නොමිලේ ප්‍රෙෂර් බලන මැෂින් ප්‍රෙෂර් වැඩි කරයි

අජිත් අලහකෝන්

ඕනෑම කෙනකුට නොමිලේ රුධිර පීඩනය මැන බැලීම සඳහා කොළඹ නගරයේ ස්‌ථාන දහයක සවිකර ඇති යන්ත්‍රවලින් රුධිර පීඩනය පරීක්‍ෂා කරන නිරෝගී අයගේ ද "බ්ලඩ් ප්‍රෙෂර්" ඉහළ යන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි ලැබී ඇත.

රුපියල් කෝටියක්‌ පමණ වටිනා මෙම රුධිර පීඩන මාන කොළඹ ජාතික රෝහල, ඇස්‌ රෝහල සහ ඇස්‌වාට්‌ටුව හන්දියේ ඇති ඔසුසල, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ස්‌ථාන කිහිපයක බෝ නොවන රෝග අංශය විසින් මීට මාස ගණනාවකට පෙර සවිකර ඇත. ඕනෑම කෙනකුට මෙම යන්ත්‍රය තුළට සිය අතක්‌ ඇතුළු කර තමන්ගේ රුධිර පීඩනය තමාටම මැන බැලීමේ හැකියාව මෙමගින් ලබා දී තිබිණි.

එහෙත් මෑතක සිට මෙම යන්ත්‍රවලින් රුධිර පීඩනය මැන බලද්දී රුධිර පීඩනය හාරසියය, පන්සියය වැනි ඉහළ අගයකින් පෙන්වන බව ද ඇතැම් යන්ත්‍රවල රුධිර පීඩනය බින්දුවක්‌ බව පෙන්නුම් කරන බව ද අමාත්‍යාංශය වෙතට ජනතාව විසින් පැමිණිලි කර ඇත.

සාමාන්‍යයෙන් රුධිර පීඩනය බින්දුව වන්නේ මරණයට පත්වූ අයකුගේ බැවින් සහ රුධිර පීඩනය හාරසියයක, පන්සියයක අගය පෙන්නුම් කිරීම විශේෂ තත්ත්වයක්‌ වන බැවින් ද ජනතාව බියට පත්වන අවස්‌ථා ද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

කොළඹ ලිප්ටන් වටරවුමේ ඇති ඔසුසලට යන පිරිස තම වාරය එනතුරු එහි සවිකර ඇති මෙම යන්ත්‍රයෙන් රුධිර පීඩනය මැන බැලීම සිරිතක්‌ කරගෙන සිටියහ. එහෙත් දින කිහිපයක සිට ඔසුසලේ ඇති මෙම රුධිර පීඩන මාන යන්ත්‍රය ද වසා දමා ඇතැයි පැමිණිලි ලැබී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.