට ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය සහ වෛද්‍ය උපකරණ ඇතුළු අයිතමයන් 24000 ක්‌ පමණ මිලට ගනී. ඒ යටතේ ඖෂධ වර්ග පමණක්‌ 1450 ත් 1500 ත් අතර ප්‍රමාණයක්‌ තිබේ.

2005 වසරේදී ඖෂධ මිලදී ගැනීම සඳහා රජය විසින් වෙන්කර තිබුණේ රුපියල් කෝටි දහසක්‌ වැනි සුළු මුදලකි. එහෙත් මේ වෙද්දි රජය එම මුදල රුපියල් කෝටි තුන්දහස්‌ පන්සියය දක්‌වා ඉහළ නංවා ඇත. කෝටි දෙකක ජනගහනයක්‌ වෙනුවෙන් රුපියල් කෝටි තුන්දහස්‌ පන්සියයක්‌ රජය විසින් ඖෂධ සඳහා වියදම් කරද්දී මේ සුවිශාල මුදල ලබා ගැනීම සඳහා බහුජාතික ඖෂධ වෙළෙන්දන් අතර විශාල තරගයක්‌ දක්‌නට ලැබේ.

අප නිදහස ලබාගත්තේ මීට අවුරුදු හැට දෙකකට පෙරය. නිදහස්‌ වූ ජාතියක්‌ ලෙස මෙතෙක්‌ කලක්‌ අපේ රටට අවශ්‍ය ඖෂධ සියල්ල අපටම නිපදවා ගැනීමට නොහැකි වීම කනගාටුවකි. අපේ රටේ රාජ්‍ය අංශයෙන් මේ වන විට ඖෂධ වර්ග 47 ක්‌ නිපදවයි. පෞද්ගලික අංශය ඖෂධ වර්ග 50 ක්‌ නිපදවයි. රටක්‌ වශයෙන් අප නිපදවන ඖෂධ ප්‍රමාණය සියයකට අඩුය. එහෙත් අපට ඖෂධ වර්ග එක්‌දහස්‌ පන්සියයක්‌ පමණ අවශ්‍ය වේ. අපේ රටේ නිපදවන ඖෂධ හැරෙන්නට ඉතිරි ඖෂධ සියල්ල මිලට ගැනීමට සිදුව තිබෙන්නේ බහුජාතික සමාගම් හරහාය.

කෝටි දෙකක ජනගහනයක්‌ සිටින ශ්‍රී ලංකාව ඇතැම් බහුජාතික සමාගම්වලට ඖෂධ වෙළ¹ම සඳහා විශාල වෙළඳපොළක්‌ නොවේ. රටේ පවත්නා ටෙන්ඩර් පටිපාටිය ඇතුළු නීතිරීති යටතේ ඖෂධ සැපයීමට බහුජාතික සමාගම් තුළ කැමැත්තක්‌ද නැත. එනිසා ජනගහනය අධික රටවල් කරා මේ බහුජාතික සමාගම් ඇදී යති. එහෙත් සමහර සමාගම් ටෙන්ඩර් පටිපාටිය අනුව ශ්‍රී ලංකාවට ඖෂධ සපයනු ලබයි. එසේ ඉදිරිපත් වීම හරහා ඔවුහු සිය මාෆියාව ශක්‌තිමත්ව ක්‍රියාත්මක කරති.

මෙම ඖෂධ මාෆියාව අප රට තුළ ක්‍රියාත්මක වන ආකාර කීපයක්‌ම ඇත. ඔවුන් ඉතා සූක්‍ෂම ලෙස ජනතාව සූරාකමින් රුපියල් කෝටි ගණනින් මුදල් ගසා කෑම සිදුකරන්නේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේද ආශිර්වාදය ලබමිනි.

