සිරිපාලගේ මතකය ඔස්‌සේ බෝගම්බරට පැමිණි සිරිපාලගේ
මතකය ඔස්‌සේ බෝගම්බරට පැමිණි රන් මැණිකා


සිරිපාලට එල්ලුම් ගහ උරුම කළේ පොලිසිය...

සිරිපාල මැරුණේ නිදි පෙති බීලා...

මරු සිර" නැවත ඉපද ඇති සේය. බෝගම්බර බන්ධනාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇති මේ දිනවල සිරිපාලගේ ජීවිත කතාව යළිත් කරළියට පැමිණ තිබේ. ඒ සිරිපාලගේ ආදරණීය බිරිඳ වන රන් මැණිකා බෝගම්බර බන්ධනාගාරයේ එල්ලුම් ගස දැක බලාගැනීමට ඒමත් සමගය.

1948 වර්ෂයේදී උපත ලද සිරිපාල හෙවත් "මරු සිර" අප අසා ඇත්තේ යුක්‌තිය සාධාරණය වෙනුවෙන් සටන් කළ අසාමාන්‍ය මිනිසකු ලෙසය. එමෙන්ම බන්ධනාගාරගතව සිටියදී අවස්‌ථා තුනකදී බන්ධනාගාර නිලධාරීන්ගේ දෑස්‌වලට වැලි ගසා කී වතාවක්‌ නිරුපද්‍රිතව පලා ගිය එඩිතර මිනිසකු ලෙසය. එහෙත් සිරිපාල ජීවත් වූ සමාජයේ සිටි ඇතැමුන්ගේ වෛරී සහ නොමනා ක්‍රියා කලාපයන් හේතුවෙන් අවුරුදු විසිහතක්‌ වැනි අඩු වයසකින් ඔහුට පෝරකය හමුවේ අන්තිම හුස්‌ම පොද වාතලයට මුසු කිරීමට සිදු වූයේය. එහෙත් සිරිපාලගේ මතකය අදටත් අමරණීයයි.

සිරිපාලගේ ජීවිත කතාව අළලා "සිරිපාල හා රන් මැණික" "මරුවා සමග වාසේ" නමින් චිත්‍රපට දෙකක්‌ ද නිෂ්පාදනය කර ඇත. එදා මෙන්ම අදටත් සිරිපාලගේ ජීවන මතකය චිත්‍රපට කතාවකි. එදා මුළු රටම කැළඹූ "මරු සිරාගේ" ජීවිත කතාව ඔහුගේ රන් මැණිකා යළිත් මතක්‌ කළාය. පහළින් පෙළ ගැසෙන්නේ අප රන් මැණිකා සමග කළ කතාබහකි.

"මයේ අම්මා කොයිංමැණිකේ. අප්පච්චි කිරිබණ්‌ඩා. සහෝදර සහෝදරියෝ දහදෙනෙක්‌ අතරේ බඩපිස්‌සි මමයි. අපේ ගම නුවර හේවාහැට ගොඩමුන්නේ. 1943 දී මම ඉපදිලා පෝය දෙක තුනක්‌ ගිය තැන අප්පච්චි සේරම එක්‌කාසු කරගෙන අනුරාධපුරේ පදිංචියට ඇවිත්. අපි කවුරුවත් ඉස්‌කෝලෙ ගිහින් නෑ. අකුරු සාස්‌තරේ දන්නේ නෑ. වී කොටනවා, කුරහන් අඹරනවා, හේන් වැඩ කරනවා. අපිට ළමා කාලයක්‌ තිබුණේ නැහැ... ලොකු අය කරන වැඩ තමයි පුංචි කාලේ ඉඳලා කලේ.

තරුණ කාලය ගෙවී ගියේ කොහොමද?

මට තරුණ කාලයක්‌ තිබුණේ නැහැ. වයස අවුරුදු දහතුනක්‌ විතර වෙනකොට ගුණපාලව හඳුනගත්තා. එහෙම හඳුනගෙන මාසයක්‌ දෙකක්‌ යනකොට ගෙදරටත් හොරා ගුණපාලත් එක්‌ක ගියා. ගුණපාලයි මායි ගොඩක්‌ සතුටින් ජීවත් වුණා. අපි දෙන්නට කෙල්ලෝම පස්‌ දෙනයි. කසාද බැඳලා අවුරුදු නවයක්‌ විතර යනකොට ගුණපාලට සර්පයෙක්‌ දෂ්ඨ කරලා නැති වුණා.

