අසරණ වූ දරු දෙදෙනා සසුනට පූජා කරයි
රට ගිය බිරිඳ ගෙන්වා දෙන්නැයි සැමියා රජයට ආයාචනා කරයි

උඩවලව -එච්.එස්‌. අබේරත්න

සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ බෝගහහන්දිය ගමේ ජීවත්වන පවුලකි. ඔවුනට අවු. 9 වයසැති කවිෂ්ක රූපසිංහ හා අවු. 5 වයසැති ප්‍රවිෂ්ක හෂාන් රූපසිංහ නමින් දරු දෙදෙනෙකි. සරත්ගේ බිරිඳ එච්. පී. ප්‍රියංකා කුමාරිය. (අවු. 32) සරත් රූපසිංහ සිවිල් ආරක්‌ෂක භටයෙක්‌ ලෙස රැකියාව කර නිවසට පැමිණ මිතුරකු සමග යතුරුපැදියෙන් ගමනක්‌ යද්දී යතුරු පැදිය වෑන් රථයක ගැටී සරත්ගේ පාදයකට හානි වී රෝගාතුර විය.

මාස ගණනක්‌ රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලැබුවද සුවයක්‌ නොලැබුණි. මේ නිසා සරත්ට රැකියාවද අහිමි විය. රැකියා ස්‌ථානයෙන් ලැබූ මුදල් සියල්ල ද කකුලේ ආබාධයට වැය විය. ජීවත්වීමට ක්‍රමයක්‌ නැති කම නිසාම සිය බිරිඳ මිතුරකුගේ උපකාරයෙන් ඒජන්සියක මාර්ගයෙන් විදෙස්‌ රැකියාවක්‌ සඳහා සවුදි ආරාබියට 2013 දී පිටත් කර හරින ලදී. ඒ ආසන්න දිනවලදී දුරකථනයෙන් කතා කර ඇති ඇය මුදල් සුළු ප්‍රමාණයක්‌ද ඒවා ඇත.

මේ වන විට මාස අටක පමණ කාලයක සිට එසේ කතා කරන්නේ හෝ මුදල් එවීමක්‌ සිදු කරන්නේ නැති බව සරත් පවසයි.

මේ අතර සෙවනගල රන්වැලිගම ශ්‍රී දක්‌ෂිණාරාම පුරාණ විහාරයේ දරු දෙදෙනා මහණ කරවීමට පියවර ගත්තේ ජීවත් කරවීමට හැකියාවක්‌ නොමැති නිසාය. පියාට සැලකීම හෝ අවශ්‍ය වියදම් කිරීමට අයකු නැති නිසා විහාරාධිපති පිළියන්දල මාකඳුරේ ගුණරතන හිමියන් පියා සිය විහාරස්‌ථානයේ නවත්වාගෙන ඇත. පියාට උවටැන් කරන්නේ තම පුතුන් දෙදෙනා වන සාමනේර හිsමිවරු දෙදෙනා විසිsනි. එය අන් අයට ආදර්ශයක්‌ බවත් විහාරාධිපති හිsමියෝ පවසති.

බිරිඳ ගෙන්වා ගැනීමට රෝගී සරත් රත්නපුර පිහිටි පළාත් විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට අට වරක්‌ ගියත් මෙතෙක්‌ කිසිදු ඵලක්‌ ලැබී නැත. සරත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තම බිරිඳ හැකි ඉක්‌මනින් ගෙන්වා දීමට කටයුතු කරන ලෙසයි. බිරිඳගේ හිස බිත්තියේ හප්පා දඬුවම් කරන බවත් අතේ ඇඟිලි 4 ක්‌ දොරට තබා තදකර කඩා දමා ඇති බවත් බිරිඳ පැවසුවේ යෑයි සරත් . හඬා වැළපෙමින් කියයි. මෙහි ඇති සංවේදී බව නම් කුඩා හිමිවරු දෙදෙනා තම පියාව නාවා, කවන පොවන ආකාරය දුටුවන් ඕනෑම කෙනකුගේ දෙනෙත් කඳුලින් පිරෙන බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.