මෙම බහුජාතික සමාගම් ඖෂධ සැපයීම සඳහා නිසි පරිදි ටෙන්ඩරය ලබාගනී. එහෙත් ඔවුහු අවශ්‍ය වෙලාවට, අවශ්‍ය ප්‍රමාණයෙන් ගුණාත්මක ඖෂධ ලබාදීම හිතාමතා පැහැර හරිති. ප්‍රමාද කරති. ටෙන්ඩරයට අනුව පොරොන්දු වූ ඖෂධ ප්‍රමාණය වෙනුවට ඊට වඩා අඩු ප්‍රමාණයක්‌ වෛද්‍ය සැපයීම් අංශයට ලබාදීම අඛණ්‌ඩව සිදුකරති. මෙසේ අවශ්‍ය ප්‍රමාණයට ඖෂධ නොලැබීම නිසා එම ඖෂධ දිවයින පුරා රෝහල්වලට බෙදා හැරීමේදී වෛද්‍ය සැපයීම් අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි අපහසුතාවකට පත් වේ. මේ නිසා ඉතා කෙටි කලක්‌ තුළදී රෝහල් තුළ ඖෂධ හිඟයක්‌ ඇතිවේ. මෙය ඖෂධ සමාගම් විසින් හිතාමතාම නිර්මාණය කරන ඖෂධ හිඟයකි. එමෙන්ම ඖෂධ විශාල වශයෙන් සපයද්දී ඇතැම් ඖෂධ කාණ්‌ඩ තත්ත්වයෙන් අසමත් වේ. මේ තත්ත්වයෙන් අසමත් හෝ බාල ඖෂධ කාණ්‌ඩ රජය විසින් ප්‍රතික්‍ෂේප කළත් ඒ සඳහා යළි මුදල් හෝ ඒ වෙනුවට ඖෂධ ලබාදීමටද මෙම සමාගම් විශාල ලෙස කාලය ලබාගනී. අදාළ සමාගමට ටෙන්ඩරය ලබාදීම නිසා වෙනත් සමාගමකට එම ප්‍රමාද වූ ඖෂධයේ ඇණවුම භාරදීමද කළ නොහැක. එම නිසාද ඖෂධ හිඟයක්‌ ඇති වේ. එයද මෙම බහුජාතික සමාගම් විසින් හිතාමතා නිර්මාණය කරන ඖෂධ හිඟයකි.

මෙසේ ඖෂධ හිඟයක්‌ ඇති වූ විට රජයට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගය වන්නේ දේශීය වෙළෙඳපොළෙන් අදාළ ඖෂධය මිලදී ගැනීමය. එවිට සිදුවන්නේ මෙතෙක්‌ කලක්‌ ටෙන්ඩරය යටතේ ලබාගත් ඖෂධය ඊට වඩා විසි තිස්‌ ගුණයක වැඩි මිලකට මිලදී ගැනීමටය. මෙහිදී මේ වැඩි මිලට අදාළ ඖෂධය දේශීය වෙළඳපොළේ අලෙවි කරනුයේද පෙර කී ටෙන්ඩරය ලබාගෙන, ඖෂධ හිඟයක්‌ කෘත්‍රිමව නිර්මාණය කළ බහුජාතික සමාගමේ උප ඒජන්තවරයාය. ඖෂධ සැපයීම සඳහා ටෙන්ඩරය ලබාගෙන පසුව එම ඖෂධය සැපයීම හිතා මතා ප්‍රමාද කිරීම හරහා අපේ රෝහල් පද්ධතිය තුළ ඖෂධ හිඟයක්‌ නිර්මාණය කරන බහු ජාතික සමාගම... ඉන් පසුව එම ඖෂධයම හොර පාරෙන් ඉතා විශාල මුදලකට රජයටම අලෙවි කිරීම මගඩියක්‌ නොවේද?

තක්‌කඩි බහුජාතික සමාගම් ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරන තවත් ආකාරයක්‌ ඇත.

