කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන්
වෛද්‍ය උපාධිය මුදලට ලබාදීමක්‌ සිදුවන්නේ නැහැ

- ඇමැති මෛත්‍රිපාල සිරිසේන

මාලබේ වෛද්‍ය විද්‍යාලයේ වාණිජ - සාහිත්‍ය
විෂයන් හදාරපු අයත් ඉගෙන ගන්නවා
- අකිල විරාඡ් කාරියවසම් (එජාප)

හොර පාරවල්වලින් වෛද්‍ය උපාධි ගන්න ක්‍රමයක්‌ තමයි ඉදිරිපත් කර තිබෙන්නේ
- විජිත හේරත්

වෙනස්‌ වන සමාජයේ අධ්‍යාපන අයිතිය පුළුල් කිරීම රජයේ අරමුණයි
- අනුර ප්‍රියදර්ශන යාපා

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය මුදලට ලබා දීමක්‌ සිදු නොකරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුළ වෛද්‍ය පීඨයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා වන වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා එසේ කීය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (20 දා) පස්‌වරු 1.00 ට රැස්‌විණි.

නිවේදන, වාර්තා, ලිපි ලේඛන ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ.

අනතුරුව වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියෑවීමේ විවාදය ඇරැඹිණි. විවාදය ආරම්භ කරමින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා -

අපේ රටේ වසර තිහක දිගුකාලීන යුද අත්දැකීම් සමග ත්‍රිවිධ හමුදාවේ සේවය කරන අයගේ වෛද්‍ය පහසුකම් වැඩි කිරීමේ අවශ්‍යතාව දුටුවා. යුද කාලයේ ඉතා අසීරු තත්ත්වයන්ට මුහුණ දෙද්දී රජයේ රෝහල්වල වෛද්‍ය හෙද කාර්ය මණ්‌ඩලය කැපවීම් කළා. ආරක්‍ෂක අංශවල සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේදී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුළ වෛද්‍ය පීඨයක්‌ ඇති කර වෛද්‍ය සිසුන් බඳවාගෙන උපාධිය දී ආරක්‍ෂක සේවාවන්වලට බඳවා ගැනීමට රජය තීරණය කළා.

කළුතර දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා - කොතලාවල විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලක්‍ෂ අටකට ලබා දෙනවා. වෛද්‍ය උපාධියත් එසේ ලබා දෙනවාද මෙය රජයේ ප්‍රතිපත්තියට එකඟද නැද්ද?

සෞඛ්‍ය ඇමැතිවරයා - රජය තවම එවැනි තීරණයක්‌ ගැන සාකච්ඡා කර නෑ. වෛද්‍ය උපාධිය මුදලට නොදෙන බව කිව යුතුයි.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) අකිල විරාඡ් කාරියවසම් මහතා - වෛද්‍ය විද්‍යාල අද හතු පිපෙනවා වගේ බිහිවෙනවා. මාලබේ වෛද්‍ය විද්‍යාලයට ළමයින් දෙදහස්‌ ගානක්‌ අරගෙන. වර්ග අඩි අසූදාහක ඉඩමක මේ වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යන්නේ. වාණිජ විෂය කළ අයත් මේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නවා. සාහිත්‍ය හදාරපු අයත් මෙහි ඉන්නවා. වර්ග අඩි අසූදාහක වෛද්‍ය විද්‍යාලයට වසරකට කණ්‌ඩායම් දෙකක්‌ බඳවා ගන්නවා. කිසිම සුදුසුකමක්‌ නැති කථිකාචාර්යවරු මෙහි ඉන්නවා.

දැන් මේ රටේ ඖෂධ හිඟයක්‌ තිබෙනවා. ඒ අතරේ රටට බාල ඖෂධත් එනවා. මම දැක්‌කා එවැනි ඖෂධ තොගයක්‌ විනාශ කරන්න රුපියල් කෝටි හතරක්‌ වියදම් වෙලා තිබුණා. මේවා ජාතික අපරාධ. ජනතාවගේ බදු මුදල්වලින් තමයි ඖෂධ ගේන්නේ. මේවා සාහසික දේවල්. මේ රටේ ඖෂධ හිඟය නැති කරන්න පුළුවන් අධිවේගී මාර්ග කිලෝමීටරයක්‌ හදන්න යන මුදල්වලින්. අඩුම තරමේ එහෙමවත් කරලා ඖෂධ හිඟය නැති කරන්න.

