විල්පත්තු වන සංහාරය බලන්න
බොදුබල සේනා යති


පුත්තලම - නලින් හෙන්දුරුගොඩ

විල්පත්තු අභය භූමියේ උතුරු පෝෂිත කලාපයේ හා ඒ අවට ප්‍රදේශ වනය විනාශ කරමින් නිවාස යෝජනා ක්‍රම ඉදිවන බව පසුගිය දිනවල ප්‍රචාරය වූ අතර ඒවා සියෑසින් දැක ගැනීමට බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඇතුළු එම සංවිධානයේ පිරිසක්‌ 08 දා දවස පුරා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මුසලි-සිලාවතුර-මොල්ලිකුලම් ප්‍රදේශවල සංචාරයේ යෙදුණු එම සංවිධානයට වනසංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශවල විශාල වශයෙන් වනාන්තර එළිකොට වන විනාශය සිදුකර ඇති බව දක්‌නට ලැබිණි. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් මොල්ලිකුලම සිලාවතුර මාර්ගය හෙවත් පුත්තලම මන්නාරම් මාර්ගයේ දෙපස කිලෝ මීටර් ගණනාවක්‌ ඇතුළත විශාල ගස්‌ පෙරළා දැවැන්ත වන විනාශයක්‌ සිදුකර ඇති බව දක්‌නට ලැබිණි. වීර, පළු, ඇතුළු වසර ගණනාවක්‌ පැරණි විශාල ගස්‌ කොළන් ඩෝසර් කර පෙරළා ගිනි තබා ඇති බව දක්‌නට ලැබිණි. එම ප්‍රදේශවල සමහර නිවාස ඉදිකර ඇති බවත් සමහර නිවෙස්‌ ඉදිවෙමින් පවතින බවත් දක්‌නට ලැබිණි. විල්පත්තු පෝෂිත කලාපයේ ඉදිකර ඇති පොල්අතු පැළ 35 - 40 ප්‍රමාණයක්‌ දක්‌නට ලැබෙන අතර ඒවා මෙම මොල්ලිකුලම ප්‍රදේශයේ ඉදිකර ඇති නිවාසවලට අමතර අලුතින් ඉදිකර ඇති ඒවා බවටයි වාර්තා වන්නේ. මෙහිදී බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සඳහන් කළේ මේක ජාතික ප්‍රශ්නයක්‌ බවත්, සිංහල, දෙමළ, මුස්‌ලිම්, අපි කවුරුත් මෙලොව ඉපදුනා නම් ජීවත්වීමට බිමක්‌ අවශ්‍ය බවත් ලෝක උරුමයන්, වනාන්තර පරිසර පද්ධති විනාශ කිරීම කවුරු කළත් වැරදි බවත් මෙහිදී පෙන්වා දුන්නහ.

වනාතවිල්ලුව, කරුවලගස්‌වැව, තබ්බෝව ප්‍රදේශවල ජීවත්වන අහිංසක ගොවි ජනතාවට එක දරලීයක්‌, උදළුමිටක්‌ කපා ගෙන යන්න අවසර නෑ. එතකොට අත්අඩංගුවට ගන්නවා. මෙවැනි රූස්‌ස ගස්‌ කපලා විනාශකරන විට කථා කරන්න කවුරුත් නෑ. එක රටේ නීති දෙකක්‌. බල පුළුවන්කාරකම් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. අහිංසක මිනිස්‌සු තමයි මේවාට වන්දි ගෙවන්නේ.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.