ගලගොඩඅත්තේ හිමියන්ට පොලිසි එන්න කියයි
මට තවම එන්න කිව්වේ නැහැ

සමන් ගමගේ

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ලබන 12 වැනිදා (සෙනසුරාදා) කොම්පඤ්ඤවීදිය පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක්‌ ලබා දෙන ලෙස ඊයේ (10 දා) පොලිසිය මගින් දැනුම් දී තිබේ.


ජාතික බල සේනාව මගින් පෙරේදා (9 වැනිදා) කොම්පඤ්ඤවීදිය හෝටලයකදී පැවත්වීමට සූදානම් වූ මාධ්‍ය හමුවකට කඩා වැදී එය කඩාකප්පල් කරමින් තමන්ගේ ජීවිතයට තර්ජන එල්ල කළ බවට ජාතික බලසේනාවේ මහ ලේකම් වටරැක ගලගොඩඅත්තේ හිමියන්ට විජිත හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ දැනුම්දීම කර ඇත.


මෙරට බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිමින් බොදුබල සේනාවේ හිමිවරුන් එම මාධ්‍ය හමුවට පැමිණීමෙන් පසු එම ස්‌ථානයේ කලබලකාරී බවක්‌ද නිර්මාණය වූ අතර පසුව ජාතික බල සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියෝ තමන්ගෙන් මහාසංඝරත්නයට හා රටට යම් හානියක්‌ සිදු වූයේ නම් සමාව ඉල්ලා සිටින බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්‌ද කළහ.


වටරැක විජිත හිමියන් කොම්පඤ්ඤවීදිය පොලිසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ එසේ සමාව අයෑදීමෙන් පසුවය.

මේ පිළිබඳ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී වටරැක විජිත හිමියන් කළ පැමිණිල්ලකට අනුව බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට පොලිසිය හමුවට පැමිණ ප්‍රකාශයක්‌ ලබාදෙන ලෙසට දැනුම් දී ඇති බව ඒ මහතා ද තහවුරු කළේය.


කෙසේ වෙත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ගෙන් මේ පිළිබඳ අප කළ විමසීමකදී පොලිසියේ පෙනී සිටින ලෙස කිසිදු දැනුම් දීමක්‌ මෙතක්‌ තමන්ට ලැබී නොමැති බව ඊයේ (10 දා) රාත්‍රී "දිවයින"ට පැවසූ උන්වහන්සේ එවන් පැමිණිල්ලක්‌ තිබේ නම් නීතිගරුක පුරවැසියන් ලෙස පොලිසියට ගොස්‌ නීතියට අවශ්‍ය සහාය ලබා දීමට තම සංවිධානය ස්‌ථිර වශයෙන්ම කටයුතු කරන බවද සඳහන් කළහ.

 





 

 
Powered By -



සීමාසහිත උපාලි පුවත්පත් සමාගම

අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.