හදවතේ මතුවූ අසාමාන්‍ය නාළයක්‌ වසා දැමූ විස්‌මිත සැත්කමක්‌

පේරාදෙණිය මහරෝහලට ඇතුළත් කළ නිලන්ත බණ්‌ඩාර නමැති 14 හැවිරිදි දරුවා ඉතා කලාතුරකින් හමුවන හෘදයේ අසාමාන්‍යතාවකින් යුත් අයෙක්‌ විය. ඔහුගේ හෘදයවස්‌තුවේ පුප්පුශීය ධමනිය සිට වම් කර්ණිකාවට අසාමාන්‍ය නාළයක්‌ පිහිටා තිබිණි. මෙම නාළයේ විෂ්කම්භය මිලිමීටර් 16 කි. සාමාන්‍යයෙන් හෘදය වස්‌තුවේ ඇති නාළයක විෂ්කම්භය මිලිමීටර් 8-10 ක්‌ අතර වේ.

මෙම අසාමාන්‍ය නාළය නිසා සිරුරේ අපිරිසිදු රුධිරය පුප්පුශීය ධමනිය ඔස්‌සේ පෙනහළු වෙත ගොස්‌ පිsරිසිදු රුධිරය ලෙසින් පුප්පුශීය ශිරා ඔස්‌සේ යළි හෘදයේ වම් කර්ණිකාවට නොපැමිණේ.

අපිරිසිදු රුධිරය පෙනහළු වෙත නොගොස්‌ කෙලින්ම පුප්පුශීය ධමනියේ සිට හෘදයේ වම් කර්ණිකාවට ගමන් කරයි.

මෙම තත්ත්වය නිසා දරුවාගේ සිරුරෙහි පිරිසිදු රුධිර ගමන් නොකිරීමෙන් නිල් පැහැ ගැන්වී තිබිණි. මොළයේ වර්ධනය බාලවීමේ අවදානමක්‌ මතුව තිබිණි. දරුවාගේ ශරීර වර්ධනයේ සහ ක්‍රියාකාරිත්වය අඩුවෙමින් පැවතුනි.

අතපය හතරම නිරෝගීව ඇස්‌ කන් නාස නීරෝගීව බාහිර පෙනුමින් කිසිදු රෝගයක්‌ හෝ ආබාධයක්‌ නොදැකිය හැකි මෙම දරුවාගේ ජීවිතය බේරාගැනීමට නම් කළ යුතුව තිබුණේ මෙම අසාමාන්‍ය නාළය සැත්කමක්‌ මගින් ඉවත් කිරීමට පෙර එය වසා දැමීමය.

පේරාදෙණිය මහ රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රෝහණ තෙන්නකෝන්, විශේෂඥ වෛද්‍යවරුන් වන අජිත් කුලරත්න, ඥනමුර්ති මයුරතන්, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීවරුන් වන වෛද්‍ය නාරද කොඩිතුවක්‌කු, උදිත හේවාරත්න යන මහත්ම මහත්මීන් සහ ප්‍රධාන හෙදි නිලධාරිනී ඒ. කීර්තිලතා, හෙදි නිලධාරිනියන් වන සී. රත්නායක, එස්‌. වන්නිනායක විද්යුත් කන්තු ශිල්පී අත්තනායක සහ විකිරණ ශිල්පි සී. පන්නිලගේ යන කණ්‌ඩායම මෙම දරුවාගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුමට සූදානම් වූහ.

මෙවැනි ඉතා විරල රෝගයක්‌ සඳහා ප්‍රතිකාර කිරීමත් අභියෝගයකි. දරුවාගේ උරස්‌ කුහරය විවර කර සැත්කමක්‌ මගින් නාළය වසා දැමීම එක්‌ ප්‍රතිකාර ක්‍රමයකි. ඒ සඳහා දරුවා සම්පූර්ණයෙන් නිර්වින්දනය කළ යුතුය. සැත්කම සඳහා පැය හයක්‌ පමණ ගතවේ.

මීට අමතරව තවත් සැත්කම් ක්‍රමයක්‌ ඇත. එය සිදු කරන්නේ පාදයේ නහරයක්‌ දිගේ කුඩා බටයක්‌ (කැතීටරයක්‌) ඇතුළුකර එය පුප්පුශීය ධමනිය ඔස්‌සේ හෘදය වස්‌තුව හරහා අධර මහා ශිරාවෙන් දකුණු කර්ණිකාව වෙතද ඉන් පසු දකුණු කෝෂිකාව ඔස්‌සේ පුප්පුශීය ධමනිය වෙත යවා එතැනින් අසාමාන්‍ය නාළය දිගේ වම් කර්ණිකාවට යවා අන්තර් කර්නික සිදුරු වැසීමේ උපාංගයක්‌ අසාමාන්‍ය නාළය අවහිර වනසේ තැන්පත් කරනු ලැබීමය.

