උත්සව සමයේ ''කුණු කවන්න'' හැදූ
ගම්පොළ ව්‍යාපාරිකයන්ට වැඩ වරදී


ගම්පොල - සුරංග දිල්හාන්

උත්සව සමයේ භාණ්‌ඩ හා ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහා නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට සකස්‌ කොට තිබූ පණුවන් සහිත ප්‍රයිඩ් රයිස්‌ හා බුරියානි පරණ වී පුස්‌කෑ කොත්තු රොටි ඇතුළු මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විශාල තොගයක්‌ ගම්පොල නගර සභා සෞඛ්‍ය අංශ නිලධාරීහු නගරයේ කළ විශේෂ වැටලීමකදී සොයා ගෙන ඇත.

ගම්පොල දුම්රිය පළ මාර්ගයේ පමණක්‌ සිදු කළ මෙම වැටලීමේදී ආපනශාලා, පලතුරු වෙළෙඳසල් ඇතුළු වෙළෙඳ සල් 25 ක්‌ තුළ මෙම මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු ආහාර සොයාගෙන ඇත.

ප්‍රයිඩ් රයිස්‌ හා බුරියානි සඳහා සකස්‌ කොට තිබූ කුකුල් මස්‌ කෑලි විශාල තොගයක පණුවන් සිටි අතර කොත්තු රොටී සඳහා කපා තිබූ රොටී කෑලි නරක්‌වී පුස්‌කා තිබිණි.

මේ අතර සමහර වෙළෙඳසැල් තුළ පරණ පාන් අලෙවියට තිබූ අතර මස්‌ හා මාළුකරි සඳහා යෙදීමට පරණ පුකෑ පාන් කපා සකස්‌ කොට ආපනශාලා තුළ තිබියදී අත්අඩංගුවට ගනු ලැබීය.

කල් ඉකුත් වූ ආහාර වර්ගද විශාල ප්‍රමාණයක්‌ සොයා ගත් අතර චොක්‌ලට්‌ හා වෙනත් ආහාර ද්‍රව්‍යයද ඒ අතර විය.

මේ සියලු වෙළෙඳසල් හිමියන් හා භාණ්‌ඩ ගම්පොල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පොල නගර සභා සෞඛ්‍ය අංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පී. එස්‌. සේනාධීර, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වන රුවන් සුමනසේකර, චන්දන වික්‍රමසිංහ, සුළු පරිපාලන අයි. විඡේසිංහ ඇතුළු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදු කළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.