ඇටෙන්ඩන්ලා සමඟ රාජකාරි
කිරීමට දොස්‌තරලා සූදානම්

අජිත් අලහකෝන්

තමන්ට සහාය දීමෙන් වැළකී සිටින හෙදියන් වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඇටෙන්ඩන්වරුන් (උපස්‌ථායකයන්) යෙදවීමට තීරණය කරන්නේ නම් ඔවුන් සමඟ රාජකාරි කිරීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඊයේ (24 දා) හදිසියේ රැස්‌වී මෙම තීරණය ගත් බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ඇටෙන්ඩන්වරුන් ලෙස හඳුන්වනුයේ ද හෙදියන්ට සමපාත තනතුරක්‌ බැවින් රෝගී සත්කාරක සේවාවන් සඳහා හෙදියන් වෙනුවට ඔවුන් යොදාගැනීමට වෛද්‍යවරුන් සූදානම් බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේය.

හෙද හෙදියන් වෛද්‍යවරුන්ගේ උපදෙස්‌ පිළිනොපදින්නේ නම් රෝගී සත්කාරය උදෙසා වැඩ කරන්නේ කාගේ උපදෙස්‌ මතදැයි වෛද්‍ය නවීන් ද සොයිසා මහතා විමසා සිටියේය.

සූතිකාගාර පුහුණුව හෙදියන්ට ලබානොදීම තාක්‍ෂණික තීරණයක්‌ බව ද එය ඉවත් කරවා ගැනීම සඳහා රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රයාමාර්ගයකට එළැඹෙන්නේ බස්‌නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය මූලික කරගනිමින් සිය අත්තනෝමතික ඉල්ලීමක්‌ රජය ලවා ඉටුකරවා ගැනීමට බව ද වෛද්‍ය නවීSන් සොයිසා මහතා ප්‍රකාශ කළේය.

වෘත්තීය සමිති නායකයන් හෙදියන් කිහිපදෙනකු කුලප්පු කර ඇතැයි ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්‌ව සිටින්නේ හෙදියන්ගෙන් කොටසක්‌ පමණක්‌ බව ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේය.

දැනට සිදුකරන වින්නඹු පුහුණුවේ පරිපාලන කටයුතුවලින් ද හෙදියන් ඉවත් වන්නේ නම් එම කාර්යය ද සම්පූර්ණයෙන්ම නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්ට ලබාදිය හැකි බව කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වසර තුනක පුහුණුව අවසන් කළ හෙදියන් හෙද හිඟය නිසා රටපුරා වසා දමා ඇති රෝහල්වලට වහාම අනුයුක්‌ත කළ යුතු බව ද කීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.