සාමාන්‍යයෙන් රෝහල් විසින් රෝගීන් සඳහා ඖෂධ වට්‌ටෝරු ලියනුයේ ඖෂධීය නාමයෙනි. රෝහලේ නොමැති ඇතැම් ඖෂධ පිටත පෞද්ගලික ඔසුසල් මගින් මිලට ගැනීම සඳහා මෙම ඖෂධ වට්‌ටෝරු රෝහල විසින් මෙසේ ඖෂධීය නාමයෙන් ලියා දෙති. රෝගියා හෝ ඔහුගේ ඥතියකු මෙම ඖෂධ වට්‌ටෝරුව රැගෙන පෞද්ගලික ඔසුසලකට ගියවිට එම බෙහෙත නැතැයි පවසමින් වෙළඳ නාමය යටතේ ඇති ඒ ඖෂධයම වැඩි මිලකට අලෙවි කරනු ලබයි. රෝගියා රවටමින් පෞද්ගලික ඔසුසල් හරහා සිදු කරන මෙම ජාවාරම බහුජාතික ඖෂධ සමාගම් විසින් සිය මාෆියාව ව්‍යාප්ත කර ඇති තවත් පැත්තකි. ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ, ශල්‍ය ද්‍රව්‍ය ආදී අයිතමයන් සියල්ලම මෙම මාෆියාකරුවන්ගේ ග්‍රහණයට හසුව අවසන්ය.

පිළිකා රෝගීන් සඳහා මෙතෙක්‌ කලක්‌ රජය ලබා දුන්නේ ඇමරිකාවේ නිෂ්පාදිත ඇබ්‍රැක්‌ෂේන් නමැති ඉතා වටිනා ඖෂධයයි. ඒ අතරේදී මෙරට සමාගමක්‌ ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඒ හා සමාන එහෙත් අඩු වටිනාකමකින් යුත් ඖෂධයක්‌ පැක්‌ලිඕල් නමින් මෙරටට ගෙන්වීමට උත්සාහ කරමින් සිටී. සාමාන්‍යයෙන් ඖෂධයක්‌ නිෂ්පාදනය කළ රටේ සාධාරණ කාලයක්‌ භාවිත කළ යුතු මුත් මෙම ඖෂධය නිෂ්පාදනය කළ කම්හල ආරම්භ කර වසරක කාලයක්‌වත් ගතව නැතැයිද පවසයි. එවැනි තත්ත්වයක්‌ තුළ මෙම ඖෂධය ශ්‍රී ලංකාව තුළට ගෙන්වීම සඳහා මාෆියාවට සම්බන්ධ සෞඛ්‍ය අංශයේ කිහිප දෙනකුද සමඟ එක්‌ව එක්‌ දිනයක්‌ තුළ ලියාපදිංචි සහතිකය ලබා ගනු ලැබූයේ අදාළ ඖෂධය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයකුගේ අනුමැතියද නොමැතිවය.

එක්‌ දිනක්‌ තුළ ලියාපදිංචි වූ මෙම සැකකටයුතු පැක්‌ලිඕල් ඖෂධය සඳහා ටෙන්ඩරය පිරිනැමීමට සූදානම් වූ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පෙර කී නිලධාරීන් මෙතෙක්‌ කලක්‌ පිළිකා රෝගීන්ට ලබාදුන් ගුණාත්මක බවින් ඉහළ ඇබ්‍රැක්‌ෂේන් ඖෂධය සඳහා ඉඩකඩ වසා දැමීමට තැත් කළහ. මේ නිසා තම රෝගයට වඩාත් සුදුසු වටිනා ඖෂධය නොමැති කමින් මේ වන විට පිළිකා රෝගීහු රැසක්‌ මාස ගණනාවක සිට දැඩි අපහසුතාවයකින් පෙළේ. මේ ඖෂධ මාෆියාව නිසා රෝගී ජීවිත අනතුරට ලක්‌වූ එක්‌ අවස්‌ථාවක්‌ පමණි.

ඖෂධ සමාගම් යෑයි හඳුන්වා ගත්තද ඇතැම් විට එවැනි සමාගම් ඇත්තේ නමින් පමණි. දුරකතනයක්‌ සහ මේසයක්‌ පමණක්‌ ඇති ඉතා කුඩා කාමරයක සිට ඇතැම්හූ මෙම ජාවාරම ජයටම කරගෙන යති.

