හෙදියන්ගේ සූතිකා පුහුණුව ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්‌

ඒමන්ති මාරඹේ

හෙද පුහුණු විදුහල්වලින් පිටවන සියලු හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීමේ තීරණයක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රවෘත්ති නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

සූතිකා පුහුණුව සම්බන්ධයෙන් අර්බුදයක්‌ පැන නැගී තිබෙන 2009 බී හෙද සිසු කණ්‌ඩායම විසින් දැනට මාස කිහිපයක සිට සූතිකා පුහුණුව ලබමින් සිටීම නිසා එම කණ්‌ඩායමට පමණක්‌ සූතිකා පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර ඇතැයි එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එම සූතිකා පුහුණුව ලබන හෙදියන්ගේ මූලික පුහුණුව 2014 ජනවාරි මස 04 වැනිදා අවසන්ව ඇති අතර ඔවුනට ලබා දෙන සූතිකා පුහුණුව සේවයේ ස්‌ථිර කිරීම සඳහා ලබා දෙන පුහුණුවක්‌ බවද නිවේදනයේ සඳහන් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිලධාරී ඩබ්. එම්. ඩී. වන්නිනායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ.

හෙද සූතිකා පුහුණුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ විද්වත් කමිටු වාර්තාව හා අදාළ වෘත්තීය සමිතිවල අදහස්‌ ලබා ගෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා පත්කර ඇති අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා හත් දෙනකුගෙන් යුත් වෙනත් කමිටුවක්‌ සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පත්කර තිබේ.

සූතිකා පුහුණුව සම්බන්ධයෙන් විද්වත් කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශයන් මිස අන් තීරණයන් ක්‍රියාත්මක නොකරන බවත් ඉදිරියේදී හෙදියන් බහුතරයකට ඔවුනගේ කැමැත්ත මත සූතිකා පුහුණුව ලබා දීමට කටයුතු යොදා ඇති බැවින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස එම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් නිවේදනයෙහි සඳහන් කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.