හාරිස්‌පත්තුවේ නාහිමියෝ අපවත් වෙති

ධම්මික සල්වතුර

මහා පඬියතිවරයකු ග්‍රන්ථ කතුවරයකු හා සුප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේ කෙනකු වූ හාරිස්‌පත්තුවේ අරියවංශාලංකාර හිමිපාණෝ පෙරේදා (22 දා) උදැසන කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූහ.

කොළඹ බෞද්ධාලෝක මාවතේ විපස්‌සනා භාවනා මධ්‍යස්‌ථානයේ වැඩවිසූ උන් වහන්සේ අපවත්වනවිට 74 වියෙහි පසුවූහ.

උන්වහන්සේ රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අපවත් වී ඇති අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය පෙරේදා (22 දා) දහවල 12 සිට අද (23 දා) දහවල් 12 දක්‌වා කොළඹ 07 විජයරාම මාවතේ විපස්‌සනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්‌ථානයේ තැන්පත් කෙරිණ. අද පස්‌වරුවේ එම දේහය යක්‌කල වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය පීඨයට භාරදීමටද නියමිතය.

දේහය තැන්පත් කිරීම සඳහා දෙනක්‌ යොදා නොගන්නා ලෙසත් අවමංගල්‍ය කටයුතු සඳහා අනවශ්‍ය ලෙස මුදල් වියදම් නොකොට එම මුදලින් දිළිඳු පවුලකට නිවසක්‌ තනාදෙන්න යෑයි හාරිස්‌පත්තුවේ අරියවංශාලංකාර හිමියන් විසින් උන්වහන්සේගේ අවසන් කැමැත්තෙන් ප්‍රකාශ කර ඇත. ඒ අනුව අවමංගල කටයුතු සූදානම් කර ඇති බව අවමංගල්‍ය සංවිධාන කමිටුව සඳහන් කර සිටී.

විචිත්‍රවත් හරවත් ධර්මදේශනා කරමින් අරියවංශාලංකාර හිමිපාණෝ බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත් පැවදි උතුමෙකි. "දොරමඬලාව" වැඩ සටහනින් බෞද්ධ අබෞද්ධ ප්‍රේක්‍ෂක සැදැහැවත් ජනතාව අතර සුප්‍රසිද්ධියට පත් උන්වහන්සේ මෑත යුගයේ ශාසනයටත් සමාජයටත් විශාල සේවයක්‌ කළ පඬිරුවනකි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.