හොරාගෙ අම්මා පේන කියන
අලුත් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය


වසර ගණනාවක්‌ මුළුල්ලේ ක්‍රියාත්මක කරන බවට සෞඛ්‍ය බළධාරීන් විසින් වරින් වර ප්‍රකාශ කරමින් තිබූ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ මාතෘකාව මෙම දිනවල යළි කරළියට පැමිණ තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස්‌ කරනලද ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාර දීමත් සමඟම මේ පිළිබඳව යළි උණුසුම් වාද විවාද මතුවෙමින් පවතී.

ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත 2005 වසරේ කැබිනට්‌ මණ්‌ඩලය විසින් අනුමත කරනු ලදුව පසුව අස්‌ථානගත වූ බවට සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශ කරනු ලැබූ ලියවිල්ලමද යන්න පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති මේ වනවිට සැක පහළ කර තිබේ. ඉහත කී අස්‌ථානගත වූ බව ප්‍රකාශ වූ ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත සකස්‌ කිරීම සඳහා විද්වතුන්, සෞඛ්‍ය වෘත්තීය සමිති මෙන්ම මහජනතාවගේ අදහස්‌ හා යෝජනාද ලබාගෙන තිබුණු අතර අස්‌ථානගත කළ කෙටුම්පත වෙනුවට සකස්‌ කර ජනාධිපතිවරයාට භාරදුන් ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත කිසිදු පාර්ශ්වයකට අධ්‍යයනය කිරීමට තබා ඒ සඳහා ඔවුන්ගේ අදහස්‌ යෝජනා ඉදිරිපත් කිරීමටවත් අවස්‌ථාවක්‌ ලබා නොදුන් බවට දැනටමත් සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් චෝදනා කර තිබේ.

මේ නිසා එම නව ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත අධ්‍යයනය සඳහා ලබා දෙන ලෙස ඖෂධවේදීන්ගේ සංගමය මෙන්ම මහාචාර්ය සේනක බිබිලේ අනුස්‌මරණ සංවිධානයද මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීම් කර තිබේ.

සැබැවින්ම මෙය පැහැදිලිවම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මෙරට ක්‍රියාත්මකවීම තවත් ප්‍රමාද වන තත්ත්වයකි. ඖෂධ ප්‍රතිපත්තියක්‌ යනු හුදෙක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ අභිමතය මත පමණක්‌ සකස්‌ කළ හැකි ලියවිල්ලක්‌ නොවන බව මෙහිදී බලධාරීන් විසින් අවබෝධ කර ගත යුතුය. එවැනි ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමේදී විද්වතුන්, සෞඛ්‍ය වෘත්තීය සමිති, මහජනතාව ඇතුළු නොයෙකුත් පාර්ශ්aවයන්ගේ අදහස්‌ හා යෝජනා ලබා ගැනීම අනිවාර්ය කාර්යයකි.

මන්ද ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වනුයේ රටේ රෝගී ජනතාවගේ අභිවෘද්ධිය සඳහා නිසාය.

සෞඛ්‍ය බලධාරීන් විසින් අස්‌ථානගත වූ බවට ප්‍රකාශ කරනු ලැබූ ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත එම සියලු කරුණු සපුරාලූ ලියවිල්ලක්‌ විය. ඒ සඳහා සෑම පාර්ශ්වයකම අදහස්‌ හා යෝජනා ලබා ගැනිණි. එය කැබිනට්‌ මණ්‌ඩලය විසින් අනුමත වූ පසුද කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ඉල්ලා සිsටියේද එම තත්ත්වය හේතුවෙනි. එහෙත් ඒ සා වැදගත් ලියවිල්ලක්‌ පිටපතක්‌ ළඟ තබා ගැනීමෙන් තොරව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට අනුමැතිය සඳහා යෑවීමත් එහිදී එම ලියවිල්ල අස්‌ථානගතවීමත් යන කාරණාවල සත්‍ය අසත්‍යතාවය දනුයේ ඒ පිළිබඳව පුන පුනා ප්‍රකාශ කරනු ලබන සෞඛ්‍ය බලධාරීන් පමණකි.

අදටත් රජයේ රෝහල්වලින් අත්‍යවශ්‍ය බෙහෙත් හිඟවීම පිළිබඳව මෙන්ම බාල බෙහෙත් වර්ග භාවිතයට නිකුත් කර තිබීමේ සිද්ධීන් පිළිබඳව එමට වාර්තා වේ. මහාචාර්ය සේනක බිබිලේ අනුස්‌මරණ සංවිධානයට අනුව මෙරට සෑම මසකම බෙහෙත් වර්ග 6 ත් 18 ත් අතර සංඛ්‍යාවක්‌ තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීම සිදු වේ. එයද සිදුවනුයේ එම බෙහෙත් වර්ග රෝගී ජනතාවගෙන් සෑහෙන පිරිසකට නිකුත් කිරීමෙන් අනතුරුවය.