බදුල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා (එජනිස) - මේ රටේ ජනගහනයට අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍යවරු බිහිකරන්න අපිට තාමත් හැකිවී නැහැ. දියුණු රටක නම් පුද්ගලයන් 300 කට එක්‌ වෛද්‍යවරයෙක්‌ සිටිය යුතුයි. දියුණු වෙමින් පවතින රටක නම් 500 ත් 700 ත් අතර ප්‍රමාණයකට එක්‌ වෛද්‍යවරයෙක්‌ ලෙස සිටිය යුතුයි. නමුත් ලංකාවේ නම් 1800 කට පමණ එක්‌ වෛද්‍යවරයයි ඉන්නේ. ඒ අනුව අපිට තුනෙන් දෙකක පමණ අඩුවක්‌ තිබෙනවා. ඒ නිසා කොතලාවල වෛද්‍ය පීඨයක්‌ විවෘත කිරීම ඉතාම හොඳ දෙයක්‌ ලෙස මා දකිනවා. විශේෂයෙන්ම විදෙස්‌ දරුවන්ටත් මෙහි මුදල් ගෙවා අධ්‍යාපන කටයුතු සිදු කොට උපාධි ලබාගත හැකි තත්ත්වය උදාකර තිබෙනවා. එයත් ඉතාමත් හොඳ දෙයක්‌.

ඒ වගේම අපි රජයක්‌ වශයෙන් වෛද්‍යවරයෙක්‌ නිර්මාණය කළත් පසුගිය වසරේ 43 දෙනෙක්‌ නේවාසික පත්වීම් ගන්න ඇවිත් නැහැ. ඒ අනුව බුද්ධි ගලනයක්‌ සිදුව තිබෙන බව පෙනෙනවා. එය කනගාටුදායක තත්ත්වයක්‌. දකුණු ආසියාවේ වැඩිම බුද්ධි ගලනයක්‌ සිදුවන්නේ අපේ රටෙයි. ත්‍රිවිධ හමුදාව අපේ රටේ සෑම ප්‍රශ්නයකටම පෙරට ආවා වගේ මේ වෛද්‍ය ප්‍රශ්නයේදීත් ඔවුන් ජනතාවට වෛද්‍ය සේවාව ලබාදීමට ඉදිරිපත් වේවි.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප) - රජයේ වෛද්‍ය විද්‍යාලයක්‌ බිහිවීම ගැන සතුටු වෙනවා. හැබැයි මේ සඳහා සාධාරණ ලෙස බඳවා ගැනීමක්‌ වෙනවාද කියන ගැටලුව තිබෙනවා. මොකද අවම සුදුසුකම් ලෙස දක්‌වා තිබෙන්නේ එස්‌ සාමාර්ථ තුනක්‌. එහෙම බඳවා ගත්තොත් නිදහස්‌ අධ්‍යාපනයෙන් මීට වඩා සාමාර්ථ ලබා ගත්ත දරුවන්ට අසාධාරණයක්‌ වෙනවා. අනෙක මෙයින් ලබාගන්න උපාධියෙන් වෛද්‍යවරයකු වශයෙන් අවුරුදු 12 යි සේවය කළ යුත්තේ. උපාධිය ගන්නම අවුරුදු 05 ක්‌ යනවා. අනෙක්‌ අවුරුදු 07 ත් සේවය කරලා ඔහුට ඕනේ නම් පිටවෙන්න පුළුවන්. අනෙක ලක්‍ෂ 30 ක්‌ වැනි මුදලක්‌ තමයි අවශ්‍ය වෙන්නේ උපාධිය ගන්න. මීට වඩා මුදලක්‌ වැයවෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන්න. එහෙම නොයා මෙතනින් උපාධිය අරගෙන සමහර අය පිටවෙන්න බලාවි.

ඒ. එච්. එම්. අස්‌වර් මහතා මූලාසනයට පැමිණේ

එරාන් වික්‍රමරත්න මහතා - අස්‌වර් මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණීම ගැන අප මීට පෙර ප්‍රශ්න මතුකොට තිබෙනවා.

අස්‌වර් මහතා - එය කථානායකතුමාගේ ආරාධනයක්‌. ඔබට බැහැ කථානායකතුමාට අභියෝග කරන්න.

අජිත් පී. පෙරේරා මහතා - අපි මීට පෙර එකඟතාවට ආව අස්‌වර් මහතාට මූලාසනයට පැමිණීමට ඉඩ ලබාදෙන්නේ නැහැ කියලා.

