ලෝක සෞඛ්‍ය දිනය අද

ලෝක සෞඛ්‍ය දිනය අදට (7 වැනිදා) යෙදී තිබේ.

වාහක ජනක රෝග තුරන් කිරීම අරමුණින් 'පුංචි දෂ්ඨ කිරීමක්‌ ලොකු බලපෑමක්‌' යන්න තේමා කර ගනිමින් මෙවර ලෝක සෞඛ්‍ය දිනය සැමරුම පැවැත්වෙයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්‌වෙයි.

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග වාහක ජනක රෝග ඉහළ යැමේ අවදානමක්‌ පවතී. වාහකයින් වශයෙන් ගත් කල මදුරුවෝ, වැලි මැස්‌සන් Sand Flies කිණිතුල්ලන් හා මකුණන් Ticks ප්‍රධාන වේ. වර්තමානයේදී ලොවටම බලපෑමක්‌ එල්ල කර තිබෙන ඩෙංගු, මැලේරියා, බරවා, චිකුන්ගුන්යා, කහ උණ, ලයිම් ඩිසීස්‌ Lyme Disease මෙන්ම ලිෂ්මානියාසිස්‌ Leishmaniasis වැනි රෝග ලොව පුරා වාර්තා වෙමින් පවතී.

ශ්‍රී ලංකාවෙන් බරවා, මැලේරියාව වැනි රෝග මේ වන විට තුරන් කර ඇත. 1935 දී මාස 6 ක්‌ තුළ මැලේරියාවෙන් ලක්‍ෂ 15 ක්‌ පීඩාවට පත්වූ අතර 80,000 ක්‌ මරණයට පත්වුණි. 2000 දී රෝගීන් ලක්‍ෂ 2 ක්‌ පමණ වාර්තා වූ අතර පසුගිය වසර වන විට මැලේරියා රෝගයෙන් රට තුළින් එක්‌ රෝගියකු හෝ වාර්තා වී නැත. නමුත් අපට මේ වන විට අභියෝගයක්‌ එල්ල කරමින් සිටින්නේ වාහක රෝග ඩෙංගු රෝගය හා ලිෂ්මානියාසිස්‌ රෝගය පමණි. එම නිසා මෙම රෝග තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අන්තර් අමාත්‍යාංශ සහයෝගය යටතේ පුළුල් ජාතික වැඩපිළිවෙළක්‌ සෞඛ්‍ය ඇමැතිවරයාගේ මග පෙන්වීම යටතේ පැවැත්වෙයි.

ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් වාහක රෝග සම්බන්ධයෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණයක්‌ 8 වැනිදා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු යොදා ඇත.

ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව නැගෙනහිර පළාත් සභාවේ ඉල්ලීම පරිදි ත්‍රිකුණාමලය මහ රෝහල අද 7 දා සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු යොදා ඇත. එම කටයුතු අද දින පෙරවරුවේ ත්‍රිකුණාමලය මහ රෝහලේදී සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.