ඊට පස්‌සේ ජීවිතය ගෙවුණේ කොහොමද?

ගුණපාල නැති වුණාට පස්‌සේ ගුණපාලගේ සහෝදරයන් මට හරියට කරදර කළා. මම අරක්‌කු පෙරලා දරුවන්ට කන්න දුන්නේ. අරක්‌කු පෙරපු අනිත් අය මා එක්‌ක හරියට රණ්‌ඩු කළා. ගුණපාලගෙ අයියා සීමනුත් අරක්‌කු පෙරුවා. එයා මට බොහොම කරදර කරපු කෙනෙක්‌. එයාගෙ වචනෙට මාව නම්ම ගන්න බැරි තැන මං නරක ගෑණියෙක්‌ කියලා කතා පැතිරෙව්වා.

ඔබට සිරිපාල මුණගැහෙන්නේ කොහොමද?

ඔය කාලේ සිරිපාල සීමන් ළඟ වැඩ කළා. සීමන් මට දොස්‌ කියන්නේ කතා හදන්නේ මොකද කියලා සිරිපාල හොඳින් දැනන් හිටියා. දවසක්‌ සීමන් පහත් විදිහට මට බනිනවා දැකලා සිරිපාල ඇවිත් මට කිව්වා"උඹට කවදාවත් මේ මිනිහා නිදහසේ ඉන්න දෙන එකක්‌ නැහැ... යමන් මං ඇවිත් ගෙදර නවතින්නම්" කියලා මාත් එක්‌ක අපේ ගෙදර ඇවිත් නතර වුණා.

සිරිපාලගෙ මුල් ගම කොට්‌ටාව පන්නිපිටිය. සිරිපාලගේ තාත්තා සාලියපුර වැඩිහිටි නිවාසයක උපස්‌ථායකයෙක්‌ විදිහට වැඩ කළා. සිරිපාලට අක්‌කයි, අයියලා හතර දෙනයි, මල්ලියි හිටියේ. දවසක්‌ ඉස්‌කෝලෙදී සිරිපාලට ළමයෙක්‌ ගලකින් ගහලා, ගල වැදිලා සිරිපාලගේ දතක්‌ කැඩිලා. ඒ තරහට සිරිපාල අර ළමයාගේ අත බ්ලේඩ් එකෙන් කපලා. මේක ආරංචි වුණ සිරිපාලගේ ලොකු අයියා සිරිපාලව ගේ ළඟ දෙල් ගහක බැඳලා හොඳටම ගහලා. ඊට පස්‌සේ සිරිපාල ඒ දෙල් ගහ කපලා ගේ උඩටම දාලා ගෙදරින් පැනලා ඇවිත්. ඒ ඇවිත් තමයි සීමන් ළඟට වැටිලා තියෙන්නේ.

සිරිපාල හොඳ ආදරවන්තයෙක්‌ද?

ඔව්... එයා මට ගොඩක්‌ ආදරය කළා. ඒ වගේම මගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක්‌ වුණා.

එතකොට සිරිපාල ඔබව කසාද බැන්දේ නැද්ද?

නැහැ... ඒ කාලේ නීත්‍යනුකූල විවාහයක්‌ පිළිබඳව අපිට එතරම් අවබෝධයක්‌ නැහැ. නමුත් අපි දෙන්න අඹුසැමියන් හැටියට දීග කෑවා.

සිරිපාලට දාව ඔබට දරුවෝ නැද්ද?

එක ගැහැනු දරුවෙක්‌ ඉන්නවා. ඒ දුව විවාහ වෙලා දැන් ජීවත් වෙන්නෙ කොළඹ. මම එයා ගැන බලන්නෙත් නෑ. හොයන්නෙත් නෑ.

ඒ ඇයි...

ඒ ගැන මගෙන් අහන්න එපා...

ඔබ හඳුනගත්ත සිරිපාල මොන වගේ චරිතයක්‌ද...?

