දොස්‌තර - හෙද වින්නඹු
කඹ ඇදිල්ලේ සතුට විඳී මරු සැනසිල්ලේ

* අජිත් අලහකෝන්

හෙදියන් වැඩ කළ යුත්තේ කාගේ උපදෙස්‌ මතද... වෛද්‍යවරුන්ගේ උපදෙස්‌ මතද... සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්‌ මතද? එසේ නොමැතිනම් රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන්ගේ හෝ තවත් හෙද සංගමයක සභාපති වන සමන් රත්නප්‍රියගේ උපදෙස්‌ මතද?

මෙම ගැටලුව මතු වූයේ පසුගියදා හෙදියන් වෛද්‍යවරුන් පවරන වැඩ නොකර සිටීමට ගත් වෘත්තීය ක්‍රියා මාර්ගය නිසාය. "අපි කියන දේ නොකරනවා නම් ඒ අය ඉන්නේ මොනවටද... වෛද්‍යවර පැවැසූහ. හෙදියෝ ඕනේ නෑ.... ඒ වැඩේත් අපිම කරන්නම්... යෑයි පැවැසූ වෛද්‍යවරු රෝගීන්ට බෙහෙත් විද්දොaය... සේලයින් බෝතල් ඇඳෙන් උඩ එල්ලා... ඒවායේ කටු රෝගියාගේ සිරුරට බද්ධ කළෝය.

"හෙදියො නැතත් අපිට ඇටෙන්ඩන්ලා ඉන්නවා... අපි ඒ අය එක්‌ක වැඩ කරන්න සූදානම්...." වෛද්‍යවරු පසුව කීහ.

හෙදියන් සහ වෛද්‍යවරුන් අතර මේ කඹ ඇදිල්ල පවතින්නේ කලක පටන්ය. ඒ සූතිකාගාරය නිසාය.

මෙතෙක්‌ කලක්‌ සූතිකාගාරය තුළ සිටියේ වින්නඹු මාතාවන්ය. දැන් දැන් හෙදියන්ටද සූතිකාගාරයට යන්නට ආසාවක්‌ ඉපදී තිබේ. ඒ නිසා වින්නඹුකම කරන්නට තමන්ටද සූතිකාගාර පුහුණුව ඕනෑ යෑයි කියමින් හෙදියෝ අරගල කරති. "සූතිකාගාරය අයිති අපට... ඒක හෙදියන්ට දෙන්න බෑ...." කියමින් වින්නඹු අම්මලා කෑ ගසති.

වින්නඹු අම්මලාගේත්.... හෙදියන්ගේත් සටන මෙසේ ඇවිලෙද්දී දොස්‌තරලාට නායකත්වය දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙදියන්ට පහර දෙන්නට වින්නඹු අම්මලා අතට අවි දෙන්නට පටන් ගත්තේය. වෛද්‍යවරු සිටින්නේ වින්නඹු අම්මලාගේ පැත්තේය. වෛද්‍යවරුන්ගේ මේ තීරණයට උරණ වූ හෙද වෘත්තීය සමිතිය පළිගැනීමට සිතා දොස්‌තරලාට සහාය දීමේ රාජකාරියෙන් ඉවත්වීමට තීරණය කළේය. පසුගියදා අප දැක්‌කේ ඒ තීරණයට වෛද්‍යවරු මුහුණ දුන් ආකාරයයි.

වෛද්‍යවරු මේ සම්බන්ධව පසුගිය සතියේ සිය සංගමය තුළ විවිධාකාර සාකච්ඡා පැවැත්වූහ. රජයේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ දැනට වින්නඹු පුරප්පාඩු 3800 ක්‌ පවතින බවත්... එය හෙදියන් මගින් පිරවීමට උත්සාහ දරන බවත් වෛද්‍යවරු පවසති. වින්නඹු අම්මලාගේ රාජකාරිය හෙදියන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගැනීම පිළිබඳව වෛද්‍යවරුන් දරන්නේ මෙවැනි මතයකි.