රෝගී වූ විට ඕනෑම පුද්ගලයකු අසරණ වේ. රෝගියා වෙනුවෙන් ඥතිහුද දැඩි ලෙස මානසික පීඩනයකට ලක්‌වෙති. හිත්පිත් නොමැති තක්‌කඩි ඖෂධ මාෆියාකරුවන්ට රෝගියාගේ හෝ ඥතියාගේ අසරණකමින් කම් නැත. අම්මා අප්පා හෝ සූරාගෙන කෑම මේ ජාවාරම්කරුවන්ගේ සිරිතය. මෙම සූරා කෑම නතර කිරීම සඳහා ඖෂධ පනතක අවශ්‍යතාව දැඩි ලෙස තේරුම්ගත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා හමස්‌ පෙට්‌ටිය තුළ පුස්‌කමින් තිබූ ඖෂධ ප්‍රතිපත්තිය එළියට ගත්තේය. නීති අංශ සමඟ සාකච්ඡා කර එය යාවත්කාලීන කරමින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ගැළපෙන ආකාරයට පනත් කෙටුම්පතක්‌ ලෙස සකස්‌ කළේය. පසුව එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාරදුන්නේ අවශ්‍ය ඉදිරි කටයුතු උදෙසාය.

"මේ පනතට මොකද වුනේ..." සෞඛ්‍ය ඇමැතිවරයාද සහභාගි වූ උත්සවයක දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇසුවේය. "මෙතුමියගෙන් අහන්න...." සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සම්පාදකවරිය පෙන්වා ජනාධිපතිවරයාට කීවේය.

" ලබන සතියේදී අපි එය බාර දෙන්නම්" ඇය ජනාධිපතිවරයාට කීවාය..

සතියක්‌ ගිය තැන සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේය. "නීති කෙටුම්පත් සම්පාදකවරිය විශ්‍රාම ගියා..." ලද පිළිතුර එය විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇගේ නිවසට කතා කර ඖෂධ ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත ගැන ඇගෙන් විමසා සිටියේය. "ඒක කොම්පියුටරේ ඇති" ඇගේ පිළිතුර විය. පසුව සොයා බලද්දී අදාළ පරිගණකයත් ඖෂධ ප්‍රතිපත්තියත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව තිබිණි. සති කිහිපයක්‌ ගත වෙද්දී මෙම විශ්‍රාමික නීති කෙටුම්පත් සම්පාදකවරිය ප්‍රසිද්ධ ඖෂධ සමාගමක උපදේශකවරියක්‌ ලෙස කටයුතු කරන බව ඇමැතිවරයාට ආරංචි විය.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අතුරුදන් වූ ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ දළ කෙටුම්පත යළි අමාත්‍යංශය විසින් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළේය. නව නීති කෙටුම්පත් සම්පාදකවරයා වගකීමෙන් යුතුව කටයුතු කරමින් ජාතික ඖෂධ පනත් කෙටුම්පත සකසා සෞඛ්‍ය ඇමැතිවරයාට භාර දුන්නේය. සෞඛ්‍ය ඇමැතිවරයා පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට භාර දුන්නේ මෙම පනත් කෙටුම්පතය.

මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තියට අන්තර්ගතව තිබූ කරුණු තවදුරටත් ඉදිරියට ගෙනයමින් මෙම පනත සකසා ඇත. මෙම පනත් කෙටුම්පත යටතේ පූර්ණ බලය ඇති ආයතන දෙකක්‌ ස්‌ථාපිත කර තිබේ. පළමුවැන්න ජාතික ඖෂධ ප්‍රමිති අධිකාරියය. දෙවැන්න ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයය. මේ ආයතන යටතේ ගුණාත්මක බවින් ඉහළ ඖෂධ රට තුළට පැමිණීම තහවුරු කිරීමත්, බාල ඖෂධ රට තුළට පැමිණීම වැළැක්‌වීමත්, ඖෂධ මිල නියාමනය කිරීමත්, ඖෂධ අලෙවි කරන ස්‌ථාන විධිමත් ලෙස නියාමනය කිරීම හා ඖෂධ නිකුත් කළ හැක්‌කේ ඖෂධීය නමින් පමණක්‌ය යන්න යථාර්ථයක්‌ බවට පත්කිරීමත් සිදු කෙරේ.