හොඳ ගුණයහපත් මනුෂ්‍යයෙක්‌. ඒ වගේම ශක්‌තිමත්. සිරිපාලගේ අත් දෙක අපේ අත් වගේ නෙවෙයි. මැණික්‌ කටුව ළඟ රවුම් හැඩේටයි පිහිටලා තිබුණේa. උරහිස්‌ බොහොම පළල්. ඇඟ මහත නෑ. හීංදෑරියි. ඒ වුණාට පුදුම ශක්‌තියක්‌ තිබුණේ. එක දවසක්‌ සාලියපුර හන්දියේදී ලංගම බස්‌ එකක රියෑදුරු එක්‌ක පොඩි රණ්‌ඩුවක්‌ ඇති කරගෙන බස්‌ එකේ හිටිය මිනිස්‌සුන්ව බස්‌වලා තනියෙන්ම බස්‌ එක තල්ලු කරලා වෙලට පෙරළා තිබුණා. කේන්ති ගියහම නම් තනිකර යකෙක්‌. අනිත් වෙලාවට පොඩි එකෙක්‌ වගෙයි. කටට රහට කන්න ඕනෑ. හැබැයි බොහොම පොඩ්ඩයි කන්නේ. තෙප්පිලි හොද්ද එක්‌ක බත් කන්න නම් හරි රුසියා. ළමයි එක්‌ක සෙල්ලම් කරන්න තිබුණොත් වෙන දෙයක්‌ ඕනි නෑ. පුංචි එවුන් ටික ඇළට අරං ගිහින් පැය ගාණක්‌ නානවා. සෙල්ලම් බඩු හදලා දෙනවා. කවි කියනවා. බොරු කකුල් කාරයෙක්‌ ගැන නිතරම සිංදුවක්‌ කියනවා. වැඩක්‌ පලක්‌ වෙහෙස වෙලා කරන්න නම් ඒ හැටි කැමති නෑ. කැත්තේ පිහියෙ වැඩ නම් හරියට කරන්න බැරි ගාණයි. අරක්‌කු පෙරන්න වුණත් ලොකු ආසාවක්‌ තිබුණෙ නෑ. බීඩි බොන්න නම් කැමතියි. හැබැයි මට කවුරුහරි මොකුත් කිව්වොත් නම් ඌට විසුමක්‌ නෑ.

එතකොට සිරිපාලට ඇයි හිරේට යන්න වුණේ...

දවසක්‌ අනුරාධපුරේ පියදාස කියන චණ්‌ඩියෙක්‌ ඇවිත් ඒ මනුස්‌සයාගේ අරක්‌කු බූලියක්‌ සිරිපාල හොරකම් කළා කියලා රණ්‌ඩුවක්‌ ඇල්ලුවා. ඊට පස්‌සේ පියදාස තව දාහත්දෙනෙක්‌ එක්‌ක පොලු මුගුරු අරං සිරිපාලට ගහන්න ආවා. සිරිපාල කැලේa පැන්නා. ටික දවසකට පස්‌සේ සිරිපාල යාළුවකුගෙන් තුවක්‌කුවක්‌ ඉල්ලන් ඇවිත් ගුණපාලට වෙඩි තිබ්බා. මිනිහා මළා. ආයිත් සිරිපාල කැලේ පැන්නා. එහෙම ඉන්නකොට සීමන් මට ආයිත් කරදර කරන්න පටන් ගත්තා. ගුණපාල මැරිච්ච දවසේ ඉඳලා සීමන් මාව අඹුව කර ගන්න බලාගෙන හිටියේ. සිරිපාල මාව ළඟට ගත්ත නිසා සීමන් පොළඟා වගේ හිටියේ. සිsරිපාල සීමන්ට ඉස්‌සර වුණා. සීමන්ගෙ ගෙදරටම ගිහින් සීමන්ටත් වෙඩි තිබ්බා. මිනිහත් මළා. ඊට පස්‌සේ පොලිසි කැලෑ පීර පීර සිරිපාලව හෙව්වා. මාවත් ගෙනියන්න හැදුවා. මමත් කට ගහලා කොහොමහරි බේරිලා හිටියා. අනුරාධපුරේ පොලිසියේ උදවිය ඒ දවස්‌වල මාරාවේසෙන් හිටියේ සිරිපාල හොයා ගන්න බැරුව. මට ලොකු විස්‌වාසයක්‌ තිබුණා සිරිපාල අල්ලාගන්න බෑ කියලා. සිරිපාල මහව නැන්දා කෙනෙක්‌ගේ ගෙදර ගිහින් හැංගුනේ. මේ මනුස්‌සයාට මායි දරුවොයි මතක්‌ වෙනවා කියලා සමහර දවස්‌වල රෑට කැලෙන් ඇවිත් අපිව බලලා යනවා. ඔහොම කට්‌ටි පැන පැන ඉන්නකොට කවුරුහරි ඔත්තුවක්‌ දීලා මහව ගෙදර රෑ කකා ඉද්දි පොලිසියෙන් අල්ලගෙන ගිහින් අනුරාධපුරේ හිරගෙදරට දැම්මා. එතකොට මම ආයෙත් බඩින්. හරි තොරතුරු දැනගෙන මම සිරිපාලව බලන්න ගියේ සතියක්‌ විතර ගියාට පස්‌සෙයි. එයා හිරගේ ඇතුළෙදි ඒ ටික දොහට නූල් ජාතියකින් මුද්දකුයි, මාලයකුයි, වළලුයි හදලා තියලා ඒ ගිය වේලාවේ එයාම මගෙ අතට දාලා ලස්‌සනයිද කියලා ඇහුවා. අර ඉස්‌කෝලෙ කාලෙ කැඩුණ දතත් බන්ධනාගාරෙන් හැදුවා කියලා පෙන්නුවා. හැම නඩු දිනේකදිම මම ගියා සිරිපාල නිදහස්‌ වෙයි කියලා හිතාගෙන.

