වස විස ගෙනා බැරල්වලින් අලුත් අවුරුද්දට පොල්තෙල්!



"වස" ඉතාමත් රසවත් ලෙස අප ගන්නා ආහාරයට එක්‌වෙමින් ඇත. ඒ විවිධ ක්‍රම මගින්ය. ඒ සම්බන්ධව තොරතුරු හා දැනුවත් කිරීම් මාධ්‍ය මගින්ද රටට හෙලිදරව් කරමින් ඇත. පාරිභෝගික අධිකාරිය රටේ ජනතාවට වසවිසෙන් තොර ආහාර වේලක්‌ ලබාදීම පිණිස දැඩි කැපකීරීමක නියලෙමින් සිටී. ආහාරයට වසවිස එක්‌කරන, වසවිස සහිත ආහාර වර්ග අලෙවිකරන ස්‌ථාන හා පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේය. එසේ අත්අඩංගුවට ගන්නේ තොග පිටින්ය. එසේත් නැත්නම් ගබඩා පිටින්ය. එහෙත් එහි අඩුවක්‌ දක්‌නට නැත, සීනි, තේ කොළ ටිකේ සිට අප ආහාරයට ගන්නා බොහෝ දේ වසවිස සහිතය. රටක්‌ ලෙස අප 'ලෙඩ ඇඳක්‌" මතට ගොඩවන දවස වැඩි ඈතක නොවන බව හඟවන රතු එළි රටපුරා දැල්වෙන්නේය.

පසුගිය දිනක පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ පිටකොටුව ආදුරුප්පු වීදියේ එක්‌තරා ස්‌ථානයක්‌ හදිසියේ වටලන්නේ මේ දිනවල බහුලව සිදුකරන පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය වැටලීමේ සෝදිසි මෙහෙයුමක්‌ ලෙසය.

එහිදී පරිභෝජනයට නොසුදුසු පොල්තෙල් ලීටර් තිස්‌දහසක්‌ ඔවුන් විසින් අත්අඩංගුවට ගත්තේය. එසේ අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ එම පොල්තෙල් තොගය විස සහිත බැරල්වල ගබඩා කොට තිබීමය. එහිදී ලීටර් දෙසීය බැගින් පිරවිය හැකි තවත් රසායන විස සහිත හිස්‌ බැරල් පනහක්‌ පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවාද තිබී ඇත්තේ පොල්තෙල් පුරවා තැබීම පිණිසය. මෙම වැටලීම සිදුවන අවස්‌ථාව වන විටත් රසායන විස සහිත බැරල් තුළ තැන්පත් කොට තිබූ පොල්තෙල් තොගයෙන් යම් ප්‍රමාණයක්‌ රට පුරා බෙදා හැර අවසන් කොට තිබී ඇති අතර සැකකරුවන්ගෙන් ලත් තොරතුරු මත එම පොල් තෙල් තොගය සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.

ගණන් බලා ඇති ආකාරයට පොල් තෙල් ලීටර තිස්‌දහසක වෙළඳපල වටිනාකම රුපියල් ලක්‍ෂ හැටහයකින් යුක්‌තය. අදාළ සිදුවීම පාරිභෝගික සේවා අධිකාරියේ ඇස ගැසෙන්නට පෙර කුමන උප්පරවැට්‌ටියක්‌ යොදා හෝ වෙළෙඳපලට නිකුත් කළේනම් එළඹෙන

සිංහල අලුත් අවුරුද්දට අපට ආහාරයට ගැනීමට සිදුවන්නේ රසායන විස සහිත තෙලෙන් පිසින ලද කැවුම්, අතිරස ය. නැකතට හිස තෙල් ගෑමට සිදුවන්නේද එම තෙලමය. ඉන් අනතුරුව එළඹෙන මුළු අවුරුද්දම විස සහිත වසරක්‌ වන්නේය.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක පාරිභෝගික සේවා විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීහු නොවන්නට මේ වනවිටත් 'ලාභය' ජීවිතය කරගත් එකෙකු හෝ කීප දෙනකු විසින් ශ්‍රී ලාංකික ජාතියට විෂ රසායනික අඩංගු පොග්තෙල් කවා අවසානය.