දිනේෂ් ගුණවර්ධන මහතා - මේක කල් පැනපු ප්‍රශ්නයක්‌. අලුතින් මුද්‍රණය කළ සභාපති ලැයිස්‌තුවේ අස්‌වර් මන්ත්‍රීතුමාගේ නම තිබෙනවා. අනෙක එතුමාව කථානායකතුමයි යෝජනා කළේ.

එස්‌. බී. දිසානායක මහතා - මේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන හොඳින්ම දන්නා කෙනෙක්‌ තමයි අස්‌වර් මන්ත්‍රීතුමා.

අස්‌වර් මහතා-

අජිත් මාන්නප්පෙරුම මහතාට අවසාන වතාවට ඉඩ දෙනවා. කතා කරන්න නැතිනම් වයි. ජී. පද්මසිරි මහතා කතා කරන්න.

(සභාවේ ඝෝෂා)

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති වයි. ඒ. පද්මසිරි මහතා-

මීට පෙර කතා කළ මන්ත්‍රීවරයෙක්‌ කිව්වා මේ පීඨය රටේ බුද්ධි ගලනයටත් විසඳුමක්‌ වෙනවා කියලා. එයට අපිත් එකඟයි. අස්‌වර් මන්ත්‍රීතුමා මූලාසනයට යෝජනා කළාම එයට විපක්‍ෂය විරුද්ධවීම අප හෙළා දකිනවා. ලබන 29 වැනිදා ලබන පරාජයෙන් වියරු වැටිලා තමයි විපක්‍ෂය කටයුතු කරන්නේ.

අස්‌වර් මහතා- නිශ්ශබ්ද වන්න.

පද්මසිරි මහතා-

පරාජයෙන් වියරුවෙන් කටයුතු කරන්නේ අද එජාපය. මෙම පනතට මම සහයෝගය ප්‍රකාශ කරනවා.

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා-

මේ පනත ගෙන ඒම ගැන මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමාට මා ස්‌තුතිවන්ත වෙනවා. හමුදාවට අවශ්‍ය වෛද්‍යවරු, ඉංජිනේරුවන් මෙම පීඨයෙන් බිහිකරනවා වගේ රටට අවශ්‍ය වෛද්‍යවරුන් බිහිකර ගැනීමට මෙම පීඨයෙන් හැකිවේවී. පාර්ලිමේන්තුවෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ පනත සම්මත කරන්න කියලා.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී විජිත හේරත් මහතා (ප්‍රජාසං)-

මේ සභාව කරුණාකරලා නිශ්ශබ්ද කරලා දෙන්න. අපි කොහොමද විවාද කරන්නේ. කරුණාකරලා කථානායකතුමාව හරි ගෙනල්ලා මේක නිශ්ශබ්ද කරලා දෙන්න.

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා මූලාසනයට පැමිණේ.

පක්‍ෂ නායක රැස්‌වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කරලා තීරණයක්‌ ගනිවී. දැන් විජිත හේරත් මන්ත්‍රීතුමා කතා කරන්න.

විජිත හේරත් මහතා-

වෛද්‍ය සේවා ක්‍ෂේත්‍රයේ, වෛද්‍ය අධ්‍යාපනයෙන් ගුණාත්මක භාවයක්‌ නැතිනම් සමස්‌ත වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ගුණාත්මක භාවයක්‌ ගේන්න බැහැ. සෞඛ්‍ය ඇමැතිතුමා පසුගිය කාලයේ ඉතා හොඳ පනත් ගෙනාවා. මේ අද ගේන පනත අද ඇමැතිතුමා හෘද සාක්‍ෂියට එකඟව ගේන එකක්‌ වෙන්න බැහැ. මෙම පනතින් වෛද්‍ය ක්‍ෂේත්‍රය ගණිකා වෘත්තියේ යෙදවීමක්‌ ලෙසයි මා දකින්නේ. මා හිතන්නේ ආරක්‍ෂක ලේකම්වරයාගේ කැමැත්තටයි මේ පනත ගෙන එන්නේ. මේ ගෙන එන සංශෝධනයේ අරමුණ මොකක්‌ද? කොතලාවල පීඨයෙන් දෙන උපාධියේ ප්‍රමිතිය පරීක්‍ෂා කරන්න වෛද්‍ය සභාවට බැහැ. මාලබෙන් කරගන්න බැරිවූ දේ හමුදාව හරහා කර ගන්නයි මේ හදන්නේ. එස්‌ තුනක්‌ අරගෙන මෙම පීඨය මගින් බිහිවන වෛද්‍යවරු පසුව පිළිලයක්‌ වේවි. ගුණාත්මක භාවයෙන් අඩු මුදලට, හොර පාරවල් වලින් වෛද්‍ය උපාධි ගන්න ක්‍රමයක්‌ තමයි මේ ඉදිරිපත් කර තිබෙන්නේ. මේකෙන් මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා තමයි කවදාහරි බැනුම් අහන්නේ. නමුත් ඇත්තටම එතුමා නොවෙයි මේ සංශෝධනය ගේන්නේ. දැන් හරියටම කියන්න හමුදාවේ කාඩර් එක කීයද කියලා. ඒ ප්‍රමාණයට වෛද්‍යවරු බිහිකළාම ඊට පසුව වෛද්‍යවරු පිරුණහම ඒ අයව කොහේටද දාන්නේ. මේක බරපතළ කාරණයක්‌. මේ පනත ගේනකොට උපදේශක කාරක සභාවට දාලා සාකච්ඡා කළේ විනාඩි තුනයි. ඇයි ඇමැතිතුමා මේ පවට කර ගහන්නේ. මේ සංශෝධනයට ජවිපෙ විරුද්ධයි.

පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ජයරත්න හේරත් මහතා-

මේ රටේ පැවැති යුද්ධය අවසන් කිරීමට යන ගමනේදී වෛද්‍යවරුන්ගේ අඩුව නිසා හමුදාව ඉතා අසීරුතාවයට පත්වුණා. අපේ හමුදාවේ තිබෙන වෛද්‍ය බළකාය එතරම් ශක්‌තිමත් එකක්‌ වුණේ නෑ. අපේ හමුදා සෙබළුන්ට තුවාල වෙනකොට සමූල වශයෙන් ඝාතනය වෙනකොට වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන්ගේ හිඟයක්‌ තිබුණා.

ජානක බණ්‌ඩාර මහතා මූලාසනයට පැමිණේ

ජයරත්න හේරත් මහතා-

එහෙම තිබෙද්දිත් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරු බහුතරයක්‌ ඒ සහයෝගය අපට ලබාදුන්නා. ඒත් අපට පෙනී ගිය දෙයක්‌ තමයි අපි හමුදාවේ වෛද්‍ය අංශය ශක්‌තිමත් කරන්න ඕන කියලා හමුදාවේ ලක්‍ෂ තුනක්‌ පමණ සිටිනවා. විශ්‍රාම ගිය පිරිසක්‌ සිටිනවා ඒ අයගේ පවුල්වල සංඛ්‍යාවන් ගත්තහම ලක්‍ෂ 10 ක පමණ පිsරිසක්‌ සිටිනවා. ඒ අය වෙනුවෙන් තමයි මේ සංශෝධනය ගෙන එන්නේ. රජයක්‌ විදිහට අපි තීරණය කළා වෛද්‍ය පීඨයක්‌ මේ සඳහා අවශ්‍යයි කියලා. ජනතා විමුක්‌ති පෙරමුණට මේවා දරාගන්න බැහැ ඒකයි ඔවුන් මේ විදිහට අද චෝදනා කළේ.

ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අජිත් කුමාර මහතා (ස්‌වාධීන)-

මේකේ අරමුණ වෛද්‍යවරු පිරිසක්‌ බිහිකර ගැනීමද නැතිනම් හමුදාවට වෛද්‍යවරු බඳවා ගන්නද? දැන් හමුදාව හරහා වෛද්‍යවරු බඳවා ගැනීම සඳහායි මේ සංශෝධනය ගේන්නේ කියලයි අපට සිතෙන්නේ. මේ පාලකයෝ ඉතා උවමනාවෙන් ඉන්නවා අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න. එස්‌.බී. ඇමැතිවරයා ඒක වෙනුවෙන් පුද්ගලිකවම කැපවී සිටිනවා. එතුමාට දෙන වැඩේ බැහැලම ඔහු කරනවා. ඒක හරි. කොක්‌කෙන් බැරිනම් කෙක්‌කෙන් හරි කර ගන්නයි කටයුතු කරන්නේ. පෞද්ගලික වෛද්‍ය උපාධිය රජය හරහා නැතිනම් ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා විකුණන්නයි මේ රජය හදන්නේ. නිදහස්‌ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වෙන පාරකින් කරන්නයි රජය මේ හදන්නේ සෞඛ්‍ය ඇමැතිතුමා මේකට අහුවෙලා ඉන්නේ. දේශප්‍රේමී ලේබලය අලවලයි මේක දැන් ගේන්නේ. වටවංගු දාලා ගෙනෙන මේ පනත් සංශෝධනයට මා විරුද්ධ වෙනවා.

