එතෙර හා මෙතෙර පවුල් දේශපාලනය !

1948 වර්ෂයේ දී කොරියානු අර්ධද්වීපය දෙකඩ කරමින් කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්‌ඩුව හෙවත් උතුරු කොරියාව බිහිවූයේ කිම් ඉල් සුන්ග් එරට උත්තරීතර නායකයා ලෙසින් පත්වෙමිනි. මුල් කාලීනව ප්‍රබල අගමැතිවරයකු වූ මොහු පසුකාලීනව එරට ජනාධිපතිවරයා බවට පත්විය. වසර 56 ක්‌ ඉතා දැඩි පාලන රටාවක්‌ ගෙන ගිය කිම් ඉල් සුන්ග් ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටින අතරතුරදීම මියගිය අතර ඔහුගෙන් පසුව ඔහුගේ පුත් කිම් ජොන්ග් ඉල් උතුරු කොරියාවේ උත්තරීතර නායකත්වයට පත්වේ. කිම් ජොන්ග් ඉල් වසර 17 ක්‌ එරට පාලන බලය ගෙන ගිය අතර ඔහුගේ ඇවෑමෙන් පසුව 2011 වර්ෂයේ දී ඔහුගේ පුත් කිම් ජොන්ග් උන් උතුරු කොරියානු සමූහාණ්‌ඩුවේ උත්තරීතර නායකයා වශයෙන් ප්‍රථම වතාවට පත්විය. ඔහුගේ පාලනය යටතේ පැවති ප්‍රථම ජාතික මැතිවරණය ඉකුත් මාර්තු මස 09 වැනි දින පැවැත්වුණේ එරට ඉහළම දේශපාලන තනතුරට නැවත වතාවක්‌ පත්වීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය කිම් ජොන්ග් උන් වෙත හිමිකර දෙමිනි. පුරා දශක 06 කට අධික කාලයක්‌ පිය - පුතු - මුණුබුරු පාලනය ගෙන ගිය උතුරු කොරියානු සමූහාණ්‌ඩු රාජ්‍යය පවුල්වාදී දේශපාලන රටාවට ප්‍රබල උදාහරණයක්‌ වශයෙන් හඳුනාගත හැකිය.

පවුල්වාදී දේශපාලනය, ලෝක දේශපාලනය තුළ මෙන්ම ලාංකීය දේශපාලනය තුළ ද ශතවර්ෂ ගණනාවක සිට පැවත එන සංකල්පයකි. ලේ උරුමය මත හෝ විවාහ සබඳතා මත හෝ ඇතිවන ඥතිත්වය දේශපාලනය තුළ විශේෂ සුදුසුකමක්‌ ලෙස සලකමින් පාලන බලය මෙහෙයවීමට අවස්‌ථාව සලසා ගැනීම පවුල්වාදී දේශපාලනය ලෙස හඳුනාගත හැකිය.

ඉංග්‍රීසි භාෂාවෙන් පවුල්වාදී දේශපාලනය යන්න Dynastic politics යන නමින් හඳුන්වනු ලැබේ. පූර්වගාමී දේශපාලනඥයකු තමන්ගේ අනුක්‍රමයෙන් දේශපාලන ගමන් මඟට නව නියෝජිතයකු ලෙස පත්වීමට තම පවුලේ සාමාජිකයන්ට අවස්‌ථා ලබාදීමේ ක්‍රියාවලිය Dynastic politics හෙවත් පවුල්වාදී දේශපාලනය ලෙසින් විකිපීඩියා විaශ්ව කෝෂය තුළ නිර්වචනය වී ඇත.

Dynastic politics යනු බලය සංකේන්ද්‍රගත වූ පවුල් විසින් තමන් සතු බලය හැසිරවීමට තම පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ඉඩකඩ සපයාදීම වේ. එසේම පවුල්වාදී දේශපාලනය යනු ඈත ඉතිහාසයේ පටන්ම බලසම්පන්න පවුල් තුළ නිරන්තරයෙන් දක්‌නට ලැබුණු බල හුවමාරු ක්‍රමවේදයකි.