පාරිභෝගික අධිකාරි අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව පොල්තෙල් තොගය ගබඩා කොට තිබී ඇත්තේ ටිනර් සහිත කෑන්වල වන අතර පරීක්‍ෂණ වාර්තා මගින් ඉදිරියේදී එය පැහැදිලි කර ගැනීමට නියමිතය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් කරනලද ප්‍රශ්න කිරීම්වලදී හෙලිව ඇත්තේ අදාළ බැරල් තොගය වෙනත් ආයතනයකින් මිලදී ගත් බවත් එහි පිරිසිදුකම පිළිබඳ ඔවුන් එතරම් විමසිලිමත් නොවූ බවත්ය. එම ප්‍රකාශයට අනුව පොල්තෙල්වලට වස කලවම්වීම ඔවුන්ට ඒ හැටි වැදගත්කමක්‌ නැති තරම්ය. එහෙත් ඒ තුළින් රෝගීන් බවට පත්වන්නේ රට වැසියාය. අඩපන වන්නේ රටක හෙට දවසය. මේ හෙලිදරව් වෙමින් පවතින්නේ රටක්‌ රෝගී කොට මඩිතරකරගනිමින් සිටින ජාවාරම්කරුවන්ගේ කැත හිරිකිත නිරුවතය.

අදාළ වැටලීම හා පාරිභෝගික අධිකාරිය විසින් මෙවැනි ජාවාරම් පිළිබඳ මෙතෙක්‌ සිදුකළ වැටලීම් සම්බන්ධව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියකු පවසා සිටියේ මේ වනවිටත් පරිභෝජනයට නොසුදුසු ආහාර ද්‍රව්‍ය වැටලීමේ දැවැන්ත මෙහෙයුමක්‌ රට පුරා ක්‍රියාත්මකවන බවත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස ආදුරුප්පු වීදියේදී මෙම පොල්තෙල් තොගය අත්අඩංගුවට ගත් බවත්ය. පසුගිය කාලය තුළ කළ වැටලීම් හේතුවෙන් මහා පරිමාණයෙන් සිදුකළ ජාවාරම් රාශියක්‌ වැටලීමට හැකිවූ බව සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් කියා සිටියේ මෙවැනි දැ නතර කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේද අවධානය යොමුවී ඇති බවත් එතුමාගේ සෘජු උපදෙස්‌ මත සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්‌ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත මෙම කටයුතු කඩිනමින් හා නිවරැදිව සිදුවන බවත්ය. රාජකාරියට එහා ගිය දැසින් මෙවැනි අකටයුතු දෙස බලා ජනතාවගේ පැත්තෙන් තීන්දු තීරණ ගැනීම අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ගේ අරමුණ බව සඳහන් කළ ඒ මහතා සමාජ සුබ සිද්ධිය මුල්කරගෙන තරාතිරම නොබලා එවැනි පිරිස්‌ නීතිය හමුවට රැගෙන යන බවත් පැවැසීය.

2010 වනවිට නීතිය හමුවට රැගෙන ආවේ මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන්වල යෙදුන පිරිසෙන් හාරදහසක්‌ වැනි සුළු පිරිසක්‌ වෙති. ඉන් අනතුරුව වර්තමාන අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාගේ දැඩි අවධානය මේ සම්බන්ධව යොමුවීමෙන් අනතුරුව 2011 වසරේදී එම සංඛ්‍යාව හතලිස්‌ දහස දක්‌වාත් 2012 වසරේදී තිස්‌හයදහසක්‌ දක්‌වාත් නීතිය හමුවට රැගෙනගිය බව වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් සඳහන්කර සිටින ඒ මහතා දිගින් දිගටම සිදුකළ සෝදිසි කිරීම් හේතුවෙන් 2013 වසරේදී එසේ අත්අඩංගුවට ගත් පිරිස විසිපන්දහස්‌ එකසිය දාසය දක්‌වා පහළ අගයක්‌ ගත් බවත් පැවැසීය.

