පැරදුණේ ඇයි?

බස්‌නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද දෙකෙහි ප්‍රතිඵල ගැන වඩාත් හොඳින් හාරා අවුස්‌සා බලන විට පෙනී යන්නේ බර ගණනක්‌ පැරදී ඇති බව ය. ජනතාව සමහර තැන්වලදී කිසිදු කොලිටියක්‌, ප්‍රමිතියක්‌, හිරිකිතයක්‌ නැතිව ඡන්දය පාවිච්චි කර තිබේ. සමහර තැන්වල ඔවුන් කොලිටියට සහ ප්‍රමිතියට කටයුතු කර ඇති බව පෙනෙයි. ඇතැම් තැනෙක හොරු පැරදුණහ. ඇතැම් තැනකදී හොරු දිනූහ. තාක්‍ෂණය සහ මනුෂ්‍යයාගේ ඇස ඉතා දියුණු මෙකල හොර ඡන්ද දැමිලි හෝ කොම්පියුටර් ජිල්මාට්‌ කළ නොහැක. එවැනි දේ කළ හැකි බව කෙනෙක්‌ කියත්ද, එය ගොන් කතාවකි. ඡන්දයක්‌ දෙකක්‌ වංචා කළ හැක්‌කේ මනාප ගනින විට පමණි. එහෙත් අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන් මනාප ගනින තැන කූඩැල්ලන් මෙන් එල්ලී සිටින නිසා එය ද කළ නොහැක. එසේ නම් හොරුන් ජය ගන්නේ කොහොමද? එය ස්‌ථිර වශයෙන්ම ඡන්දදායකයාගේ තීරණය ය.

මිනීමැරුම් නඩුවකට හසු වූ අපේක්‍ෂකයෙක්‌ මෙවර පළාත් සභා ඡන්දයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ටිකට්‌ එකෙන් බස්‌නාහිර පළාතට තරග කළේය. ඔහුට ටිකට්‌ එක ලැබෙන්නේ උසාවියෙන් වරදකරු ලෙස ප්‍රකාශයට පත්කරනතුරු මිනීමරුවා නිර්දොaෂිය යන පදනම මත ය. මැතිවරණ පූර්ව ප්‍රචාරක කටයුතු සිදු කළ කාලයේදී මේ අපේක්‍ෂකයා "සිකියුරිටි ස්‌කොඩ්" සහිතව ඉස්‌සරහින් හා පස්‌සෙන් ලයිට්‌ දමාගෙන යන ජීප්වලට මැදිව ජනාධිපතිතුමා යන විට දෙන ආරක්‍ෂාවටත් වැඩි ආරක්‍ෂාවක්‌ සහිතව කිරිබත්ගොඩ, වත්තල ප්‍රදේශ පුරා සංචාරය කළේ ය. එහෙත් ඔහු පරාජයට පත් විය. ඔහු ගැන මිනිසුන් තුළ පැහැදීමක්‌ තිබුණේ නැති බව ඡන්දය ගනින විට ඔප්පු විය. එහෙත් එයට ප්‍රතිවිරුද්ධව යමින් රටේ වෙනත් තැනකදී ඡන්දදායකයා හොරුන්, කොල්ලකරුවන් සහ ස්‌ත්‍රී දූෂකයන් වැනි පරිහානිගත චරිත බලයට පත් කළහ. ජනතාව මෙවැනි පරස්‌පරයක සිට කටයුතු කරන්නේ මන්ද යන්න ඒ ජනතාවගේම කොටසක්‌ වන අපට නම් නොතේරෙයි.

පළාත් සභා කාරයන් වැඩි දෙනා ආසනයක්‌ දිනා ගැනීම සඳහා තරග කරන්නේ ජනතාව කෙරෙහි තිබෙන මළ ඉලව් ආදරයකට නොව තමන් කෙරෙහි තිබෙන ආදරයට ය. ඔවුහු පළාත් සභාවෙන් වෙන් කරන විමධ්‍යගත මූල්‍ය ප්‍රතිපාදනයට ආදරය කරති. වාහන පර්මිට්‌ එකට ආදරය කරති. මන්ත්‍රී වැටුපට ආදරය කරති. මන්ත්‍රීතුමා යන ගෞරව නාමයට ආදරය කරති. මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා තමන්ට තිබෙන හෝ තිබීමට ඉඩ තිබෙන අවස්‌ථාවට ආදරය කරති. අද ඡන්දයක්‌ කිරීම යනු විශාල වියදම් යන වැඩකි. ප්‍රාදේශීය සභා අපේක්‍ෂකයකු පවා අද ඡන්දයට එන්නේ ලක්‍ෂ 50 ක්‌ ඇතිව ය. මෙසේ මුදල් වැය කළ පසු ඒවා ආපසු උපයා ගැනීම සඳහා හතර අතේ හොරකම් කළ යුතු ය. අධික ණය බරින් මිරිකුන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනකු පසුගිය දවසක සිරුරට ගිනි තබාගෙන මළේ ය. තවත් පළාත් සභා අපේක්‍ෂකයෙක්‌ රත්තරන් බඩු සාප්පුවක්‌ කොල්ලකන්නට ගොස්‌ පොලිසියට හසු විය. ඉතින් මේ මිනිසුන් බලයට පත් වූ කල ජනතාවට සේවය කරන්නට තරම් කාලයක්‌ ඉතිරි වන්නේ නැත. ඔවුන් කරන්නේ තමන්ට සේවය කර ගැනීම ය. මෙය ජ.වි.පෙ.ට හැර සෙසු සියලු දේශපාලන පක්‍ෂවලට පොදු තත්ත්වයකි. මොන්ටෙරෝවක නොව මෝටර් සයිකලයක ගිය ජ.වි.පෙ. පළාත් සභා අපේක්‍ෂකයකු ලොරියකට යට වී මිය යැම පිටුපස තිබෙන කතාව ඊට සාක්‍ෂියකි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.