කොටි වෙබ් අඩවි මෙහෙයවන්නාවූ
නන්ද ගෝපන්ගේන් රහස්‌ රැසක්‌ හෙලිවෙයි

* කොටි ක්‍රියාකාරි ලැයිස්‌තුවේ සඳහන් රේවතන් මෙරට රාජ්‍ය නොවන සංවිධානයක නියෝජ්‍ය සභාපතිවරයෙක්‌.

* කොටි හිතවාදී සංවිධාන තහනම ගැන එමානුවෙල් පියනම හා සුරෙන් සුරෙන්ද්‍රන් කම්පනයට පත්වේ.

* කොඩි ක්‍රියාකාරීන් සමඟ සබඳකම් පැවැත්වූවන් ගැලවෙයි.

* අයිස්‌ මංජුත් කොටියෙක්‌

* ස්‌විස්‌ කොටි ක්‍රියාකාරියෙක්‌ මෙරටට පැමිණේ.



කොටි ජාත්‍යන්තර ඒකකයේ ප්‍රධානියාවූ කස්‌ත්‍රොaට සිය මුලතිව් බංකරයේ තිබූ ජාත්‍යන්තර කොටි ජාලයට අදාල රහස්‌ ලියවිලි විනාශ කිරීමට හැකිවූයේ නැත. ශ්‍රී ලංකා හමුදාව කිසිදිනෙක වන්නියට එනු ඇතැයි ඔහු විශ්වාස නොකළේය. එහෙත් කස්‌ත්‍රොaට වැරදුනි මුලතිව් හි බංකරයක තිබී කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ සියළුදෙනාගේ තොරතරු, ලිපිනයන්, දුරකතන අංක හා ඔවුන් සිටින රට ගැන දක්‌වන රහස්‌ ලියවිලි ආරක්‍ෂක අංශවලට හමුවිය එසේම මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ 56 වැනි සේනාංකය කොටි නීති පද්ධතිය හා ඊලම් රාජ්‍යයේ පාලන පද්ධතිය අඩංගු ග්‍රන්ථද සොයාගනු ලැබීය.

මුලතිව් බංකරයේ තිබී සොයාගත් රහස්‌ ලියවිලි ආරක්‍ෂක බලධාරීහු 2014 වනතුරු හෙලිකළේ නැත. කොටි නායකත්වය වන්නි මෙහෙයුමින් විනාශවීමට පෙර එකී සියළු ලියවිලි විනාශ කර ඇතැයි සිතූ කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා අතිශයෝක්‌තියෙන් යුක්‌තව ජාත්‍යන්තර ප්‍රජාව වෙත යොමු කළහ.

පසුගිය මාර්තු මස අගභාගයේදී ජිනීවා මානව හිමිකම් සමුළු ශාලාවට ගිය අපට දැකගැනීමට හැකිවූයේ එකී කොටි ත්‍රස්‌තයන් මානව හිමිකම් රැකවළුන් යෑයි හඳුන්වා ගනිමින් මෙරටින් ගිය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරින් හා එක්‌ව දියත් කළ රැඟුම්ය.

එහෙත් ආරක්‍ෂක බලධාරීහු එකවරම කොටි සංවිධාන 16 ක්‌ සමඟ කොටි ක්‍රියාකාරීහු 423 කගේ වගතුග ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඉන් වඩාත්ම කලබලයට පත්වූයේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් දේවගැති - සුරෙන් සුරෙන්ද්‍රන්, ප්‍රභාකරන්ගේ නීති උපදේශක රුද්රකුමාරන් වැනි කොටි ක්‍රියාකාරීන්ය.

මුලතිව් බංකරයේ තිබී කස්‌ත්‍රොa සහ එමානුවෙල් පියනම එකට සිට ගත් ඡායාරූපයක්‌ද ඇතුළු ඡායාරූප රැසක්‌ද සොයාගැනුනි. කොටි ක්‍රියාකාරීහු 423 කගේ තොරතුරු ප්‍රකාශයට පත්කිරීම අප්‍රේල් 1 දා මෝඩයන්ගේ දින විහිළුවක්‌ යයි රුද්රකුමාරන් සිතුවත් එකී බරපතලතම ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා ද්‍රවිඩ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම්ට වැටහුණි.