පවුල්වාදී රාජ්‍ය පාලනය ලෝක ඉතිහාසයේ පළමුවරට ඇතිවුණා යෑයි සැලකෙන්නේ 14 වැනි සියවසේදී පමණය. රාජකීය පවුල් හා රාජාණ්‌ඩු පාලන තන්ත්‍රයන්ගෙන් සැකසුණු සමාජයේ රාජ්‍ය ලේ උරුමයට රාජ්‍යත්වය හිමිවීම චාරිත්‍රයක්‌ ලෙස ක්‍රියාත්මක විය. රාජ රුධිර නාලිකා තර්කය මත හිඳිමින් ඉංග්‍රීසි ප්‍රංශ, මෝගල්, තායි, පෝලන්ත, පේරු රාජ්‍යයන්වල රාජ්‍ය කුමර කුමාරිකාවන් රාජ්‍යත්වයට පත්වූයේ ඔටුන්නට උරුමකම් කියමිනි. රජ කෙනකුගෙන් පසුව ඔහුගේ පුතකු හෝ සහෝදරයකු රජවීම හා රාජ්‍ය බලය ලැබූවෙකු ඥතිත්වයට හා පරිවාර ඥතීන්ට තනතුරු ප්‍රදානය කිරීම එකී සමාජයේ සුවිශේෂ ලක්‌ෂණයන් විය. චීනය තුළ වසර 300 ගණනක්‌ පුරා විහිදුණු පවුල් පාලන ධුරාවලී දැකගත හැකි වේ. මධ්‍යතන යුගයේ පල්ලියෙහි පාප් වහන්සේ සහ බිෂොප්වරු පත්කිරීම ඥතිත්වය මූලික කරගෙන සිදුකෙරුණු අතර එය පාප් පෙළපත ලෙසින් හඳුන්වයි. පාලන බලය පවුල වටා සංකේන්ද්‍රගත වීමත් ඒ ඔස්‌සේ විශ්වසනීය පරිපාලන ක්‍රමවේදයක්‌ ගෙන යැමත් එහි මූලික අරමුණ විය. නමුදු පසුකාලීනව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමවේදයේ මතුවීම හමුවේ බල අපහරණය, අසාධාරණය හා දණ්‌ඩ මුක්‌තිය රජයන දේශපාලන ක්‍රමවේදයක්‌ වශයෙන්ද පවුල්වාදී දේශපාලනය ඉස්‌මතු විය.

මෙහිදී ලෝක දේශපාලනය තුළ වර්තමානයේ පවා පවුල් දේශපාලනය දක්‌නට ලැබීම අවධානය යොමුකළ යුතු කරුණකි. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය පවතින එක්‌සත් ජනපදයේ පවා පිය පුතු ජනාධිපතිවරුන් රට පාලනය කර තිබේ. කෙනඩි පවුල, බුෂ් පවුල සහ ක්‌ලින්ටන් පවුල ඇමරිකාව තුළ දක්‌නට ලැබෙන ප්‍රබල දේශපාලන පවුල් වේ. ඉන්දියාවේ ගාන්ධි නේරු පවුල් පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ක්‍රියාත්මක පැරැණිතම පවුල්වාදී දේශපාලනය ලෙසින් හැඳින්විය හැක. එකම පවුලේ පියා දියණිය මුණුබුරා යන තිදෙනාම රාජ්‍ය පාලනයේ ප්‍රධානත්වය දැරූ ලොව එකම උදාහරණය ඉන්දියාවෙන් හමුවේ. ඒ ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි සහ රජීව් ගාන්ධි යන අගමැතිවරුන්ය. නිදහස ලැබීමෙන් පසු වසර 66 ක ඉතිහාසය තුළ වසර 50 කට ආසන්න කාලයක්‌ පුරා ඉන්දියාව පාලනය කිරීමට එමගින් ගාන්ධි - නේරු පවුල් සමත් විය.

පූර්වගාමී දේශපාලන ප්‍රබලයන් කෙරෙහි තිබූ විශ්වාසය හා ඔවුන් කෙරෙහි පැවති ආකල්පය දේශපාලන පවුලකින් පැවත එන නවක නියෝජිතයන් කෙරෙහි තීන්දු තීරණ ගැනීමේදී සාමාන්‍ය ජනතාවට සෘජුවම බලපානු ලබන බව දේශපාලන විද්‍යාඥයන් හා මනෝ විද්‍යාඥයන් විසින් පෙන්වා දෙනු ලැබේ. නුපුරුදු නියෝජිතයකු කෙරෙහි විශ්වාසය තබනවාට වඩා දේශපාලන පවුලකට නෑකම් කියන නියෝජිතයකු කෙරෙහි විශ්වාසය තැබීමට අවිඥනිකව ඔවුන්ගේ මනස සැකසෙන බව මනෝ විද්‍යාඥයෝ තවදුරටත් පැහැදිලි කරති.

රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් තම රජය මුල සිටම මෙහෙයවන ලද්දේ සිය පවුලේ සාමාජිකයන් මූලික කර ගනිමිනි. ඇනටෝල් පර්සියා කෝප් නමැති අගමැතිගේ බෑණා සිය ඥති සම්බන්ධතාව නිසා තමන් එතෙක්‌ දැරූ තනතුරෙන් ඉල්ලා අස්‌වීමට ගියද පුටින් එම ලිපිය භාර නොගත්තේය. බලශක්‌ති ඇමැති වික්‌ටර් ක්‌රිබස්‌ වෙන්කෝ, සෞඛ්‍ය ඇමැතිනිය වූ තත්යානා ගොලිකෝවාගේ ස්‌වාමි පුරුෂයාය. ආරක්‌ෂක ඇමැතිවරයාගේ පුතා විවාහ වී සිටින්නේ ක්‍රොසමිලීන් ප්‍රදේශයේ නියෝජ්‍ය ඇමැතිවරයාගේ දියණිය සමගය. මේ ආදී ලෙසින් රුසියානු පාලන තන්ත්‍රය තුළ පුටින්ගේ බල අධිකාරිය වටා 35 ආකාරයක ඥති සබඳතා ජාලයක්‌ පැහැදිලිවම හඳුනාගත හැකිය.

ප්‍රංශයේ නිකොලස්‌ සාකෝසි ජනාධිපතිs වීමට පෙර බටහිර දිග ප්‍රංශයේ නිවුලි සූර් සෙයිනෝ නම් ප්‍රදේශයේ ආණ්‌ඩුකාරවරයා ලෙස කටයුතු කළේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එම දිස්‌ත්‍රික්‌ මැතිවරණයට ඉදිරිපත් වූ මුල් අපේක්‍ෂකයකු මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කර ඒ හරහා තම පුත් ජින් සාකෝසිට මැතිවරණයට තරග වැදීම සඳහා අවස්‌ථාවක්‌ ලබාදීමට නිකොලස්‌ සාකෝසි විසින් උත්සාහ කරන ලදී. මෙම සිදුවීම එකල ප්‍රංශය තුළ මහත් ආන්දෝලනයට ලක්‌විය.

1970 දශකයේ මුල් භාගය තුළ පාකිස්‌තානයේ අගමැති ධුරය දැරූ පාකිස්‌තාන් ජනතා පක්‍ෂයේ නිර්මාතෘවරයා වූ සුල්µsකාර් අලි බූතෝගේ දියණිය බෙනාසීර් භූතෝද aපසුකාලීනව ජනතා පක්‌ෂය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසුණි. ඇය පාකිස්‌තානයේ 11 වැනි අගමැතිවරිය ලෙස වසර ගණනාවක්‌ එරට පාලන බලය හසුරුවන ලදී. ක්‍රියාකාරී දේශපාලනයට සිය සැමියා වූ අසීෆ් අල් සර්දාරිද සම්බන්ධ කරගන්නට බෙනාසීර් භූතෝ කටයුතු කළේ පාකිස්‌තානු ජනතා පක්‍ෂයේ සභාපතිත්වය ඔහුට පවරමිනි. බෙනාසීර් භූතෝගේ ඝාතනයත් සමග අල්සර්දාරි පාකිස්‌තානයේ 11 වැනි ජනාධිපතිවරයා බවට පත්වූ අතර සිය පුත් බිලාවල් භූතෝ සර්දාරි තම පක්‍ෂයේ නව සභාපතිවරයා ලෙස පත් කරන්නට අල් සර්දාරි කටයුතු කළේය.

මාලදිවයින් රජයේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් තම රජයේ කැබිනට්‌ මණ්‌ඩලය තුළ සහෝදරයන් 13 දෙනකුට ඉඩකඩ සලසන ලද අතර ඊට අමතරව මස්‌සිනාවරුන්ට සහ සිය පාසල් සගයන්ටද දේශපාලන නිලතල ලබාදෙන්නට කටයුතු කළේය.

බංග්ලාදේශයේ සමාරම්භක නායකයා වූ ශෙයික්‌ මුජිබර් රහ්මන්ගේ දියණිය වන ශෙයික්‌ හසීනා බංග්ලාදේශයේ වර්තමාන අගමැතිනිය ලෙසින් කටයුතු කරයි. ශෙයික්‌ මුජිබර් රහ්මන්ගේ පාලනය බිඳ දැමීමට හමුදා කුමන්ත්‍රණයක්‌ සිදු කර බලය අත්පත් කරගත් ෂියා උර් රහ්මන්ගේ බිරිඳ කලීඩා ෂියා බංග්ලාදේශයේ වර්තමාන විපක්‌ෂ නායිකාව වේ. ඒ අනුව, පවුල් පසුබිම හරහා දේශපාලනයට පිවිසි කාන්තාවන් දෙදෙනකු එකම රටක ආණ්‌ඩු සහ විපක්‌ෂ දේශපාලන ක්‍රියාකාරිත්වය තුළ එදිරිවාදී භූමිකාවන් නියෝජනය කරන ලෝක දේශපාලනයේ සුවිශේෂී නිදසුන බංග්ලාදේශයයි.