වින්නඹු සේවාවට දීර්ඝ ඉතිහාසයක්‌ ඇත. එය ශත වර්ෂ ගණනාවක්‌ ඈතට දිව යන්නකි. පවුල් සෞඛ්‍ය සේවිකාවන්... ලෙසද හඳුන්වන වින්නඹු මාතාවන් හෙද සේවයට වඩා ඉතා පැරැණි සේවාවක්‌ බවද කිව යුතුය.

කාන්තාවක්‌ මවක වීමේ ලක්‌ෂණ පෙන්වන දා සිටම ඇයත් කුස තුළ වැඩෙන දරුවාත් රැකබලා ගන්නී වින්නඹු අම්මාය. මවගේ පෙර ප්‍රසව කාලය, සූතිකාගාර කටයුතු, පසු ප්‍රසව රැකවරණය, අලුත උපන් බිලි¹ට රැකවරණය ලබාදීම, ඊට සරිලන උපදේශන ලබාදීම, උපත් පාලන ක්‍රම හඳුන්වා දීම ඈ විසින් ඉටුකරන සේවාවන්ය. වින්නඹු සේවාව නිසි පරිදි ක්‍රියාත්මක වීම තුළින් රටේ මාතෘ මරණ අනුපාතිකය, බිලිඳු මරණ අනුපාතිකය සහ ළදරු මරණ අනුපාතිකය යන දර්ශකයන් පහත අගයක්‌ ගනුයේ. මේ දර්ශක මාතෘ හා ළමා සෞඛ්‍ය දර්ශකයන් පමණක්‌ම නොවේ... සමස්‌ත රටේම සෞඛ්‍ය නිර්ණායකයන් ලෙසද පිළිගැනේ.

වින්නඹු මාතාවගේ වගකීම් විෂය පථය තාක්‌ෂණික ලෙස එකිනෙකට ඉතා දැඩි ලෙස බද්ධ වී ඇත. එය අඛණ්‌ඩ ධාරාවකින් සමන්විත වේ. එබැවින් ඉන් එක්‌ කොටසක්‌ තවත් වෘත්තිකයන් කණ්‌ඩායමක්‌ වෙත පැවරීම සාධාරණද යන්න සලකා බැලිය යුතුය.

වින්නඹු සේවාවත් හෙද සේවාවත් තාක්‌ෂණික ලෙස එකිනෙකට වෙනස්‌ සේවාවන් දෙකකි. යම් හෙයකින් හෙදියන් වින්නඹු මාතාවන්ගේ සේවයට යොදවනවා නම් එය සමාන කළ හැක්‌කේ හෘද රෝග විශේෂඥයන් ප්‍රසව හා නාරිවේද විශේෂඥයන්ගේ රාජකාරියට යෙදවීමේ කාර්යයටය.

හෙදියන් වින්නඹු සේවාව තුළට කඩා පැනීම එය ආක්‍රමණය කිරීම මගින් සිද්ධ වන්නේ එම සේවාවන් දෙකෙහිම ගුණාත්මක භාවය බිඳවැටීමය. අන්තර් ජාතික ඇගයීමට අපේ රට ලක්‌වූ මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ උසස්‌ ප්‍රමිතිය අනතුරට ලක්‌ කිරීමය.

සාමාන්‍යයෙන් හෙදියක්‌ පුහුණු කිරීම සඳහා වසර තුනකට වැය වන්නේ රුපියල් ලක්‌ෂ දහ අටක මුදලකි. නමුත් වින්නඹු මාතාවක්‌ පුහුණු කිරීමට වසර එකහමාරක්‌ ගතවන අතර වැයවන්නේ රුපියල් ලක්‌ෂ එකොළහකි. දැනට සිටින පුහුණු හෙදියක්‌ වින්නඹු සේවය සඳහාද පුහුණු කරන්නේ නම් හෙදියන් පුහුණු කිරීම සඳහා වැය වන මුදල රුපියල් ලක්‌ෂ 29 දක්‌වා ඉහළ නඟින අතර කාලය වසර හතරහමාර දක්‌වා දීර්ඝ වේ. එම නිසා හෙදියන්ට වින්නඹු කම ඉගැන්වීමට වැයවන මුදලින් දල වශයෙන් වින්නඹු මාතාවන් තුන් දෙනකුවත් නිපදවා ගත හැක. පවතින වින්නඹු මාතාවන්ගේ හිඟය ඒ අනුව 2015 වන විට සම්පූර්ණයෙන්ම අවසන් කළ හැකිය.

