කළුබෝවිල රෝහලේ නව මහල් වාට්‌ටු ඉදිකිරීම් නතර වේ!

ගොඩනැඟිල්ල විවෘත කළොත් අඩුපාඩු සියල්ල සම්පූර්ණයි
- වෛද්‍ය අධිකාරී

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ජායාරූප - ඥානතිස්‌ස ජයවර්ධන



කළුබෝවිල දකුණු කොළඹ ශීක්‍ෂණ රෝහලේ අලුතින් ඉදිකරමින් පවතින නව මහල් වාට්‌ටු හා සායන ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු වසරකටත් වැඩි කාලයක සිට නතර වී ඇතැයි එම රෝහල් සේවකයෝ පවසති.

මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කළ කොන්ත්‍රාත් සමාගම හිටි හැටියේ වැඩ අතරමග නතර කර දමාගොස්‌ ඇතැයි ද එම සේවකයෝ කියති.

රෝහලේ වාට්‌ටුවල හා සායනවල පවතින තදබදයට පිළියමක්‌ වශයෙන් ඉදිවෙමින් තිබූ මෙම ගොඩනැඟිලි සංකීර්ණයේ වැඩ කටයුතු නතර වී තිබීම නිසා ගැටලු රැසක්‌ මේ වන විට පැන නැගී ඇතැයි ද රෝහල් සේවකයෝ කියා සිටිති.

මෙම නව මහල් ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ඒ වටා තබා ඇති යකඩ පලංචිද මේ වන විට අව්වට වේලෙමින් වැස්‌සට තෙමෙමින් දිරාපත් වෙමින් පවතින අතර, ඒවා එම ගොඩනැඟිලි සංකීර්ණය අසලින් ගමන් ගන්නා රෝගීන්ගේ ශරීරය මතට ඇද වැටී විශාල අනතුරක්‌ සිදු වන දිනය අත ළඟ බවද එම රෝහල් සේවකයෝ කියති.

මෙම නව මහල් ගොඩනැඟිලි සංකීර්ණයේ වැඩ කටයුතු කඩිනමින් නිමා කරදෙන්නැයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් එම රෝහල් සේවකයෝ ඉල්ලා සිටිති.

අප මේ ගැටලුව ගැන එම රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියෙමු.

මේ ගොඩනැඟිල්ලේ වැඩ කටයුතු අතරමග නතර කිරීම ගැන මා ලිතව සෞඛ්‍ය බලධාරීන්ව දැනුවත් කරලයි තිබෙන්නේ. නමුත් තාම එයට ප්‍රතිචාරයක්‌ ලැබී නැහැ. ඇත්තටම මේ ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කළ පසු රෝහලේ අඩුපාඩු සියල්ලක්‌ම සම්පූර්ණ වෙනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.