එක නඩුවක්‌ කතා කළා 1972 ජුනි 11 වැනිදා. හරියටම ජුනි 10 වැනිදා රෑ මට අමාරු වෙලා දරුවා ලැබුණා. 11 සිරිපාල බලන්න උසාවි යන්න ලැබුණේ නෑ.. සිරිපාල මාව හොයලා. අපේ ගමේ කෙනෙක්‌ උසාවියේ ඉඳලා. එයා කියලා මට දරුවා ලැබිලා කියලා. එදාම දවල් සිරිපාල උසාවියෙන් ආපහු හිරගෙදරට ගෙන යන අතරේ බන්ධනාගාර බස්‌ එකෙන් පැනලා ගිහින් තිබුණා.

සිරිපාලට ඇයි "මරු සිර" කියන නම පටබැඳුනේ...

සිරිපාල හිරේදී එයාගේ පපුවෙ "මරුවා සමග වාසේ" කියලා පච්චයක්‌ කොටවාගෙන තිබුණා. ඒ වගේම එයා මිනී මැරුම් දෙකක්‌ කළ නිසා මිනිස්‌සු එයාව මරු සිරා කියලා හඳුන්වන්න පටන් ගත්තා. එයාගේ නියම නම ඩෙඩ්ඩුව ජයතුංගලාගේ සිරිපාල.

සිරිපාලව "මරු සිර" කළේ කවුද?

වෙන කවුද පොලිසිය මිසක්‌. ඒ කාලෙ අනුරාධපුර පොලිසියේ ඒකනායක කියලා පොලිස්‌ නිලධාරියෙක්‌ හිටියා. එයා තමයි මගේ මිනිහට එල්ලුම් ගහ උරුම කළේ.

මොකක්‌ද ඒ කතාව...?

