මොකක්‌ද මේ වැඩකට නැති
කිඹුල් හූනු ජරමරේ?


කොතලහිඹුටු, සුදු හඳුන්, වල්ලපට්‌ටාවලින් පසු දැන් කිඹුල් හූනන් ජාවාරමක්‌ ගැන අසන්නට ලැබේ. එසේ කිඹුල් හූනන් දෙදෙනකු ළඟ තබාගෙන මෙම හූනන් රුපියල් ලක්‍ෂ 12 බැගින් අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනකුද ඉකුත් දා වනජීවී විශේෂ වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. දොම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දොම්පේ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප පිට නිදහස ලබා ඇත.

කොතලහිඹුටු, සුදු හඳුන් වැනි දැ ඖෂධ වශයෙන් භාවිතයට ගන්නා අතර හඳුන් මෙන්ම වල්ලපට්‌ටාද සුවඳ විලවුන් කර්මාන්තයේ වැදගත් අමුද්‍රව්‍යයක්‌ සේ භාවිතයට ගනී. එබැවින් එම ජාවාරම් සිදුවන්නේ කුමකටද යන්න අපට පැහැදිලිය.

ඒ සඳහා විශාල මුදල් ගනුදෙනුවක්‌ද සිදුකෙරේ. එහෙත් මෙතරම් විශාල මුදලක්‌ වැයකර කිඹුල් හූනන් මිලදී ගන්නට යමකු උත්සාහ දරන්නේ ඇයිද යන්න සමාජයට ඇති බරපතළ ගැටලුවකි. මීට ඉහතදී ජාන සම්පත් මංකොල්ලකරුවන් විසින් ශ්‍රී ලංකාවට ආවේණික කටුස්‌සන්, මකුලුවන්, සමනළුන් හා සලඹ විශේෂ, මත්ස්‍යයන්, කෘමීන් වැනි ජීව විශේෂ හොර පාරෙන් සහ නීති විරෝධීව පිටරට ගෙනයන්නට ගොස්‌ හසුවූ වාර ගණන ඉතා ඉහළය. මෙම සතුන් ගෙනයැමේ අරමුණ බොහෝ විට ශ්‍රී ලංකාවට ආවේණික, එහෙත් විසිතුරු අගය වැඩි ජීවීන් ජාන තාක්‍ෂණය මගින් වැඩිදියුණු කිරීම හෝ අභිජනනය කිරීම හෝ මේ කාරණා දෙකම විය හැකිය. මන්ද අද විසිතුරු සත්ත්ව වෙළෙ¹ම ලෝකයේ නමගිය ව්‍යාපාරයක්‌ බවට පත්ව ඇති නිසාත් එමගින් සුවිශාල ලාභයක්‌ අත්කර ගැනීමට ඇති හැකියාව නිසාත්ය.

මුදල් යහමින් ගැවසෙන මැදපෙරදිග, තායිලන්තය, හොංකොං, චීනය, ජපානය යනාදී රටවල මෙවන් විසිතුරු සත්ත්ව වෙළෙ¹ම වැඩි වශයෙන් සිදුකෙරේ. මේ බොහෝ රටවල විසිතුරු හූනන් විශේෂද ඇතිකෙරේ. එහිදී ඔවුන්ගේ වර්ණයට විශේෂ තැනක්‌ හිමිවන අතර හඬ නැගීමද සැලකිල්ලට ගනු ලබන අවස්‌ථා ඇත. එහෙත් ප්‍රධාන ලෙසම විසිතුරු සත්ත්ව කර්මාන්තයේදී අවධානය යොමු කෙරෙන්නේ ඇස පිනවන දැ කෙරෙහිය.

