තව වසර පහක්‌ යන විට රටෙන් අඩක්‌ වකුගඩු රෝගීන්?
- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්න ජයසුමන

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

තව වසර හතර පහක්‌ යනවිට ශ්‍රී ලාංකිකයන් හරි අඩක්‌ පමණ වකුගඩු රෝගීන් වීමේ අවදානමක්‌ ඇති බැව් රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

වකුගඩු රෝගී දිනය නිමිත්තෙන් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පැවැති වැඩමුළුවකට එක්‌වෙමින් චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේය.

තවදුරටත් අදස්‌ දක්‌වමින් හෙතෙම මෙසේද කීවේය.

කෘෂිකාර්මික වකුගඩු රෝගය මේ වනවිට දකුණු හා ඌව පළාතට ව්‍යාප්ත වෙමින් තියෙනවා. රජරට වකුගඩු රෝගය මේ ප්‍රදේශවලට ව්‍යාප්ත වෙමින් තියෙනවා. මෙයට ප්‍රධාන හේතුව තමයි කෘෂි රසායනික ද්‍රව්‍යවල තියෙන බැර ලෝහ. මේවා ආහාරවලින්, ජලයෙන්, නාසයෙන්, සමෙන් සිරුරට ඇතුල් වෙන්න පුළුවන්. කිවුල දියේ තමයි විෂ එකතු වන්නේ.

විශේෂයෙන් කෘෂිකාර්මික ප්‍රදේශවල කිවුල් ජලය පානය කිරීම නිසා කෘෂිකාර්මික වකුගඩු රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක්‌ තියෙනවා. වැව් වතුර පානය කළාට ප්‍රශ්නයක්‌ නැහැ. පදවිය ශ්‍රී පුර ප්‍රදේශවල 85% ක්‌ විතර වකුගඩු රෝගයට ගොදුරු වී ඇත්තේ කිවුල් ජලය පානය කිරීමෙන්. කෘෂි රසායනවල තියෙන බැර ලෝහ මේ අයන කිවුල් දියේ ක්‍රියා කරනවා.

මේ වනවිට කෘෂිකාර්මික වකුගඩු රෝගීන් 35000 ක්‌ ලියාපදිංචි වී සිටිනවා. උතුරුමැද පළාතේ ගොවීන්ගෙන් 15% ක්‌ විතර වකුගඩු රෝගයට ගොදුරුවී ඇති බැව් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කළ පර්යේෂණයකදී අනාවරණය වී තියෙනවා.

මේ ප්‍රදේශවල පාසල් ළමුන්ද වකුගඩු රෝගයට ගොදුරු වෙමින් සිටිනවා. කීර සම්බා, ලීක්‌ස්‌, ගෝවා ඇතුළු කොළ එළවළුවල බැර ලෝහ විශාල වශයෙන් තියෙනවා. මේ සියල්ලටම හේතුව කෘෂි රසායනික ද්‍රව්‍යය.

මේ සඳහා එකම විසඳුම වස විෂවලින් තොර ආහාර පරිභෝජනයට ගැනීම බව පවසන කොළඹ ජාතික රෝහලේ වැඩ බලන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කුමුදු දහනායක මහතා ඒ සඳහා පාරම්පරික හෙළ ගොවිතැන යළි මෙරටට හඳුන්වා දිය යුතු බවද පවසයි.

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා ද මෙහිදී අදහස්‌ දැක්‌වීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.