වින්නඹු පුහුණුව ලබා දුනහොත් එය අවසානයේදීත් හෙදිය හෙදියක්‌ ලෙස සේවය කරන්නේ නම් ඔවුන් උගත් වින්නඹු පාඨමාලාවෙන් ප්‍රයෝජනයක්‌ අත්වේද එමගින් හෙද සහ වින්නඹු මාතා හිඟය තව තවත් වැඩි වනු ඇත.

වින්නඹු සේවය සඳහා බඳවා ගැනීම, පුහුණුව ලබා දීම සහ සේවා පරිපාලනය දැනට හෙදියන්ගේ අධීක්‌ෂණයට ඈඳාගෙන තිබේ. වින්නඹු පුහුණුව සහ ඔවුන්ගේ සේවා සැලසීම හෙදියන්ගේ අධීක්‌ෂණය යටතට ගෙන ඇති තත්aත්වයක්‌ තුළ එය හෙද වෘත්තීය සමිතිවල අනිසි බලපෑමට සහ අපයෝජනයට ලක්‌වන තත්ත්වයක්‌ද දැක්‌විය හැකිය. එමෙන්ම හෙදියන් ඔවුන්ගේ ඉල්ලීම් ලබා ගැනීමට වින්නඹු සේවාවට ගැටලු ඇති කිරීමේ තත්ත්වයක්‌ද මේ ඔස්‌සේ නිර්මාණය වී තිබේ.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීමය කටයුතු සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබාදී ඇත්තේ වෛද්‍ය ආඥ පනත තුළිනි. වෛද්‍ය ආඥ පනත මගින් සූතිකාගාර කටයුතු සඳහා අදාළ නීතිමය අවසරය ලබාදී ඇත්තේ වෛද්‍යවරුන්ට සහ වින්නඹු මාතාවන්ට පමණි. යම්කිසි හදිසි තත්ත්වයක්‌ නිසා හෝ හෙදියක්‌ යොදවා ගන්නේ නම් එහි සියලු වගකීම් අදාළ වෛද්‍යවරයා විසින් දැරිය යුතුය. "හෙද - වින්නඹු" වශයෙන් සේවා කණ්‌ඩායමක්‌ වෛද්‍ය ආඥ පනතෙහි කිසිදු ස්‌ථානයක දක්‌වා නැත. එහෙයින් සෞඛ්‍ය සහ හෙද පරිපාලනය පිළිබඳ රටෙහි පවත්නා නීතියට අනුකූලව කටයුතු කළ යුතුය.

ලෝකය පුරා මාතෘ හා ළමා සෞඛ්‍ය නීතිය ඉදිරියේදී ඉතාමත් දැඩි නීතිමය ගැටලුවලට මුහුණ දෙන්නා වූ ක්‌ෂේත්‍රයන් 2 කි. වෛද්‍යවරුන්, විශේෂයෙන්ම ප්‍රසව හා නාරිවේද විශේෂඥයන් විසින් මෙම ගැබිනි මව සහ බිහිවන දරුවා සම්බන්ධ වූ අදාළ වගකීම දරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේදය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මඟින්, මාතෘ සහ ළමා සෞඛ්‍යය සම්බන්ධ වූ සියලු කටයුතු අන්තර් ජාතික
දොස්‌තර-හෙද වින්නඹු....

10වැනි පිටුවෙන්

ප්‍රමිතීන්ට සහ වෛද්‍ය ආඥ පනතට අනුකූලව සිදුවිය යුතු බව දක්‌වා ඇත.