සිරිපාල ඒ පොලිස්‌ නිලධාරියා එක්‌ක ආරවුලක්‌ ඇති කරගෙන. ඒකට පළිගන්න සිsරිපාල හිටිය හැම හිරගෙදරකටම ගිහින් ඒ පොලිස්‌ කාරයා හඳුනන ගාඩ්ලටයි සිරකරුවන්ට කියලා සිරිපාලට කරදර කෙරෙව්වා. සමහර හිරකාරයෝ සිරිපාල කන බත්පතට ලුණු දානවලු. දෙහි ලෙලි දැම්මලු. ඒ වෙලාවට සිරිපාලට තරහා ගිහින් උන්ට ගහලා. මම බලන්න ගියහම මට කියනවා ඒකනායකයා මෙහෙටත් ඇවිත් මට ඉන්න දෙන්නේ නැහැ කියලා. සිරිපාල බලන්න හිරගෙදරට ගිය හැම දවසකම මම නොසෑහෙන්න ඇඬුවා. අනුරාධපුර, මහනුවර හිරගෙවල්වල නිලධාරීන්ගෙනුත් සිරිපාලට ගොඩක්‌ හිරිහැර වුණා. කරදර ඉවසගන්න බැරිව සිරිපාල සියදිවි හානි කර ගන්නත් ගිහිල්ලා තිබුණා. එක දවසක්‌ බාර්ලි බෝතල් දෙකක්‌ කුඩු කරලා වතුරට දාලා බීලා තිබුණා. තව දවසක්‌ වැලිකඩ හිරගෙදරදී බල්බ් දෙකක්‌ කුඩු කරලා වතුරට දාලා බීලා තිබුණා. ඒ වෙලාවේ ලේ බඩ ගිහින් සිරිපාලව ඉස්‌පිරිතාලෙටත් ගෙනිහින් තිබුණා. ඒ හැම දේම කළේ අර ඒකනායක කියන පොලිස්‌කාරයා. ඒ පොලිස්‌කාරයා කියලා තිබුණා සිරිපාලට කරදර කරනකොට හොඳටම කේන්ති යනවා. එතකොට ඕකාව ඉක්‌මණින්ම එල්ලා මරන්න පුළුවන් කියලා. මගෙ මිනිහට කරපු වින්නැහියට ඔය පගාකාරයාගේ මිනී වළටත් හෙණ ගහනවා. ඒ කාලේ මට වැඩිය තේරුමක්‌ නෑ. දැන් වගේ නම් මම ඔය කියන ඒකනායකයාගේ ජීප් එකට බෝම්බයක්‌ හරි දාලා මරනවා.

ඒ මිනී මැරුම් දෙක හැර සිරිපාල වෙනත් වැරැදි කළේ නැද්ද?

නැහැ...

අපි නම් අහලා තියෙන්නේ සිරිපාල ඇති අයගෙන් හොරකම් කරලා නැති අයට බෙදාදුන්නා කියලයි...

ඇත්ත... පොන්නදොරේ මුදලාලි බැංකුවට සල්ලි දාන්න යන වේලාවකදී ඒ සල්ලි හොරකම් කරලා තෙප්පම්කුලමේ නැති බැරි මිනිසුන්ට බෙදා දීලා තිබුණා. මගේ අතේ දාලා තිබුණු මුද්ද උගස්‌ කරලා දුප්පත් මිනිස්‌සුන්ට කන්න බොන්න බඩු අරන් දීලා තියෙනවා. සිරිපාල යනකොට අතේ දාගෙන එන මුද්ද ගෙදරට එනකොට නැහැ. මුද්ද කෝ කියලා ඇහුවාම යාළුවෙක්‌ ටිකකට ඉල්ල ගත්තා කියලා හිනා වෙනවා. සමහර දවස්‌වලට ඇඳගෙන යන සරම කාටහරි දීලා එනකොට ඇඳන් එන්නේ පරණ සරමක්‌.

සිරිපාල ගැන මේ ගමේ මිනිස්‌සුන්ට තිබුණේ මොන වගේ හැඟීමක්‌ද?

සිරිපාලට ගමේ අය එදත් අදත් ආදරෙයි. ගමේ මිනිස්‌සු කිසිම දවසක සිරිපාලව පාවා දුන්නේ නෑ.

පවුල් ජීවිතයේදී සිරිපාලගෙන් ඔබට හිරිහැර කරදර වුණේ නැද්ද...?

එකම දවසක්‌ සීමන් මට විරුද්ධව සිරිපාලට කේළාම් කියලා තරහ ගිහින් මගේ අතට කඩුවකින් කෙටුවා. එදා සිරිපාල ගොඩක්‌ දුක්‌ වුණා. ඇඟිල්ල කැපිලා ලේ ගොඩක්‌ ගියා කියලා හරක්‌ මස්‌ ගෙනත් උයල ලේ වඩන්න කියලා මට කන්න දුන්නා. මම කවදාවත් හරක්‌ මස්‌ කාල තිබුණේ නෑ. සිරිපාලගෙ බල කිරීම උඩ එදා මට හරක්‌ මස්‌ කන්න වුණා.