එහෙත් පුදුමයට කරුණ නම් ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල එසේ වසර තුනකටම භාවිතයෙන් ඉවත් කරනුයේ තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග 6 ක්‌ වැනි සුළු සංඛ්‍යාවක්‌ වීමයි. මෙවැනි තත්ත්වයක්‌ පැවැතියදීත් ජනතාවගේ ඇස්‌වලට වැලි ගසා තම අභිමතයට අනුව ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ සකස්‌ කර එය කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කිරීම පිළිබඳව ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය බලධාරීන් ලැඡ්ජා විය යුතුය.

එහෙත් එසේ ලැඡ්ජා වෙනු වෙනුවට තව තවත් බෙහෙත් මාµsයාව ශක්‌තිමත් කරන අයුරින් සෙසු පාර්ශ්වයන්ගේ අදහස්‌ විමසීමකින් තොරව ඉදිරිපත් කරනු ලැබූ ඖෂධ ප්‍රතිපත්තිය සාධාරණීකරණය කිරීමට බලධාරීන් කටයුතු කරනු දක්‌නට ලැබේ.

දැනට සකස්‌ කර ඇති ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හරහා රෝගී ජනතාවට ගුණාත්මක බවින් ඉහළ බෙහෙත් වර්ග අඩු මිලට ඖෂධීය නාමයෙන් මිලදී ගත හැකි බවට සෞඛ්‍ය බළධාරීන් පවසා සිටියද එම ප්‍රතිපත්ති කෙටුම්පතෙහි අන්තර්ගත කරුණු මෙතෙක්‌ ප්‍රසිද්ධ නොකිරීමද ගැටලුවකි.

අනෙක්‌ අතට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම විධිමත් පරීක්‍ෂණයක්‌ හෝ පැවැත්වීමට මැලි වන මෙරටට ගෙන්වනු ලබන බෙහෙත් වර්ග ලියාපදිංචි කිරීමට සම්බන්ධ ආයතනයක ප්‍රධානියාට එරෙහිව පවතින දූෂණ චෝදනා හේතුවෙන් සකස්‌ කර ඇති ඖෂධ ප්‍රතිපත්තියෙහි ගුණාත්මකභාවය පිළිබඳවද සැක පහළ වී තිබේ. ඉහත කී ආයතන ප්‍රධානියා පිළිකා රෝගීන්ට ලබා දෙන අධි මිල එන්නත් වර්ගයක්‌ මෙරටට ගෙන්වීම සඳහා එක්‌තරා චූදිත බෙහෙත් සමාගමකට එක්‌ දින සේවය යටතේ ලියාපදිංචිය ලබාදීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්‌ව සිටී. අපද්‍රව්‍ය සහිත එන්නත් කුප්පි ඇතුළු බෙහෙත් වර්ග රජයේ රෝහල්වලට සැපයීම සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව අසාදු ලේඛනගත (බ්ලැක්‌ ලිස්‌ට්‌) කිරීමට පවා පාත්‍ර වූ මෙකී බෙහෙත් සමාගමට නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව පිළිකා එන්නත් ගෙන්වීමේ ටෙන්ඩරය පිරිනැමූ නිලධාරියාව ආරක්‌ෂා කරනු ලබන නිලධාරීන් විසින් සකස්‌ කරන ලද ඖෂධ ප්‍රතිපත්තියක්‌ පිළිබඳව විශ්වාසයක්‌ තැබිය නොහැකි බව සෞඛ්‍ය වෘත්තීය සමිතිවල මතය වී තිබේ.

එසේම අදාළ ආයතන ප්‍රධානියා වසර 15 ක පමණ කාලයක්‌ මුළුල්ලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට හිමි වැටුප වංචනික අයුරින් ලබා ගැනීම සම්බන්ධව චෝදනා ලැබ සිටින අතර මූලික විමර්ශනවලදී ඒ බව තහවුරු වී තිබේ. කෙසේ වුවද මේ දක්‌වා ඔහුට එරෙහි චෝදනා පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට පියවර නොගත් සෞඛ්‍ය බලධාරීහු එම වෛද්‍ය අධ්‍යක්‍ෂවරයාට සේවා උසස්‌වීමක්‌ ලබා දීමට පවා සැලසුම් කර තිබීම සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ විමතියට හේතු වී ඇත.

