වින්නඹු මාතාවන් වැඩ වරද්දී දොස්‌තරලා මුදලට එන්නත් දෙති

ඒමන්ති මාරඹේ - ගාල්ල අතිරේක - යූ. පී. කුලතිලක

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ (වින්නඹු) දීපව්‍යාප්ත වැඩ වර්ජනයෙන් රජයේ මාතෘ හා ළදරු සායනවල එන්නත් කිරීම ඇනහිට ඇති ප්‍රතිශක්‌තිකරණ ඇතුළු සියලු එන්නත් රජයේ රෝහල් වෛද්‍යවරුන් විසින් තම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන හා රෝහල්වලදී රුපියල් 3500 ත් 4000 ත් අතර මුදලක්‌ අයකරමින් ලබා දීම නිසා මවුවරුන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මවුවරුන්ට හා ළදරුවන්ට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ වර්ජනය හේතුවෙන් ලබාගත නොහැකි වන එන්නත් මෙසේ පෞද්ගලික අංශයෙන් වැඩි මුදලක්‌ ගෙවමින් ලබා ගැනීමට සිදුව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන පවුල්වල මවුවරුන් හා ළදරුවෝ මෙම තත්ත්වය මත අසීරුතාවට පත්ව සිටිති. මෙම ප්‍රතිශක්‌තිකරණ ඇතුළු එන්නත් නියමිත කලට ලබා නොගැනීමෙන් රෝග තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක්‌ද හටගෙන තිබේ.

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනුයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වර්ජනයේ යෙදී සිටින විටදී ඔවුන් විසින් එන්නත් කරනු ලබන එන්නත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, හෙද හෙදියන් හා වෛද්‍යවරුන් හරහා එන්නත් කිරීමට හැකියාව ඇතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් එවැනි පියවරක්‌ කරා නොයැම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

පවුල් සෞඛ්‍ය සේවා වර්ජනය හරහා හිතා මතාම අසරණ රෝගීන් තවත් අසරණ කරවමින් වෛද්‍යවරුන්ට ධන උල්පතක්‌ නිර්මාණය කර දී ඇතැයිද ඔහු කීවේය. මේ අතර මෙම තත්ත්වය පිළිබඳව ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරියක විසින් ප්‍රකාශ කරන ලද්දේ ළදරුවන්ට එන්නත් දීම අත්‍යවශ්‍ය සේවාවක්‌ සේ සලකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එරෙහිව උසාවි නියෝගයක්‌ ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.