සිරිපාල අවස්‌ථා කීයකදී හිරෙන් පැන්නද?

අනුරාධපුර හිර ගෙදරින් තුන් වතාවක්‌ පැන්නා. එක වතාවකදී තවත් සිරකරුවන් තිස්‌ හය දෙනෙක්‌ අරගෙන ගිහින් තිබුණා. එදා සිරිපාලලා බන්ධනාගාර ලොරියකින් පැනලා ගිහින් තිබුණේ. එදා සිරිපාල හිරෙන් පැන්නේ එයාට දාව මට ලැබුණු දුව බලන්න එන්න. පස්‌සේ සිරිපාල බන්ධනාගාර ලොරිය විලච්චිය කැලේ දාලා රෑ කැලෙන් පැනලා ගෙදරට ඇවිත් දුව බලලා ගියා. ඊට පස්‌සේ දවස්‌ ගාණකට සාලියපුර පුලියන්කුලම වැඩිහිටි නිවාසෙ වතුර ටැංකිය ළඟට ගිහින් එයා වෙඩි තියාගෙන තිබුණා. ඒ වෙඩි පාර පපුව පසාරු කරගෙන පිටකොන්දෙන් මතු වෙලා තිබුණා. ඒත් මැරුණේ නැහැ. අනුරාධපුර ඉස්‌පිරිතාලෙට ඇතුළත් කළාට පස්‌සේ ආයිත් පොලිසිය අත්අඩංගුවට අරගෙන බෝගම්බරට ගෙනිච්චා. ඊට පස්‌සේ හිරෙන් පනින්න බැරි වුණා.

සිරිපාලව එල්ලා මරණ දිනය ඔබ දන්නවද?

ඔව්... 1975 අවුරුද්දෙ අගෝස්‌තු 05 වැනිදා. උදේ 5.05 ට. සිරිපාලව එල්ලා මරනවා කියලා බෝගම්බර හිරගෙදරින් ටෙලිග්‍රෑම් එකකින් මට දැනුම් දුන්නා. මම අගෝස්‌තු 02 වැනිදා සිරිපාලව බලන්න බෝගම්බරට ගියා. එදා මට බලන්න ලැබුණේ නැහැ. ඊට පස්‌සේ 04 වැනිදා රෑ සිරිපාල එක්‌ක මට කතා කරන්න ලැබුණා.

ඒ වෙලාවේ සිරිපාල මොනවද කිව්වේ...

හෙට උදේ වෙනකං තියාගෙන ඉන්නෙ නැතිව දැන් එල්ලුවත් හොඳයි කිව්වා. මම හිරගෙදර විඳින දුකේ හැටියට ඉක්‌මනින් එල්ලා මරන එක සැපක්‌ කියලත් කිව්වා. මම උන් අතින් එල්ලිලා මැරෙන්නේ නැහැ. ඊට කලින් මම නිදි පෙති බීලා මැරෙනවා කියලත් කිව්වා.

සිරිපාලව එල්ලා මරණ වෙලාවෙ ඔබ එහි හිටියේ නැද්ද?

නෑ... මම හතර වෙනිදා රාත්‍රියේම ගෙදර ආවා.

සිරිපාල එල්ලා මැරුව කියලා ආරංචිය ලැබුණහම මොනවගේ හැඟීමක්‌ද දැනුණේ...

ඒ දුක වචනවලින් කියන්නේ තේරෙන්නේ නැහැ.

සිරිපාල එල්ලුම් ගහේ එල්ලීමට පෙර මිය ගිහින් සිටියා කියන කතාව ඇත්තද?

ඔව්... මැරිච්ච මිනිහගෙ මළ සිරුර තමයි එල්ලල තිබුණෙ.

ඔබ කොහොමද එහෙම කියන්නේ....