එහෙත් ශ්‍රී ලංකාවේ කිඹුල් හූනා ඇතුළු ශරීර ප්‍රමාණයෙන් සාපේක්‍ෂව විශාල හූනන්ගේ කිසිවකු විසිතුරු සතුන් ලෙස ඇතිකිරීමට තරම් අලංකාරයෙන් යුතු සතුන් නොවන බව කවුරුත් දන්නා කරුණකි. ශ්‍රී ලංකාවේදී හූනන් යනු අප්‍රසන්න ජනක සතුන් කණ්‌ඩායමක්‌ සේ සලකනු ලබන අතර, නිවෙස්‌වලදී දැකගත හැකි හූනන් හැරුණු කොට තරමක්‌ විශාල ප්‍රමාණයේ හූනන් අපට දැකගන්නට හැකි වන්නේ වියළි කලාපයේ සංචාරයක්‌ කරන විටද පමණකි. ආර්ථික ලාභයක්‌ ඇතැයි කියන්නේ මෙසේ වියළි කලාපයේදි නිවෙස්‌වල, පැල්පත් තුළ හෝ විශාල ගස්‌වල වාසය කරන හූනන් කිහිප දෙනෙකුටය.

කිඹුල් හූනා ඇතුළු හූනන් විශේෂ 44 ක්‌ ශ්‍රී ලංකාවේ දිවි ගෙවති. ඉන් 34 දෙනකුම ශ්‍රී ලංකාවේ පමණක්‌ වෙසෙන ශ්‍රී ලංකාවටම පමණක්‌ සීමා වී සිටින හූනන්ය. එයින් ශ්‍රී ලංකාවේ හූනන්ගේ වටිනාකම අපට පසක්‌ කරගත හැකිය. එනම් ආවේණික ප්‍රතිශතය අතින් ඉතා ඉහළ වටිනාකමක්‌ ශ්‍රී ලංකාවේ හූනන්ට ඇත. එබැවින් අපගේ හූනන්ගේ ජාන සම්පතට ඉහළ වටිනාකමක්‌ ඇතැයි අපට ස්‌ථිරවම ප්‍රකාශ කළ හැකිය. ඒ හැරුණු කොට හූනන්ගෙන් ඇති වටිනාකම පරිසර පද්ධති තුළ සමතුලිතතාව පවත්වාගෙන යැමට උන්ගෙන් ඉටුවන සේවාවය. කුඩා කෘමි භක්‍ෂක ජීවින් වර්ගයක්‌ වන බැවින් මදුරුවන් ඇතුළු කුඩා කෘමීන් පාලනයට උන්ගෙන් වන සේවය අතිමහත්ය.

එහෙත් මෙම හූනන් සඳහා ඔය කියන තරම් මූල්‍යමය වටිනාකමක්‌ ඇත්දැයි තවමත් හඳුනාගෙන නැත. වනජීවී අංශ, රේගු දෙපාර්තමේන්තුව, පොලිසිය ඇතුළු මෙම හොර ජාවාරම් මඬින්නට සිටින ආයතන තවමත් කිඹුල් හූනන්ගේ උභතෝකෝටික ප්‍රශ්නයට විසඳුම් සොයාගෙන නැත. එසේම, ජාවාරම් පිළිබඳව විමසා බැලීමේදීද මීට නිවැරැදි පිළිතුරක්‌ අපට නොලැබෙන අතර, මෙතෙක්‌ කිඹුල් හූනන් හෝ වෙනත් හූනන් විශේෂයක්‌ මිලදී ගන්නට උත්සාහ දැරූ පුද්ගලයකුද අත්අඩංගුවට ගැනීමට හෝ අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී නැත. ඇත්තේ හූනන් එකතු කර ළඟ තබාගත් කිහිප දෙනකුගේ හා ප්‍රවාහනය කළ අයවලුන් පිළිබඳ තොරතුරු පමණෙකි. එබැවින් මේ ප්‍රවෘත්ති පහසුවෙන් බැහැර කිරීමටද අපට නොහැකිය. කිඹුල් හූනන් ඇතුළු උරගයන් පිළිබඳව පර්යේෂණ සිදුකරන ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම හා ප්‍රකටම පර්යේෂකයන් දෙපළක්‌ වන කැළුම් මනමේන්ද්‍රආරච්චි සහ මෙන්ඩිස්‌ වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් විමසා සිටි අවස්‌ථාවේදී ඔවුන් පවසා සිටියේ මෙම හූනන්ගේ විසිතුරු බවේ හෝ වෙනත් මූල්‍යමය වටිනාකමක්‌ තිබිය නොහැකි බවයි. ලංකාවට ආවේණික සතුන්ට ඇති වටිනාකම හා පරිසර සමතුලිතතාවට ඔවුන් දක්‌වන දායකත්වය හැරෙන්නට තමන් දකින කිසිදු මූල්‍යමය වටිනාකමක්‌ නොවන බවද ඔවුහු අවධාරණය කරයි.