මෙවැනි එක්‌ සැත්කමක්‌ ලෝකයේ දැනට සිදුකර ඇත. එහි අත්දැකීම් සහ අන්තර් කර්ණික සිදුරවැසීමේ සැත්කම් සිදුකර ලබා ඇති අත්දැකීම් මත වෛද්‍ය කණ්‌ඩායම අවසානයේදී තීරණය කළේ පාදයේ නහරයක්‌ ඔස්‌සේ කැතීටරයක්‌ යවා සිදු කරන අතිනවීන සැත්කම මෙම දරුවාට සිදු කිරීමටය.

එම සැත්කම සඳහා දරුවා සම්පූර්ණයෙන් සිහිනැති කළ යුතු නැත. පාදය කොටස පමණක්‌ හිරිවට්‌ටා දරුවා පියවි සිහියෙන් සිටියදී සැත්කම සිදුකරනු ලබයි.

සැත්කම සඳහා ගතවන්නේ පැය දෙකහමාරක්‌ පමණ කාලයකි.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු ලොව දියුණු රටවල ඇති අතිනවීන පහසුකම් මත සැත්කම් සිදු කරන වෛද්‍යවරුනට නොදෙවෙනි බව යළිත් වරක්‌ පසක්‌ කරමින් මෙම සැත්කමද අතිසාර්ථකව සිදු කරනු ලැබීය. සැත්කම සිදුකර පැය කිහිපයක්‌ යන විට දරුවාගේ රුධිරයේ තිබිය යුතු ඔක්‌සිජන් ප්‍රතිශතය 92%- 94% දක්‌වා වැඩිවිය. දරුවාගේ පැවැති අසාමාන්‍යතාවය නිසා මෙතෙක්‌ ඔහුගේ රුධිරයේ පැවැති ඔක්‌සිජන් ප්‍රතිශතය 64% ක්‌ පමණය.

එනිසා දරුවාට හුස්‌ම ගැනීමේ අපහසුව සහ ශරීරය නිල් පැහැවීම මතුව තිබිණි.

දැන් නිලන්ත බණ්‌ඩාර දරුවා නිරෝගීය. යළිත් කිසිදු දිනක හෘදයේ ඇති අසාමාන්‍ය නාළයෙන් රුධිර ගමනාගමනයට බාධාවක්‌ ඇති නොවේ.

ඒ ගැන ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය උදිත හේවාරත්න මහතා අපට පැවසුවේ මෙසේය.

මෙම දරුවාට තිබුණේ ඉතා කලාතුරකින් මතුවන හෘද රෝගයක්‌. සාමාන්‍යයෙන් පේරාදෙණිය හෘද රෝග ඒකකයේ හෘද කර්ණික සිදුරුවැසීමේ සැත්කම් 8 ක්‌ 10 ක්‌ පමණ මාසයකට සිදු කරනවා. නමුත් මෙවැනි අසාමාන්‍ය නාළයක්‌ වැසීමේ සැත්කමක්‌ සිදු කළ පළමු අවස්‌ථාව මෙයයි. එය අප කාටත් අලුත් අත්දැකීමක්‌ වුණා.

මෙවැනි අසාමාන්‍යතාවක්‌ මතුවන්නේ කළලය වර්ධනයේදීමයි. මවු කුසේදී හෘදය සහ පෙනහළු වර්ධනය වන විට ඇතිවන අසාමාන්‍යතාවක්‌ ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මෙවැනි රෝගීන් මෙතෙක්‌ ලෝකයේ හමුවී ඇත්තේ පනහකට අඩු සංඛ්‍යාවක්‌.

අපි දරුවාට සැත්කම සිදු කිරීමෙන් පසු වරින් වර ඔහුගේ රුධිරය පරීක්‍ෂා කළා. සැත්කමින් පසු දරුවාගේ රුධිරයේ ඔක්‌සිජන් ප්‍රතිශතය නිරෝගී අයකුගේ මට්‌ටම වන 92% 94% අතර සීමාවට වර්ධනය වී තිබුණා. ඒ කියන්නේ සැත්කම සාර්ථකයි.

ඇත්තටම මෙවැනි විශ්වකර්ම සැත්කම් සිදු කළ හැකි වෛද්‍යවරු අප රටෙහි සිටීම ගැන අප ආඩම්බර විය යුතුයි. ඉස්‌සර නම් මෙවැනි රෝගයකදී විදෙස්‌ රටක වෛද්‍ය සේවාවේ පිහිට පතන්නට අපට සිදුවිය. දැන් එසේ අවශ්‍ය නැත. එය වෛද්‍ය ක්‍ෂේත්‍රයේ අප ලබා ඇති සාර්ථකත්වයක්‌ බව ආඩම්බරයෙන් කිව යුතුය.

උපාලි ද සේරම්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.