ඛනිජ තෙල් කර්මාන්ත සංවර්ධන අමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා-

අන්තවාදය කොතරම් බියකරුද කියලා මීට පෙර කතා කළ මන්ත්‍රීතුමාගේ කතාවෙන් පැහැදිලි වුණා. අනෙක අද ලෝකය වෙනස්‌ වෙනවා. වෙනස්‌ වෙන ලෝකයට අනුව සාධාරණ වෙනස්‌වීම් අවශ්‍යයි. අපි කිසිම විටෙක නිදහස්‌ අධ්‍යාපනය කප්පාදු කරලා නැහැ. වෙනස්‌ වන සමාජයේ අධ්‍යාපන අයිතිය පුළුල් කිරීම තමයි රජයේ අපේක්‍ෂාව. මේ උපාධිය ලබාදීමට යන්නේ කට්‌ඔµa මාර්ක්‌ එකට ඉහළින් ලකුණු ගත්ත ළමයින්ටම මම නම් හිතන්නේ මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය හොඳයි කියලා.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නලීන් බණ්‌ඩාර මහතා (එජාප)-

මේ වෛද්‍ය උපාධියට තිබෙන ගරුත්වය නැති කරන්නයි රජය හදන්නේ. මන්නාරමේ ළමයෙක්‌ එස්‌ තුනක්‌ අරගෙන වෛද්‍ය විද්‍යාලයට ආවම ඒක රටේ සමස්‌ත මට්‌ටමින් බලන්න බැහැ. මේ පනතට මුවාවෙලා වෛද්‍ය උපාධිය තුට්‌ටු දෙකට දාන්න හදන බවයි පෙනෙන්නේ.

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා-

උසස්‌ම ඉසෙඩ් ලකුණු තිබෙන දරුවන් තමයි අපි මේ වෛද්‍ය පීඨයට බඳවා ගන්නේ. 2007 සිට මේ දක්‌වා කොතලාවල විශ්වවිද්‍යාලයට වෛද්‍ය උපාධිය පිරිනැමීමට හැකි වුණේ නෑ. ඒත් අද සිට එය කළ හැකිවෙනවා.

පත්කළ මන්ත්‍රී (එජනිස) ඒ. එච්. එම්. අස්‌වර් මහතා- එදා පිලිප් ගුණවර්ධන මහතා කුඹුරු පනත ගෙන එන අවස්‌ථාවේදීත් එය කඩාකප්පල් කිරීමට විජාතිකයන්ට කත් අදින්නන් කටයුතු කළා. ඒ අය තවත් ඉන්නවා. මේ වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත ගෙන එද්දීත් ඊට විරුද්ධව ක්‍රියාකරන ප්‍රගතිශීලී නොවන අය අද පාර්ලිමේන්තුව තුළින් රටට හඳුනාගත හැකිවුණා. මේ අයට සාදාචාරයක්‌ නෑ.

දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී ඒ. එච්. එම්. පාරිස්‌ මහතා-

හොඳ පරිපාලන ක්‍රමයක්‌ අනුගමනය කිරීම නිසා උතුරු නැගෙනහිර රෝහල්වලින් රෝගීන්ට සෙතක්‌ වෙනවා.

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා-

වෛද්‍ය සභාවට හා වෛද්‍ය ආඥපනතට මේ කොතලාවල වෛද්‍ය පීඨය ගැන සොයා බැලීමයි මේ සංශෝධනය මගින් සිද්ධ වන්නේ. මේ කොතලාවල වෛද්‍ය පීඨය වෛද්‍ය සභාවට යටතේ.

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා මුලසුනට පැමිණේ.

වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත අනුමැතිය සඳහා ඡන්ද විමසීමක්‌ අවශ්‍ය බව ස්‌වාධීන මන්ත්‍රී අජිත් කුමාර මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 16 ක්‌ද, විරුද්ධව ඡන්ද 01 ක්‌ද ලැබිණි. ඒ අනුව වැඩි ඡන්ද 15 කින් පනත් කෙටුම්පත සම්මත විය.

පාර්ලිමේන්තුව අද (21) පස්‌වරු 1.30 දක්‌වා කල්තැබිණි.
 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.