රජයේ රෝහල්වල පහසුකම් වැඩිවන නිසා පෞද්ගලික ප්‍රතිකාර අඩුවෙමින් පවතිනවා
ඇමැති මෛත්‍රිපාල සිරිසේන

රජයේ රෝහල්වල වෛද්‍ය පහසුකම් ඉහළ නැංවීම නිසා පෞද්ගලික රෝහල්වලට ප්‍රතිකාර ලැබීමට එන පිරිස වාර්ෂිකව අඩුවෙමින් පවතින බව එම රෝහල් පරිපාලකයන් තමන්ට පවසනවා යෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමයේ 27 වැනි විද්‍යාත්මක සැසිවාරය පසුගියදා කොළඹ කින්ග්ස්‌බරි හෝටලයේදී පැවති අතර ඊට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳව තිබෙන ගැටලුවලදී මම දන්නේ නැහැ වෛද්‍ය පරිපාලකයන් ඒවා සම්බන්ධව කොච්චර කතා කරනවාද කියලා. නමුත් ආයතනික වශයෙන් පැනනැගෙන ප්‍රශ්නවලදී අපේ ඉලක්‌කයන් කරා යැමට ඇති බාධාවන් මොනවාද කියන එක ගැන අපි අවධානය යොමු කළ යුතුයි.

අපේ සමහර ව්‍යාපෘති ගත්තොත් ඒවා වසර දෙකකින් ඉවර කරන්න පුළුවන්. ඒ අතර අවුරුදු 05 කින් ඉවර කරන්න නියමිත ව්‍යාපෘති වසර 08 ක්‌ ගතවෙලත් ඉවර කරගන්න බැරිවෙලා තියෙනවා. ඒ වගේම වෙන් කරන මුදල් ඇතැම් ව්‍යාපෘතිවලට ප්‍රයෝජනයට නොගැනීම නිසා ආපහු භාණ්‌ඩාගාරයට යනවා. ඒ නිසා වෛද්‍ය පරිපාලකයන් වශයෙන් ඔබ සතු වගකීමක්‌ තමයි මේ ගැටලුවලට විසඳුම් සොයා බලා ඒවා ක්‍රියාත්මක කිරීම.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරම් වෘත්තීය සමිති සංඛ්‍යාවක්‌ වෙනත් කිසිම අමාත්‍යාංශයක නැහැ. වෘත්තීය සමිති හරහා එන ගැටලු නිරාකරණ කිරීමේදී ඔබ ඒ ගැටුම් නිරාකරණය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවාද? ඒ සම්බන්ධයෙන් අපි කොතෙක්‌ දුරට සාකච්ඡා කරලා තියෙනවාද? ගැටුම් නිරාකරණය විෂයයක්‌ වශයෙන් අපි කොතෙක්‌ දුරට හදාරනවාද? මේ කියන කරුණු මම හිතනවා බොහෝ විට අවශ්‍යයි.

වෛද්‍යවරයෙක්‌ තරම් සාමුහිකව කටයුතු කරන වෙනත් කෙනෙක්‌ නැති බවයි මගේ අදහස. ශල්‍යකර්මයකදී වෛද්‍යවරයා ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ විදියට වෛද්‍ය පරිපාලකයෙක්‌ විදිහට ඒ සාමුහිකත්වය ආරක්‍ෂා වන පරිදි කටයුතු කරනවා. සාර්ථක ප්‍රතිඵල ලබාගන්නේ ඒ නිසායි. අපි ඇමැති මණ්‌ඩලය විදියට වාඩි වුණාම සතියකට සැරයක්‌ අදාළ කැබිනට්‌ සංදේශ හා න්‍යාය පත්‍රය ගැන සාකච්ඡා කරන විට මම කතා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන විතරක්‌ නොවෙයි. හැම විෂයක්‌ම ගැන කතා කරනවා.

අද බොහෝ තැන්වල හඬ නගන්නේ යහපත් මිනිස්‌සු නිවැරැදි අය නොවෙයි. පුහු අයයි. නමුත් බුද්ධිමතුන්ගේ හා උගතුන්ගේ පැහැදිලිවම නිවැරැදි දේ දකින සැබෑ මිනිසුන්ගේ හඬක්‌ අවදි කිරීම ඉතා වැදගත්.

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය විසින් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, වෛද්‍ය සේවා වෛද්‍ය ලාල් පනාපිටිය මහතාට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් තිළිණයක්‌ පිරිනැමූ අයුරු. නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය සුනිල් ද අල්විස්‌ හා වෛද්‍ය නීලමණි හේවාගීගන රාජපක්‍ෂ යන මහත්ම මහත්මීහු ද ඡායාරූපයේ සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.