ආරක්‍ෂක බලධාරීන් ප්‍රකාශයට පත්කල කොටි හිතවාදීන්ගේ ලැයිස්‌තුවේ කොටි ත්‍රස්‌තයන් වැඩිපිරිසකට දේශපාලන රැකවරණ ලබාදී තිබුණේ කැනඩාවයි.

කැනඩාව කොටි 78 කටද ජර්මනිය 48 කටද බ්‍රිතාන්‍යය 25 කටද ඉතාලිය 25 කටද ඩෙන්මාර්කය 26 කටද ප්‍රංශය 43 කටද නෙදර්ලන්තය 31 කටද නෝර්වේ 13 කටද ඇමරිකාව 11 කටද බෙල්ජියම සිව්දෙනකුටද ස්‌විට්‌සර්ලන්තය සිව්දෙනකුටද දේශපාලන රැකවරණ දී තිබිණි.

එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ 1373 යෝජනාව ප්‍රකාර ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ කොටි ක්‍රියාකාරී ලැයිස්‌තුවෙන් හෙලිවූ රහස්‌ තොරතුරු නිසා ද්‍රවිඩ ඩයස්‌පෝරා ලේබලය යටතේ ක්‍රියාත්මක වූ කොටි හිතවාදීහු බලවත් අපහසුතාවයකට පත්වී ඇත.

ඒ වනවිට රජයට සම්බන්ධ නවක මන්ත්‍රීවරු පිරිසක්‌ බ්‍රිතාන්‍යයට ගොස්‌ ඩයස්‌පෝරා ප්‍රධානීහු යයි හඳුන්වන පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වා ඔවුන්ගේ යෝජනා මෙරට ගෙනවිත් රජයට ඉදිරිපත් කර තිබිණි.

එහෙත් කොටි ඩයස්‌පෝරාව මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිත්වය සමඟ එක්‌ව ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ප්‍රකාශයට පත්කර තිබූ ලියවිලි හා ප්‍රකාශන රැසක්‌ මානව හිමිකම් සමුළුව තුල බෙදාහැර තිබුණි.

මෙලෙස රජය ප්‍රකාශයට පත්කළ කොටි ක්‍රියාකාරින්ගේ ලැයිස්‌තුවේ 86 වැනියා වූ කරුනානිධි තුරෙයිරත්නම් හෙවත් තුරෙයි 2012 මාර්තු 19 දා ප්‍රංශයේදී මියගොස්‌ ඇතැයි වාර්තා විය. මෙලෙස කොටි ක්‍රියාකාරි ලැයිස්‌තුව ප්‍රකාශයට පත්කිරීමට පෙර ආරක්‍ෂක අංශ විසින් මැලේසියා සහ ඉරාන ආණ්‌ඩුවල සහයෙන් නන්දගෝපන් හෙවත් කපිලන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මැලේසියාවේ පදිංචිව සිටි කපිලන් ටෙහොරන් නුවර හරහා ලන්ඩන් නුවරට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ගමන් කරන අවස්‌ථාවේ අසුවිය.

කපිලන් ලන්ඩනයේ ගීතරෝ ගුවන්තොටුපලට එනතුරු බලා සිටි කොටි ක්‍රියාකාරීන්ට ඔහු නොපැමිණීමත් සමඟ යම් ඇබැද්දියක්‌ සිදුවී ඇතැයි තහවුරු විය.

කපිලන් යනු නෝර්වේහි නෙදියවන් කණ්‌ඩායමේ දෙවැනියායි. ඔහුගෙන් ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ප්‍රශ්න කිරීමෙන් පසු කොටි ඩයස්‌පෝරාවේ රහස්‌ රැසක්‌ හෙලිවිය.