ලාංකීය දේශපාලන ගමන් මඟ පුරා පවුල්වාදී දේශපාලන ලක්‌ෂණ බොහෝ ලෙසින් දැක ගැනීමට හැකි වේ. දේශපාලනමය අර්බුද හා දේශපාලන ඝාතන හමුවේ එයට විකල්පයක්‌ ලෙසින් එම පවුලේම නියෝaජිතයකුට අවස්‌ථාව ලබාදීම ලාංකීය දේශපාලනය තුළ සිරිතක්‌ ලෙසින් පැවත ආ ලක්‌ෂණයකි.

උදාහරණයක්‌ ලෙසින් එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය අගමැති ලෙසින් පත්විය. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ පාලන සමය තුළ ඇගේ පවුලේ ඥතීන් පාලන තන්ත්‍රයේ නොයෙක්‌ තනතුරුවලට සම්බන්ධව කටයුතු කිරීම සුලබ දසුනක්‌ විය. රටේ පාලනය නිවැරැදිව ගෙන යැමට අවශ්‍ය ශක්‌තිමත් දේශපාලනමය බලය හා විශ්වසනීයත්වය ගොඩනඟා ගැනීම එමගින් ඇය බලාපොරොත්තු වූවාය.

1931 ලංකාවේ ඩොනමෝර් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ ස්‌ථාපිත කරන ලද ව්‍යවස්‌ථාදායකය වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා වූ µ්‍රeන්සිස්‌ මොලමුරේÊකථානායකතුමන් හා ඔහුගේ බිරිඳ ඇඩ්ලින් මොලමුරේ ආර්යාව ශ්‍රී ලාංකීය පවුල්වාදී දේශපාලන ඉතිහාසයේ මුල්කාලීන නිදසුනකි. සිංහල වැඩවසම් රදළ පවුලකින් පැවත ආ ඔවුහු පසුකාලීන ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයන් බවට පත්වූහ. ඉන්පසුව මතුවූ ගුණවර්ධන පවුල, සේනානායක පවුල, බණ්‌ඩාරනායක පවුල ආදී දේශපාලන පවුල් පරම්පරා කිහිපයක්‌ම රටේ බලය හැසිරවීමට ක්‍රියාකාරීව කටයුතු කළේය.

සමාජ විද්‍යාත්මක විග්‍රහයට අනුව පවුල නමැති ඒකකය න්‍යෂ්ටිමය පවුල (Nuclear Family) සහ ව්‍යාප්තවාදී පවුල (Extended Family) වශයෙන් ආකාර දෙකකින් හඳුනාගත හැක. මෙම සංකල්පයම පවුල්වාදී දේaශපාලනයට අදාළ කරගතහොත් න්‍යෂ්ටිමය පවුල් දේශපාලනය යනුවෙන් ආකාර දෙකක්‌ දැක්‌විය හැක. ෙ-. ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස වැන්නන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය තුළට හුදෙක්‌ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් පමණක්‌ සහභාගි කරගන්නා ලද අතර එය න්‍යෂ්ටිමය පවුල් දේශපාලනයට (Nuclear family politics) ප්‍රබල නිදසුනකි. සේනානායක, බණ්‌ඩාරනායක හා රාජපක්‌ෂ පවුල් දේශපාලනය තුළ සහෝදර සහෝදරියන් මෙන්ම පරම්පරාවන් කිහිපයක ඥතීන්ගේ සහභාගිත්වය දැකිය හැකි හෙයින් ඒවා ව්‍යාප්තවාදී පවුල් දේශපාලනයට (Extended family politics) නිදසුන්ය.