මෙවැනි තත්ත්වයක්‌ තුළ එවැනි දූෂිත නිලධාරියකුද සේවයෙහි රඳවා ගෙන සකස්‌ කර ක්‍රියාත්මක කිරීමට යන ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ පවතිනුයේ බරපතළ සැකයකි. මන්ද ඉහත කී සෞඛ්‍ය ආයතන ප්‍රධානියා අපද්‍රව්‍ය සහිත බෙහෙත් වර්ග මෙරට රජයේ රෝහල්වලට සැපයූ බෙහෙත් සමාගම් සමඟ දැඩි සබඳකම් පවත්වන අයෙකු වීමත් නිසාය. එම දූෂිත සමාගම්වලට බෙහෙත් ගෙන්වීමේ ටෙන්ඩර් වංචනික ලෙස පිරිනැමීමට දිගින් දිගටම ඔහු කටයුතු කරමින් සිටීම මේ බව සනාථ කරවයි.

අනෙක්‌ අතට මෙම සෞඛ්‍ය ආයතන ප්‍රධානියාව ඉකුත් පෙබරවාරි මස සිට වෙනත් සෞඛ්‍ය ආයතනයකට මාරු කර යවා ඇතත් ඔහු තවමත් අමාත්‍යාංශ නිලධාරීන්ගේ රැකවරණය යටතේ විවිධ හේතූන් දක්‌වමින් සිය නව ස්‌ථාන මාරුව ලබා ගැනීම ප්‍රමාද කරමින් සිටී. ඔහු විසින් පසුගිය සති කිහිපය තුළදී සිය නව ස්‌ථාන මාරුව සඳහා යැම කල් දැමීමට ඉදිරිපත් කරන ලද නවතම හේතුව වූයේ 29 වැනිදා පැවැති බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ කාල සීමාව තුළ එසේ ස්‌ථාන මාරු සඳහා යැම නීති රීති උල්ලංඝනය කිරීමක්‌ බවයි.

එහෙත් මේ පිළිබඳව මැතිවරණ මහ කොමසාරිස්‌ කාර්යාලයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විමසූ විටදි එවැනි නීති උල්ලංඝනය කිරීමක්‌ විධිමත් ස්‌ථාන මාරුවීමකදී සිදු නොවන බැවින් එම ස්‌ථාන මාරුව ක්‍රියාත්මක කරන ලෙසට අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබිණි. කෙසේ වුවද මේ වන විටත් එම ස්‌ථාන මාරුව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් තවත් සෞඛ්‍ය සේවාවට අයත් අධ්‍යක්‍ෂවරුන් දෙදෙනකුට සිය ස්‌ථාන මාරුවීම් සඳහා යැම අවහිර වි තිබේ.

මෙවැනි තත්ත්වයක්‌ පැවැතියද ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස්‌ කිරීමේදී ද දායකත්වයක්‌ දැක්‌වූ ඉහත කී දූෂිත නිලධාරියා මෙයට වසර දෙකකට පමණ පෙර මෙරට පෞද්ගලික ඔසුසැල් වලින් භාවිතයෙන් ඉවත් කරන ලද "කොඩේන්" නමැති මත්ද්‍රව්‍ය අන්තර්ගත සිරප් වර්ග හොර රහසේම නැවත පෞද්ගලික ඔසුසල්වල අලෙවියට අවසර දීම පිළිබඳවද වාර්තා විය. එය කොමිස්‌ මුදල් අදාළ සිරප් වර්ග සපයනු ලබන සමාගම්වලින් ලබා ගෙන සිදු කරන ලද්දක්‌ බව හෙළි වී තිබේ.

වංචනික අයුරින් වැටුප් වර්ධකයන්ද සමගින් විශේෂඥ වෛද්‍යවරයකුට හිමි වැටුප ලබා ගනිමින් සිදු කළ බරපතළ මුදල් වංචාව පිළිබඳව මෙම නිලධාරියාට එරෙහිව ගෙන ඇති එකම පියවර ඔහු විසින් නීති විරෝධී අයුරින් ලබා ගත් මුළු මුදල වන රුපියල් මිලියන 3.15 න් 1/3 ක්‌ වන රුපියල් මිලියන1 ක මුදලක්‌ පමණක්‌ වාරිකවලින් ඔහුගේ වැටුපෙන් කපා ගැනීම පමණකි.

මෙම නිලධාරියා පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌ පවා නොපවත්වා ඔහුට සේවා උසස්‌වීමක්‌ ලබා දීමට තැත් කළ නිලධාරීන් විසින් සකස්‌ කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව විශ්වාසය තැබිය හැකිද යන්න සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් නඟනු ලබන පැනයකි.

තත්ත්වය මෙසේනම් දැනට කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත විනිවිදභාවයකින් යුතුව සකස්‌ කරනු ලැබූ අස්‌ථානගත වූ බවට ප්‍රකාශ කරන ලද කෙටුම්පතමද යන්න පිළිබඳව ජනතාවට පැහැදිළි කරදීම බලධාරීන් සතු යුතුකමකි.

ඒමන්ති මාරඹේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.