කිඹුල් හූනා ගස්‌ හූනා, කුඹුක්‌ හූනා ලෙසද හඳුන්වන අතර, ඉංග්‍රීසි බසින් බාර්ක්‌ ගෙකෝ ලෙසද විද්‍යාත්මකව Hemidaetylus leschenanltii ලෙසද හැඳින්වේ. 1836 වසරේදි මෙම හූනා විද්‍යා ලෝකයට හඳුන්වා දී ඇත්තේ ඉන්දියාවෙනි.

කිඹුල් හූනා මෙන්ම දැවැන්ත තිත් හූනා, හුඹස්‌ හූනා, මහගල් හූනා, දිවාසැරි හූනන් විශේෂ කිහිපයක්‌ වනාන්තර බදව හමුවන විශාල හූනන් ලෙස සැලකේ. අද කිඹුල් හූනන් ලෙස අල්ලාගනු ලබන්නේද, අලෙවි කරනු ලබනවා යෑයි කියන්නේද කිනම් හූනන් විශේෂද යන්න පැහැදිලිs නැත. දැවැන්ත තිත් හූනා ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම හූනු විශේෂයයි. සෙන්ටි මීටර් 30 ක්‌ පමණ දිගින් යුතු මෙම හූනා ශ්‍රී ලංකාවේ පමණක්‌ දිවි ගෙවයි. එබැවින්ම මෙම හූනන් කුමක්‌ සඳහා යොදා ගන්නේද යන්නත් හරිහැටි පැහැදිලිs නැත. ඇතැම් විට හූනන්ගේ පිට දමා වෙනත් වටිනා කියන දේ හොර රහසේ රට පැටවීමේ කුමන්ත්‍රණ මේ පසුපස තිබෙන්නටද පුළුවන. කිසිදු වැඩකට නැති හූනකුට ලක්‍ෂ ගණන් ගෙවන්නට මුදල් විසිකරන පුද්ගලයන් සිටීද යන්නත්, මෙය සත්‍යයක්‌ද යන්නත් සැබවින්ම ගැටලුවකි. කිඹුල් හූනකු හෝ ඒ හා සමාන සත්වයකු ළඟ තබාගත් පමණින්ම මෙවන් දැවැන්ත ජාවාරම් හා මුදල් ගනුදෙනු ඇතැයි කියන්නට නොහැකිය. තවමත් අනාවරණය නොවී ඇති කිඹුල් හූනු කතාන්දරය පසුපස ඇත්තේ එවන් තත්ත්වයකි.

කෙසේ හෝ කිඹුල් හූනකු පමණක්‌ නොව සත්ත්ව කොටසක්‌, සත්ව කූඩුවක්‌ යනාදී වන හා වනජීවී සම්පත් ළඟ තබාගැනීමද වරදක්‌ බව සමාජය දැනගත යුතුව ඇත. වෙළෙ¹ම ඊට වඩා බරපතළ කාරණයකි. දඬුවම් ලැබිය යුතු වරදකි. වන සත්ත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥ පනත හා වන ආඥපනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන ඊට දඬුවම් ලබාදිය හැකිය. එවන් තත්ත්වයක්‌ තිබියදී වන හා වන සත්ව වෙළෙ¹ම ගැන දෙවරක්‌ සිතා බැලීමට මෙම ජාවාරම්කරුවන් සිතෙහි තබා ගැනීම වැදගත්ය.

ජගත් කණහැරආරච්චි

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.