ගණපූරණය නැතත් වෛද්‍ය පනත් කෙටුම්පත සම්මතයි

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

ගණපූරණය නොමැති වුවත් වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 20 වැනිදා නියමාකාරයෙන් සම්මතවූ බව කතානායක චමල් රාජපක්‍ෂ මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් යුතුව සම්මත වුවත් එම අවස්‌ථාවේදී සභාවේ ගණපූරණය නොතිබූ බවට (ස්‌වාධීන මන්ත්‍රී) ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අජිත් කුමාර මහතා පසුගියදා මතුකළ විරෝධතාව පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කළ කාථානායකවරයා මෙසේද කීය.

2014.03.20 වැනි දින වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කිරීමට ඡන්දයක්‌ ගන්නා ලද අවස්‌ථාවේදී සභාවේ ගණපූරණය නොමැති වූ බවට අජිත් කුමාර මන්ත්‍රීතුමා විසින් 2014.03.21 දින මතු කරන ලද රීති ප්‍රශ්නය පිළිබඳව මා විසින් අධ්‍යයනය කරන ලදී.

ස්‌ථාවර නියෝග අංක 10 හි සඳහන් පරිදි පාර්ලිමේන්තුවේ ගණපූරණය මූලාසනාරූඪ මන්ත්‍රී ද ඇතුළුව විසි දෙනකුගෙන් සමන්විත වන අතර කිසියම් අවස්‌ථාවකදී සභාවේ ගණපූරණයක්‌ නොමැති බවට කිසියම් මන්ත්‍රීවරයකු විසින් මූලාසනයේ අවධානයට යොමු කරනු ලැබුවහොත් බෙදුම් සීනු විනාඩි පහක්‌ නාද කොට එවිටද ගණපූරණයක්‌ නොමැති නම් ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතු වේ. මේ බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 73 වන ව්‍යවස්‌ථාව යටතේ ඉතා පැහැදිලිව දක්‌වා තිබේ. ස්‌ථාවර නියෝග 42 හි සඳහන් වන පරිදි ඡන්දය විමසීමකදී විනාඩි දෙකක්‌ බෙදුම් සීනු නාද කරවා ඉන් අනතුරුව ඡන්දය විමසනු ලැබේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 72 වැනි ව්‍යවස්‌ථාව් සඳහන් කර ඇති අන්දමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අන්‍යාකාරයෙන් විධිවිධාන සලස්‌වා ඇති අවස්‌ථාවන්හි හැර පාර්ලිමේන්තුවේ තීරණයට ඉදිරිපත් කරනු ලබන සෑම ප්‍රශ්නයක්‌ම රැස්‌වීමට පැමිණ ඡන්දය දෙන්නා වූ මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් තීරණය විය යුතු බවට ඉතා පැහැදිලිව දක්‌වා තිබේ.

තවද, බහුතර ඡන්දයක්‌ අවශ්‍ය වන අවස්‌ථාවන් පිළිබඳවද ඉතා පැහැදිලිව ව්‍යවස්‌ථා අංක 38(2) (ඇ) හා 107 (2) හි දක්‌වා ඇත. ස්‌ථාවර නියෝග 41 හා 135 හි ද එබඳු විශේෂ අවස්‌ථා පිළිබඳ සඳහන් කර ඇත. මේ අනුව ඉහත, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් හා ස්‌ථාවර නියෝගවලින් දක්‌වා ඇති විශේෂ අවස්‌ථා හැර අනෙකුත් අවස්‌ථාවන්හිදී එනම් ඡන්දයක්‌ ගන්නා අවස්‌ථාවද ඇතුළුව මන්ත්‍රීවරයකු විසින් ගණපූරණය පිළිබඳව මූලාසනයේ අවධානය යොමුකොට නැත්නම් මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සභා ගර්භයේ රැඳී සිටිය යුතු බවට නෛතික අවශ්‍යතාවයක්‌ නොමැති බව පැහැදිලි වේ.

තවද කිසියම් මන්ත්‍රීවරයකු ගණපූරණය පිළිබඳ මූලාසනයේ අවධානය යොමු කළ යුතු යෑයි සිතන්නේ නම් එවැන්නක්‌ මතු කළ යුත්තේ අදාළ යෝජනාව හෝ පනත් කෙටුම්පත සභාවේ සම්මත කළ පසු නොව එයට ප්‍රථමයෙන් බව ද සඳහන් කරනු කැමැත්තෙමි.

කෙසේ වෙතත් වැදගත් පනත් කෙටුම්පත් සම්මත කර ගන්නා අවස්‌ථාවේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සෑහෙන සංඛ්‍යාවක්‌ සිටීම වැදගත් බව මාගේ පෞද්ගලික මතය වන අතර අවශ්‍ය වෙතොත්, අවස්‌ථානුකූලව සලකා බලා එබඳු වැදගත් ප්‍රශ්නයක්‌ පිළිබඳ ඡන්ද විමසීමක්‌ පැවැත්වෙන අවස්‌ථාවේදී එයට සහභාගි වී සිටින්නේ ගණපූරණය සම්පූර්ණ වීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාවට අඩු සංඛ්‍යාවක්‌ බව මා හට හැඟී යන්නේ නම් එම කරුණ පිළිබඳ තීරණය ගැනීම පසුවට කල්තැබීමටද පසුබට නොවන බව අවධාරණය කරනු කැමැත්තෙමි.

2014.03.20 දින වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත නියමාකාරයෙන් සම්මත වූ බව තවදුරටත් දන්වනු කැමැත්තෙමි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.