බාල බෙහෙත් ගැන තවත් සාක්‍ෂියක්‌

ඒමන්ති මාරඹේ

ප්‍රමිතියෙන් තොර වීම නිසා ඔස්‌ටේ්‍රලියාව වසර තුනක්‌ ඇතුළතදී භාවිතයෙන් ඉවත් කරනු ලබන බෙහෙත් වර්ග සංඛ්‍යාව ශ්‍රී ලංකාව මාසයක්‌ ඇතුළතදී රජයේ රෝහල්වලින් ඉවත් කරන බව මහාචාර්ය සේනක බිබිලේ අනුස්‌මරණ සංවිධානය පවසයි.

ඔස්‌ටේ්‍රලියාව විසින් පසුගිය වසර තුන තුළදීම භාවිත කරන අතරතුර ප්‍රමිතියෙන් තොර බව සොයා ගැනීම නිසා භාවිතයෙන් ඉවත් කරනු ලැබූ බෙහෙත් වර්ග සංඛ්‍යාව 6 ක්‌ වන බවත් ශ්‍රී ලංකාවේ මාසයකට එසේ ප්‍රමිතියෙන් තොර වීම නිසා බෙහෙත් වර්ග 6 ත් 18 ත් අතර සංඛ්‍යාවක්‌ භාවිතයෙන් ඉවත් කරනු ලබන බවත් එම සංවිධානය කියා සිටී.

මෙසේ මෙරට රජයේ රෝහල්වලින් භාවිත කරන අතරතුර ඉවත් කෙරෙන ප්‍රමිතියෙන් තොර බෙහෙත් වර්ග අතර හදිසි අවස්‌ථාවල භාවිත කරන ජීවිතාරක්‍ෂක බෙහෙත් වර්ග, ප්‍රබල ප්‍රතිජීවක, මානසික ආබාධයන්ට ලබාදෙන බෙහෙත් හා නිර්වින්දනය සඳහා භාවිත වන බෙහෙත් වර්ග වන බව අනාවරණය වී තිබේ.

මහාචාර්ය සේනක බිබිලේ අනුස්‌මරණ සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්‌ඩාර මහතාට අනුව මෙරටට ආනයනික බෙහෙත් වර්ගවලින් සියයට 80 ත් 90 ත් අතර සංඛ්‍යාවක්‌ ආනයනය කරනුයේ ප්‍රමිතියෙන් තොර බෙහෙත් වර්ග සඳහා ලෝක ප්‍රසිද්ධ අසල්වැසි රටවල සමාගම්වලිනි.

මෙසේ ප්‍රමිතියෙන් තොර බෙහෙත් වර්ග එක දිගට රටට ඇදී ආවද, බෙහෙත් හිඟයක්‌ ඇති වුවද වාර්ෂිකව බෙහෙත් වර්ග මෙරටට ආනයනය කිරීම සඳහා වැය කරන මුදල වර්ෂයෙන් වර්ෂයට වැඩි වෙමින් පවතින බව පෙන්වා දෙන වෛද්‍ය බණ්‌ඩාර 2010 වසරේදී රුපියල් බිලියන 24.5 ක්‌ වූ බෙහෙත් ආනයනය වියදම 2012 වසරේදී රුපියල් බිලියන 47.5 දක්‌වා වැඩි වීම මෙයට නිදසුන් බව අවධාරණය කර සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.