මෙම පනත යටතේ කිසිම වෛද්‍යවරයකුට ඖෂධයක වෙළඳ නාමයෙන් බෙහෙත් වට්‌ටෝරු ලිවීම කළ නොහැක. ඒ සඳහා ඖෂධීය නාමය භාවිත කළ යුතුය. එමගින් රෝගීන් සූරා කෑම වැළකේ.

සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් පසුගියදා ආනයනික ඖෂධ වර්ග දහසකට අධික සංඛ්‍යාවක්‌ සඳහා පාලන මිලක්‌ නියම කරමින් අති විශේෂ ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කළේය. එයද මෙම ඖෂධ පනතේ වගන්තියක්‌ ක්‍රියාත්මක වීමක්‌ ලෙස සැලකිය හැක.

දැනට දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලට ගනු ලබන්නේ ටෙන්ඩර් පටිපාටියකින් තොරවය, දේශීය නිෂ්පාදකයන්ට ප්‍රමුඛත්වය ලබාදීම නිසා බහු ජාතික ජාවාරම්කරුවන් හරහා පිටරටට ඇදී යන රුපියල් කෝටි ගණනක මුදලක්‌ අප රට තුළම ඉතිරි වේ. මෙම ජාතික ඖෂධ පනත මගින් දේශීය නිෂ්පාදන තවදුරටත් ශක්‌තිමත් කිරීමට පියවර ගෙන ඇත.

ඖෂධ නිෂ්පාදන බෙදාහැරීම, අලෙවි කිරීම හා ගබඩා කිරීම ආදී කරුණු සම්බන්ධව පූර්ණ බලතල සහිත ස්‌වාධීන මණ්‌ඩලයක්‌ද මෙම පනත යටතේ ස්‌ථාපිත කෙරේ. ඖෂධ පිළිබඳ තීන්දු තීරණ ගනු ලබන්නේ මෙම මණ්‌ඩලය විසිනි. මෙතෙක්‌ කලක්‌ මෙම ක්‍රියාව සිදුකරනු ලැබුවේ එක්‌ පුද්ගලයකු විසිනි. ඒ අනුව මින් ඉදිරියට ඖෂධ මිලට ගැනීම, ගබඩා කිරීම, බෙදා හැරීම යන කරුණු පූර්ණ විනිවිදභාවයකින් යුක්‌තව සිදු කෙරෙනු ඇත.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ වෙනුවෙන් ජීවිතය පූජා කළ මහාචාර්ය සේනක බිබිලේගේ සිහිනය යථාර්ථයක්‌ වන බවට ලකුණු පහළ වෙමින් තිබේ. දැනට කෙටුම්පතක්‌ ලෙස පවත්නා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරි දිනකදී ඇමැති මණ්‌ඩලයේ අනුමැතියට ඉදිරිපත් කෙරෙනු ඇත. ඉන්පසු එය පාර්ලිමේන්තුව විසින් නීතියක්‌ බවට පත්කරනු ඇත. මහාචාර්ය සේනක බිබිලේ දුටු සිහිනය සැබෑ වන්නේ මෙම ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ පසුවය. සියයට දෙසීයක්‌, තුන්සීයක්‌... ඇතැම් විට සියයට අටසීයක්‌ ලාභ ලබන ඖෂධ මාෆියාකරුවන්ට, තක්‌කඩි ජාවාරම්කරුවන්ට මෙම ජාතික ප්‍රතිපත්තිය නමැති නිර්වින්දන බෙහෙත එන්නත් කළ පසුවය.

(මෙම ලිපිය සැකසීම සඳහා තොරතුරු සැපයූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිලධාරි ඩබ්ලිව්. එම්. ඩී. වන්නිනායක මහතාට ස්‌තූතිය පුද කරමු).

අජිත් අලහකෝන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.