වෛද්‍ය කර්මයට එරෙහිව සිදුවන නීතිමය පියවර දිනෙන් දින වැඩි වන යුගයක ඉහත සඳහන් කළ නීතිමය ප්‍රතිපාදනයන්ට එකඟව කටයුතු කළ යුතු බව අපද අවධාරණය කරමු.

සායනික කටයුතුවලදී එහි වගකීම එම ඒකකයේ ප්‍රධානියා ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට පැවරී ඇත. හෙදියක්‌ මෙම කාර්යයෙහි යෙදවීම නිසා සිදුවන සේවයේ ඕනෑම බිඳවැටීමක්‌ සම්බන්ධව ද පිළිතුරු දීමට එතුමාට සිදු වේ. මෙය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා ලෙස සායනික කටයුතු ඉතා නිවැරැදිව, රෝගී සිත සුව පිණිස සිදුකිරීමට ඔහුට ඇති වගකීමට අමතරව බව සැලකිය යුතුය.

එහෙයින් මෙම රෝගී සත්කාර කටයුතු හෙදිය සහ වින්නඹු මාතාව අතර තරගයට හේතු නොවිය යුතු බව අප අවධාරණය කරමු.

මෙම සායනික කටයුත්තක්‌ වූ සූතිකාගාර සේවය සම්බන්ධව ඇතිවී ඇති ගැටලුව වෛද්‍ය කර්මය පදනම් වී ඇති මූලික සිද්ධාන්තවලටද පටහැනි බව අපහට පෙනී යයි.

රටෙහි හෙදියන්ගේ දැඩි හිඟයක්‌ පවතියි. හෙදියන් බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළකළත් අදාළ සංඛ්‍යාව බඳවා ගැනීමට අසමත් වේ. පුරප්පාඩු 11000 ක්‌ ප්‍රකාශයට පත් කළවිට ඉල්ලුම්කරුවන් සිටියේ 4000 ක්‌ පමණි. එහෙයින් තම පුහුණුව නිම කළ හෙදියන් කිසිදු පමාවකින් තොරව අදාළ සේවාවන් සඳහා පත්කළ යුතුව ඇත. විශාල රෝහල් සංඛ්‍යාවක හෙද හිඟය නිසා දැනට වසා ඇති ඒකක විවෘත කිරීමට ආධාර වනු ඇත. පත්වීම් අපේක්‍ෂිත හෙදියන්ද මෙම කරුණ සම්බන්ධව මේ වන විට තම අසතුට ප්‍රකාශ කර ඇතත් අවාසනාවක්‌ ලෙස හෙද වෘත්තීය සමිති මෙම වැඩපිළිවෙළ ප්‍රමාද කිරීමේ කටයුතුවල නිරතව සිටියි.

හෙදියන්ගේ ශ්‍රේණිගත උසස්‌වීම් පහසු කරවීම සඳහා හෙදියන් හට යම්කිසි කෙටි සූතිකාගාර පුහුණුවක්‌ ලබා දීමට විවිධාකාර චක්‍රලේඛ හරහා සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත. මේ සම්බන්ධ වූ නවතම චක්‍රලේඛය 2012.10.02 වන දින නිකුත් කළ අතර ඒ අනුව අවම වශයෙන් වසර 4 ක හෙද සේවයේ පළපුරුද්දක්‌ තිබීම මෙම ශ්‍රේණි උසස්‌ වීම් සඳහා ඉල්ලුම් කිරීමට අනිවාර්ය කර ඇත.

එහෙයින් මූලික පුහුණුවේ කොටසක්‌ ලෙස වින්නඹු පුහුණුව ලබාදීමේ කිසිදු පදනමක්‌ නැත. එමෙන්ම මෙලෙස ලබා දෙන පුqහුණුව වින්නඹු කර්මය සම්බන්ධව පූර්ණ පුහුණුවකට කිසි ලෙසකින් සමාන නොවන අතර ඔවුන් වින්නඹු මාතාවන් ලෙස හැඳින්වීම කළ නොහැක. ඔවුන් ශ්‍රේණි උසස්‌ වීම් ලැබූ පරිපාලක හෙදියන් පමණක්‌ වන අතර වින්නඹු මාතාවන් ලෙස කටයුතු සිදු කරන්නේ නැත.

