නාවලපිටිය රෝහලේ මෝචරියේ
ශීතකරණ මාසයක්‌ තිස්‌සේ කැඩිලා

ගම්පොළ - සුරංග දිල්හාන්

නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහරෝහලේ මෘත ශාරීරාගාරයේ ඇති අධිශීතකරණ මාසයකට අධික කාලයක සිට අක්‍රීයව පැවතීම නිසා පොලිස්‌ වසම් 17 කින් ලැබෙන හදිසි මරණ හා හඳුනා නොගත් මරණ මහනුවර මහරෝහලට යෑවීමට සිදුවීමෙන් ඒවා අයිතිකරුවන්ට විශාල වියදමක්‌ දැරීමට සිදුව තිබේ.

බොහෝ කාලයක සිට වරින් වර මෙම මෘත ශරීරාගාර ශීතකරණ අක්‍රීයවෙමින් පවතින අතර ඒවා අලුත්වැඩියා කළද මෙසේ අක්‍රීය වෙමින් පවතින බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කරයි.

හැටන්, බගවන්තලාව, කොත්මලේ, මස්‌කෙළිය, කුරුඳුවත්ත ආදී ඈත ප්‍රදේශ ඇතුළු පොලිස්‌ බල ප්‍රදේශ 17 ක පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සිදුකරනුයේ නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලයි.

මෙම අධිශීතකරණ අක්‍රීය වීම නිසා මහනුවර මහරෝහලට මෘත ශරීර රැගෙන යැමට සිදුවන අවස්‌ථාවන්හිදී මරණ අයිතිකරුවන්ට අමතර රුපියල් දසදහසක්‌ පමණ වැය වන අතර ඒ සඳහා වැඩි කාලයක්‌ හා දින ගණනක්‌ද ගත වේ.

මෙම ශීතකරණ වරින් වර අක්‍රීයවීම පිළිබඳව නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහරෝහලේ වර්තමාන රෝහල් අධ්‍යක්‍ෂ ජානක සෝමරත්න මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

මෙම ශීතකරණ පැරණි නිසා මෙවැනි තත්ත්වයක්‌ උදාවී තිබෙන්නේ. නමුත් මම මේ පිළිබඳව සොයා බලා මධ්‍යම පළාත් ජීව විද්‍යා ඉංජිනේරු ඒකකයට දන්වා තිබෙනවා. ඔවුන් ලවා කඩිනමින් මෙය අලුත්වැඩියාවට කටයුතු යොදා තිබෙන්නේ. එතෙක්‌ හඳුනා නොගත් මළ සිරුරු හැර අනෙකුත් පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු කඩිනමින් ඉටුකර දීමේ වැඩපිළිවෙළක්‌ සකස්‌ කොට තිබෙනවා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.