පවුල් සෞඛ්‍ය සේවිකාවෝ යතුරුත් අරන් යති
අම්මලාට බබාලාට එන්නත් දීම නවතී


ඒමන්ති මාරඹේ

පසුගිය බදාදා (02 දා) සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතව සිටින රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මවුවරුන්ට හා ළදරුවන්ට ලබා දෙන එන්නත් ගබඩා කර ඇති සායනවල යතුරු තමන් භාරයේ තබාගැනීම හේතුවෙන් මවුවරුන්ට හා ළදරුවන්ට එන්නත් ලබා දීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතව ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

මේ තත්ත්වය හේතුවෙන් මවුවරුන් හා ළදරුවන්ගේ සියලු එන්නත් ලබා දීම ඇනහිට ඇත.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනුයේ වර්ජනයේ නිරත වන විටදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් එම සායනවල යතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට භාරදිය යුතු වුවද ඔවුන් එසේ නොකිරීමෙන් මවුවරුන් හා ළදරුවන් දැඩි අසීරුතාවකට පත් වී ඇති බවයි.

මේ අතර රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය විසින් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටිනුයේ සෞඛ්‍ය අමාත්‍යංශය හා වසංගත රෝග ඒකකය මගින් වසා දමා ඇති සායන සම්බන්ධයෙන් පියවරක්‌ ගන්නේ නම් මාතෘ හා ළදරු සායන කටයුතු පවත්වාගෙන යැමට හෙද කාර්ය මණ්‌ඩලය සිය සහාය ලබා දීමට සූදානමින් සිටින බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.