කුණු ජෙලි පැකට්‌ හැට දහසක්‌

ලසිත දුමින්ද

රුපියල් ලක්‍ෂ තුනකට අධික වටිනාකමකින් යුත් පරිභෝජනයට නුසුදුසු ජෙලි පැකට්‌ 60,000 ක්‌ ඊයේ (2 වැනිදා) ගාල්ල හබරාදුව ප්‍රදේශයේ ගබඩාවක තිබී පාරිභෝගික අධිකාරිය මගින් සොයාගෙන ඇත.මෙම ජෙලි තොගය කල් ඉකුත්වීමේ දිනය වෙනස්‌ කොට යළි වෙළෙඳ පොළට යෑවීමට සූදානම් කර තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

කුඩා ළමුන් වැඩි වශයෙන් ආහාරයට ගනු ලබන පලතුරු රසයෙන් යුත් මෙම ජෙලි පැකට්‌ තොගය වෙළෙඳ පොළට නිකුත් වූයේ නම් මේවා ආහාරයට ගන්නා ළමුන්ට යම් යම් අසාත්මිකතා ඇති වීමට ඉඩ තිබූ බව හෙළිවී ඇත.

හබරාදුව ප්‍රදේශයේ අලෙවි නියෝජිත ස්‌ථානයකට මෙම ජෙලි තොගයෙන් කොටසක්‌ ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පාරිභෝගික අධිකාරිය එම වැටලීම සිදුකර තිබේ.

පරිභෝජනයට නුසුදුසු මෙම ජෙලි මාවනැල්ල ප්‍රදේශයේ ආහාර නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කරන ඒවා බවට තොරතුරු අනාවරණය වී ඇත.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත සිදුකළ මෙම වැටලීමේදී පරිභෝජනයට නුසුදුසු භාණ්‌ඩ අලෙවි කළ අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට නියමිතය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.