කුණු පලතුරු කිලෝ 55,000ක්‌ අල්ලයි

ලසිත දුමින්ද

එළැඹෙන උත්සව සමයට වෙළෙඳපොළට එවීමට සූදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටි 2.5ක්‌ වටිනා පලතුරු කිලෝ 55,000ක්‌ ඊයේ (26 වැනිදා) ගම්පහ ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යාපාරික ස්‌ථානයක තිබී පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.කුණු වී, තැලී පොඩි වී ගිය, පුස්‌කා තිබූ ඇපල්, මිදි සහ දොඩම් කිලෝ 55,000ක්‌ මෙසේ පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන ඇත.

මේවා සුපිරි වෙළෙඳ සල්වලින් ඉවත් කරන ඒවා බවත්, මෙම පළතුරු හොඳ පලතුරු සමග කලවම් කොට කාඩ්බෝඩ් පෙට්‌ටිවල බහා යළි වෙළෙඳ පොළට එවන බවට අනාවරණය වූ බවත් පාරිභෝගික අධිකාරිය පවසයි.

ඊයේ (26) අලුයම මෙම වැටලීම සිදුකර ඇති අතර, එම අවස්‌ථාවේදීත් කම්කරුවන් විසින් අන්නාසි වත්තක්‌ මැද ඉතා රහසිගතව මෙම පරිභෝජනයට නුසුදුසු පලතුරු පෙට්‌ටිවලට අසුරමින් සිටි බවත් පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

මෙම ජාවාරම කාලයක්‌ තිස්‌සේ කරගෙන ගොස්‌ ඇති බවත්, මෙය පිටුපස වෛද්‍යවරයකු ද සිටින බවත් හෙළි වී ඇත.

අදාළ ව්‍යාපාරික ස්‌ථානයේ හිමිකරු ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 75,000 ක දඩයක්‌ නියම කර, පලතුරු තොගය විනාශ කිරීමට නියෝග කර ඇත.

පාරිභෝගික අධිකාරියේ ක්‍ෂණික දුරකථන අංකයට ලද තොරතුරකට අනුව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත ගම්පහ දිස්‌ත්‍රික්‌ පාරිභෝගික අධිකාරියේ ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදුකළහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.