අද සිට නර්ස්‌ලා වර්ජනය කළත් දොස්‌තරවරු නර්ස්‌ වැඩ කරති

හෙද හෙදි වර්ජනයට සාර්ථකව මුහුණ දෙන බව වෛද්‍ය නවීන් සොයිසා කියයි


අජිත් අලහකෝන් - චමින්ද සිල්වා

සූතිකාගාර පුහුණුව ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් සියලූම හෙද හෙදියන් අද (24 දා) සිට වෛද්‍යවරුන්ට සහාය නොදක්‌වමින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ "දිවයින" ට පැවසූහ.

දොස්‌තරලා කියන දේ හෙද හෙදියන් නොකර සිටින්නේ නම් අද සිට හෙද හෙදියන්ගේ සෑම රාජකාරියක්‌ම සුළු සේවකයන් සමඟ එක්‌ව වෛද්‍යවරුන් විසින් සිදුකරමින් හෙද සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සාර්ථකව මුහුණ දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් සොයිසා මහතා පැවසුවේය.

තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් හෙද විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්‌ඩලය ඉගැන්වීම් කටයුතුවලින් බැහැරව සිටීම, විශේෂ ශ්‍රේණියේ හා පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන් පරිපාලන කටයුතුවලින් ඉවත්වීම සහ සියලු හෙද හෙදියන් වෛද්‍යවරුන්ට සහාය වීමේ ක්‍රියාවලියෙන් ඉවත්ව පූර්ණ හෙද පිළිවෙත් පමණක්‌ සිදුකිරීමට අද සිට කටයුතු කරන බව මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

හෙද සේවාවට බලපාන ඉල්ලීම් කිහිපයක්‌ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා වට කිහිපයක්‌ පැවැත්වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හරස්‌වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය හෙද අයිතීන් කප්පාදු කිරීමේ කුමන්ත්‍රණයක සිටින බව ද උන්වහන්සේ පැවසූහ.

මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් සොයිසා මහතා "දිවයින" ට අදහස්‌ පළකරමින් මෙසේ කීය.

හෙද හෙදියෝ අද සිට පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට උගන්වන එකත් නතර කරනවාලු. ඒ ඔවුන්ට සූතිකාගාර පුහුණුව ලබා නොදෙන නිසා. සූතිකාගාර පුහුණුව දෙන්නේ පවුල් සෞඛ්‍ය සේවකාවන්ටයි. මේ සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා කමිටුවක්‌ පත්කළා. ඒ කමිටු වාර්තාව එන්න කලින් රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන එක පිළිගන්න බෑ. මේ බස්‌නාහිර සහ දකුණේ ඡන්දය නිසා සිදුකරන දේශපාලන ක්‍රියාමාර්ගයක්‌.

හෙද හෙදියන් දොස්‌තරලා කියන දේ කරන්නේ නැත්නම් කවුරු කියන දේ ද කරන්නේ. දොස්‌තරලාගේ උපදෙස්‌වලට පිටුපානවා නම් හෙදියන් ඉඳලා වැඩක්‌ නෑ. ඒ නිසා අපි තීරණය කළා අද මේ හෙද හෙදියෝ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා නම් ඒ අය කරන සියලුම දේ පහළ සේවකයන් සමඟ එක්‌ව දොස්‌තරලා විසින්ම සිදුකරන්න. මේ හෙද හෙදි වෘත්තීය ක්‍රියාමාර්ගයට එරෙහිව අපි මුහුණ දෙනවා. අනෙක පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට උගන්වන එක නතර කිරීම ගැන අපි මුරුත්තෙට්‌ටුවේ හාමුදුරුවන් ඇතුළු හෙද හෙදියන්ට ස්‌තුති වෙනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට පුහුණුව ලබාදීම නාරි හා ප්‍රසව වෛද්‍යවරුන් විසින් සිදුකරන්න ඒ වෛද්‍යවරුන් ඉදිරිපත් වී සිටිනවා. මේ පිළිබඳව අප අද සියලුම වෛද්‍ය වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක්‌ පවත්වනවා. සෞඛ්‍ය සේවාව බිඳවැටෙන්න අපි ඉඩ දෙන්නේ නෑ යෑයි වෛද්‍ය නවීන් සොයිසා මහතා කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.