සියලුම පාර්ශ්වකරුවන්ගේ සහ අදාළ ක්‌ෂේත්‍රයේ විද්වතුන්ගේ විමසීමකින් තොරව මේ සම්බන්ධ චක්‍ර ලේඛ නිකුත් කර ඇත. එහෙයින් සායනික සිද්ධාන්ත සහ සායනික යහපාලනය පමණක්‌ නොව රටේ පවත්නා නීතියටද පටහැනිව යමින් ඇතැම් පරිපාලනමය තීරණ ගෙන ඇති බව අපට නිරීක්‍ෂණය වේ. මෙම තත්ත්වය ප්‍රායෝගික ගැටලු ඇතිකිරීමට හේතු වී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉහතින් දක්‌වා ඇති සිය නිරීක්‍ෂණ සඳහා නිර්දේශද ඉදිරිපත් කර සිටී. සෞඛ්‍ය සේවයේ බිඳවැටීම් නතර කිරීමටත්, මාතෘ හා ළමා සෞඛ්‍යය සම්බන්ධ උසස්‌ ප්‍රමිතීන් ප්‍රතිස්‌ථාපනය කිරීමටත් ඔවුන් ගෙනහැර පාන නිර්දේශ මොනවාද?

වින්නඹු පුරප්පාඩු 3800 ක්‌ පිරවීම සඳහා භාවිත කළ යුත්තේ වින්නඹු මාතාවන් පුහුණු කිරීම සඳහා පමණක්‌ දැනට වෙන්කර තිබෙන ප්‍රතිපාදන පමණි. මෙය දරන වියදමට සරිලන පිරිවැය ඵලදායිතාවකින් යුක්‌ත පියවරක්‌ වන අතරම කාලය ඉතිරි කර ගැනීමක්‌ද වන බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන් ඊට මේ වන විටත් ඇමැති මණ්‌ඩල අනුමැතිය ලැබී ඇතැයිද පවසයි.

වින්නඹු සේවාවේ තත්ත්වය තවදුරටත් නඟාසිටුවීම සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ මඟ පෙන්වීම මත වින්නඹු මාතාවන් පුහුණු කිරීම සඳහාම වෙන්වූ ජාතික විද්‍යායතනයක්‌ ස්‌ථාපනය කළ යුතුය යන්න අනෙක්‌ නිර්දේශය වේ.

වින්නඹු සේවය හෙද සේවාව යටතේ පරිපාලනය නොවිය යුතුය. එය උසස්‌ සෞඛ්‍ය පරිපාලකයන්ගේ පාලනය යටතට පත්විය යුතුය.

තමන්ට පත්වීම් ලබා දෙන්නැයි ඉල්ලමින් සිටින මූලික හෙද පුහුණුව ලද හෙදියන්.. හෙද හිඟය පවතින සෞඛ්‍ය ආයතන වෙත නොපමාව අනුයුක්‌ත කළ යුතුය යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තවත් නිර්දේශ දෙකකි.

විටෙක ඖෂධ ප්‍රශ්නය, තවත් විටෙක වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය. ඒවා විසඳෙද්දී හෙදියෝ අවි අමෝරා ගනිති. දැන් මේ වෘත්තීය සටන් අතරට වින්නඹු මාතාවෝද පැමිණ සිටිති.

මිනිසකුට උපතේ සිට මරණය දක්‌වාම සේවාවන් සපයන මේ වෘත්තිකයෝ තම සේවා කාලය තුළ මෙසේ අරගල කරද්දී රෝගියා වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? ඒ මාරයා ඇර වෙන අයෙකු වන්නේ නම් කොතරම් වාසනාවක්‌ද?

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.