ඉන්දියාවේ ගාන්ධි - නේaරු පවුල පවුල්වාදී දේශපාලනය පිළිබඳ කෙරෙන අධ්‍යයනයන් හිදී සුලබව කතා කෙරෙන දේශපාලන පවුලක්‌ ලෙසින් හඳුනාගත හැක. ඒ හා සමානවම අවධානයට ලක්‌වන දේශපාලන පවුලක්‌ ලෙස ශ්‍රී ලංකාවේ බණ්‌ඩාරනායක පවුල හැඳින්විය හැක. බණ්‌ඩාරනායක පවුලේ ක්‍රියාකාරී දේශපාලනයේ ආරම්භකයා ලෙසින් එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා හඳුනාගත හැකි අතර එතුමා 1956 පෙරැළියත් සමග මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්විණි. බණ්‌ඩාරනායක මහතා ඝාතනය වීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ ක්‍රියාකාරී දේශපාලන ආගමනය සිදුවන අතර ඇය 1960 දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනුයේ එවැනි තත්ත්වයකට පැමිණි ලොව ප්‍රථම කාන්තාව වශයෙනි. මේ දෙපළගේ දියණිය වන චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග බස්‌නාහිර පළාත් මහ ඇමැති ධුරයේද මෙරට අග්‍රාමාත්‍ය ධුරයේද කටයුතු කරන ලද අතර 1994 සිට 2005 තෙක්‌ මෙරට විධායක ජනාධිපතිවරිය වශයෙන්ද ඈ කටයුතු කළාය. ඇගේ පාලන සමයේ මුල් කාලය තුළ ඇගේ මව සිරිමාවෝ බණ්‌ඩාරනායක මෙරට අගමැතිනිය වශයෙන් කටයුතු කළා මෙන්ම ඇගේ සහෝදරයා වූ අනුර බණ්‌ඩාරනායක එක්‌සත් ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් කටයුතු කළේය. මෙරට පවුල් දේශපාලනයෙහි හටගෙන ඇති නව ප්‍රවණතාවක්‌ නම් ජාතික දේශපාලනයේ ප්‍රබල පුද්ගලයන්ගේ දරුවන්, සහෝදර සහෝදරියන් හෝ පවුලේ සෙසු ඥතීන් ප්‍රාදේශීය හා පළාත් සභා දේශපාලනයට පැමිණීමේ වර්ධනීය තත්ත්වයක්‌ ඇතිව තිබීමයි.

ශ්‍රී ලංකාවේ මෑතකාලීනව පැවති පළාත් සභා මැතිවරණ කිහිපයේදීම නාමයෝජනා ලබාදුන් නව දේශපාලන අපේක්‍ෂකයන් ගෙන් බහුතරයක්‌ දැනට දේශපාලනයේ නියෑළී සිටින මැති ඇමැතිවරුන්ගේ පවුලේ සාමාජිකයන් වීම තුළ ඉහත කාරණය ප්‍රත්‍යක්‌ෂ වේ. ශ්‍රී ලංකාව තුළ පළාත් සභා මැතිවරණයක්‌ පැවැත්වීමට මූලික අරමුණ වූයේ සුළු ජාතිකයන් ඇතුළු සමාජයේ සෑම ස්‌ථරයක්‌ම නියෝජනය කරන නියෝජිතයන්හට පාලන බලය හැසිරවීමට අවස්‌ථාව හිමිකර දීමයි. නමුත් මෙම නව ප්‍රවණතාව හමුවේ පළාත් සභා මැතිවරණ තුළ එකී මූලික අරමුණ ඉටුවන්නේද යන්න ගැටලුවකි.

පවතින දේශපාලන ක්‍රමය තුළ ප්‍රබල දේශපාලනඥයන් සිය පවුලේ පරම්පරා කිහිපයක සාමාජිකයන් මැතිවරණ අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කරමින් ජයග්‍රහණය අත්කර දීමට කටයුතු කරයි. ඒ සඳහා ඔවුන් තමන් සතු බලය මෙන්ම මූල්‍යමය ශක්‌තියද ප්‍රයෝජනයට ගනු ලබන නිසාවෙන් සාමාන්‍ය අපේක්‍ෂකයකු හට ජනතා නියෝජිතයකු ලෙසින් සමාජය තුළ මතුවීමට ඇති ඉඩකඩ සීමා වේ. පවුල්වාදී දේශපාලන ක්‍රමය තුළ අතීතයේ දී දැවැන්ත දේශපාලන ප්‍රතිරූපයන් බිහිවිය. එය වර්තමානයටද පොදු තත්ත්වයකි. නමුත් පාලන බලය හැසිරවීමේ ප්‍රායෝගික දැනුමකින් තොර නියෝජිතයන් රටේ පාලන බලය අතට ගැනීමේ අවදානමක්‌ද පවුල්වාදී දේශපාලනය හරහාම ඇති වෙමින් පවතී. සාමාන්‍ය පවුලකින් පැවත එන නිසි සුදුසුකම් සහිත අපේක්‍ෂකයකුට මේ හරහා අවස්‌ථාව නොලැබීමට වැඩි ඉඩකඩක්‌ ඇත. එය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වයට තර්ජනයකි.

දිලිනි ලක්‍ෂිකා ගමගේ

කැලණිය විශ්වවිද්‍යාලය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.