ඊට පෙර දිනයේ මම සිරිපාලව බලන්න ගියාම එයා මට කිව්වා අද රෑට මම නිදි පෙති බීලා මැරෙනවා. කිව්වා වගේ මහත්තයා රෑ 11 විතර නිදි පෙති බීලා. උදේ සිරිපාලව එල්ලා මරන්න ඉස්‌සර වෙලා සිරිපාලට බණ කියන්න හාමුදුරු නමක්‌ වැඩම කරලා තිබුණා, ඒ වේලාවේ හාමුදුරුවො සිරිපාලට කතා කරන්න කියලා බන්ධනාගාර නිලධාරීන්ට කිව්වලු. සිරිපාල ඒ වේලාවේ නැගිට්‌ටේ නෑලු. බන්ධනාගාර නිලධාරීන් බැටන් පොල්ලකින් ඇඟට ඇනලා නැගිට්‌ටන්න උත්සාහ කළාලු. ඒත් සිරිපාල නැඟිටලා නෑ. මැරිච්ච මිනිස්‌සුන්ට බණ කියන්නේ නැහැ කියලා හාමුදුරුවො යන්න ගියාලු.

සිරිපාලගෙන් පස්‌සේ ඔබ තවත් විවාහයක්‌ කර ගත්තද?

ඔව්... එයා සිරිපාලගේ යාළුවෙක්‌. ධර්මදාස. සිරිපාලයි ධර්මදාසයි එකට හිරේ ඉඳලා තියෙන්නේ. සිරිපාලව එල්ලා මරනවා කියලා තීන්දු කළාහම එක දවසක්‌ සිරිපාල මට එන්න කියලා පණිවිඩයක්‌ එව්වා. මම යනකොට ධර්මදාසත් ඇවිත් හිටියා. එදා සිරිපාල ධර්මදාසට කිව්වා මාව හොඳට බලාගන්න කියලා.

දැන් ඔබ ජීවත් වෙන්නේ කොහොමද...?

දුව තමයි මාව බලා ගන්නේ. දැන් මට අවුරුදු 71 එකක්‌ වෙනවා. මම හැමදාම මැරි මැරී උපදින ගෑනියක්‌. මගේ වකුගඩු දෙක නරක්‌ වෙලාලු අක්‌මාවත් නරක්‌ වෙලාලු, පෙනහලුත් හොඳ නැතිලු, ලෙඩ ගොඩක්‌... මං මැරුණොත් මේ කෙල්ල තනි වෙයි කියලා පපුව හෝස්‌ ගානවා.

ඔබ මේ පදිංචි වෙලා ඉන්නෙ ඔබේම නිවසේද?

නැහැ... දුවගේ ගෙදර. මේකත් කොයි වේලාවක කඩා වැටෙයිද දන්නේ නෑ. ඒ තරමටම අබලන් වෙලා.

ඇයි මාලිනි ෆොන්සේකා මහත්මිය සහ අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා ඔබට නිවසක්‌ හදලා දෙනවා කිව්ව නේද?

ඔව්.. මුල් ගලකුත් තිබ්බා. දැන් ඒ මුල් ගල පැළ වෙලා.

ඒ කාලේ ඔබ බෝගම්බරට නිතර නිතර ගියා. ඇයි නැවත බෝගම්බර බලන්න ගියේ...

මම ගියේ මගේ පණ එල්ලපු එල්ලුම් ගහ බලන්න. මගේ මහත්තයා දුක්‌විඳපු කළුවර කාමරය බලන්න.

එල්ලා මැරීම නැවත ක්‍රියාත්මක කරන්න කියලා ඔබ එදා රජයෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියා. එහෙම කළේ ඇයි...?

මගේ මහත්තයා මනුෂ්‍ය ඝාතන දෙකක්‌ සිදු කළ වරදට එල්ලා මැරුවා. අද කාලේ එකම පවුලේ බටු තලන්න වාගේ පස්‌ හය දෙනා කපා කොටා වෙඩි තියලා මරලා දානවා. පුංචි ළමයි දූෂණය කරනවා. අන්න උන්ව එල්ලා මරන්න ඕනා. ඒ වගේ එවුන් මේ සමාජයේ තියන්න හොඳ නෑ.


තරංග රත්නවීර - පසුබිම් වාර්තා - පර්සි කුරුනේරු- උපේක්‌ෂා වීරසේකර


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.