මෙවැනි නීති විරෝධි කටයුතු නතර කිරීම සඳහා ජනතාව ද විමසිලිමත් විය යුතුය. "අප ජීවත් විය යුත්තේ ආහාර ගැනීම පිණිස නොව ආහාර ගත යුත්තේ ජීවත්වීම පිණිසය" බව සිහිතබා ගත යුතුය. රටපුරා ඇති රජයේ රෝහල් තුළ දිනපතා පිං බෙහෙත් පෝලිම් දිගු වන්නේත් වකුගඩු, පිළිකා රෝගවලට ගොදුරුව රටේ ජනතාවගෙන් පහළොවක්‌ විස්‌සක්‌ දිනපතා වේලාසනම මරණය වැළඳගන්නේත් අප විසින් අනුගමනය කරන ආහාර ගැනීමේ රටාවත් ආහාර සඳහා තෝරා ගන්නා දේත් පිළිබඳ නොදැනුවත්භාවය තුළින්ය. ඒ බව මේ වනවිට ඔප්පු වී ඇති සත්‍යයක්‌ වී හමාරය.

අප කළ යුතුව ඇත්තේ එහි වරද ජොන්ස්‌ටන් ඇමැතිවරයාත් පාරිභෝගික සේවා අධිකාරියත් පිට පටවා අත පිසදා ගැනීම නොව සතර අතින් රටේ ජනතාව බිලිබා ගැනීමට දත් විලිස්‌සන වෙළෙඳ ත්‍රස්‌තවාදය පරාජය කිරීමට පෙළ ගැසීමය.

මන්ද යත් ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය තුළ මරණය යනු ක්‍ෂණික සිදුවීමක්‌ වුවත් වෙළෙඳ ත්‍රස්‌තවාදය තුළ සිදුවන මරණය ඊට හාත් පසින්ම වෙනස්‌ය. ආදුරුප්පු වීදියෙන් සොයාගන්නා රසායනික විෂ සහිත පොල්තෙල් ද, සේදවත්තෙන් හමුවන කුණු සීනි කිලෝ ග්‍රෑම් ලක්‍ෂ පහද, තවත් තැනකින් සොයා ගන්නා ප්‍රැබ්රික්‌ පේන්ට්‌ යෙදූ මිරිස්‌ කුඩු තොගය ඇතුළු මෑතකදී අත්අඩංගුවට ගත් තවත් ආහාරයට නොසුදුසු බොහෝ ආහාර වර්ගද වෙළෙඳ ත්‍රස්‌තවාදයේ දී හමුවන මිනී මරුවන්ය.

ආහාර නිෂ්පාදනය යනු ක්‍රියාවලියක්‌ වන අතර පාරිභෝගිකයා අතට එය පත්වන්නේ එහි අවසන් ප්‍රතිඵලය ලෙසය. මේ වනවිට රටක්‌ ලෙස අප මුහුණපා ඇති අභාග්‍ය සම්පන්න ඉරණමක්‌ බවට පත්ව ඇත්තේද එයමය.

වසර 30 ක්‌ පුරා පැවැති ත්‍රස්‌තවාදයක්‌ මවුබිමෙන් තුරන් කිරීම පිණිස නායකත්වය සැපයූ ජනාධිපතිවරයාගේ අවධානයද ආහාර ත්‍රස්‌තවාදය වෙත දැඩිව යොමුවීම තුළ ජනතාවට වසවිස කැවීමේ ත්‍රස්‌තවාදය පරාජය කළ නොහැකි යෑයි කිසිවෙකුට තර්ක කළ නොහැක. දේශපාලන වාසි අවාසි පසෙකින් තබා ජොන්ස්‌ටන් ඇමැතිවරයා මේ වන විටත් ඒ සඳහා පෙරමුණ ගෙන ඇත.

* රුවන් ජයවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.