මේ පසුබිම මැද කපිලන් සමඟ සබඳකම් පැවැත්වූවන් රැසක්‌ සැඟවී ඇතැයි ආරංචි මාර්ග කියා සිටී. කොටි වෙබ් අඩවි හා ගුවන් විදුලි සේවා රැසක්‌ මෙහෙයවා ඇත්තේ කපිලන් යයි හෙලිවී ඇත.

මේ අතර කොටි හිතවාදී ලැයිස්‌තුවට ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි කොටි හිතවාදියකුවූ ඇන්ද්‍රහැන්නැදිගේ චමින්ද කුමාර හෙවත් අයිස්‌ මංජු සහ අක්‌කර පත්තුවේ පදිංචිකරුවකු වූ ගුණරත්න බන්දුල ගජධීර නැමැත්තාද ඇතුලත් වී තිබේ.

ඉන් අයිස්‌ මංජු ත්‍රිකුණාමලය සුමුදුගම අංක 38/10 නිවසේ පදිංචිව සිටි අතර ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලිලන් සමඟ දැඩි සබඳකම් පැවැත්වූවෙකි.

2004 මැයි මස දිනෙක හමුදා බුද්ධි සේවාවට සම්බන්ධ කර්නල් මුතාලිබ් ඝාතනයටද සම්බන්ධ අයිස්‌ මංජු ඉන්දියාවේ සිටින බව හෙලිවී ඇත.

ඊට සමාගාමීව අතුරුගිරිය වල්ගම සුම මාවතේ අංක 7 දරන ස්‌ථානයේ හා දෙහිවල පදිංචිව සිටි වේලුපිල්ලේ රේවතන් නැමැති කොටි ක්‍රියාකාරියාද ඉන්දියාවේ සැඟවී සිටින බවට අනාවරණය වී තිබේ.

මේ වේලුපිල්ලේ රේවතන් යනු මෙරට රාජ්‍ය නොවන සංවිධානයක නියෝජ්‍ය උප සභාපති ලෙස කටයුතු කළ අයෙකි. එම රාජ්‍ය නොවන සංවිධානයේ අනික්‌ නියෝජ්‍ය උප සභාපතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකි.

එහෙත් මොවුන්ගේ කොටි සබඳතා යටපත්වීය. රජයේ ඉහලපෙලේ බලධාරීහු පවා මේ සබඳතා ගැන නොදනී.

වේලුපිල්ලේ රේවතන් එකී රාජ්‍ය නොවන සංවිධානයේ වාහනයක්‌ භාවිත කරමින් කොළඹට පැමිණ කොටි ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබීය. එසේම ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා සැලසුමක්‌ දියත් කර ඇත්තේ රේවතන් යෑයි ත්‍රස්‌ත මර්දන විමර්ශන වලින් හෙලිවී තිබිණි.

එහෙත් රේවතන් සමඟ සබඳකම් පැවැත්වූවත් රජයට සමීපවී ගැලවී සිටී.

සතුරන් කව්දැයි මිතුරන් කව්ද යෑයි රජය හඳුනාගෙන නැතැයි අපි එදා සිට පුන පුනා කියන්නේ එබැවිනි.

එසේම රේවතන්ට ඉන්දියාවට පැනයැමට උදව්කළේ කවුදැයි එකී රාජ්‍ය නොවන සංවිධානයේම පාර්ශවයන් දනී.

මෙවන් පසුබිමක්‌ මැද කොටි හිතවාදී ලැයිස්‌තුවට ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරෙන්ද්‍රන් හා කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ ඩේවිඩ් සුගාල පිල්ලේද ඇතුලත් වී ඇත.

සුරෙන් සුරෙන්ද්‍රන් පසුගිය මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළේය.

ඩේවිඩ් සුගාල පිල්ලේ යනු ටැමිල්නෙට්‌ වෙබ් අඩවිය මෙහෙයවූ සී. පී. සිවරාම් හෙවත් තාරකි නැමැති හිටපු ත්‍රස්‌තවාදියාගේ මස්‌සිනායි. ජර්මනියේ ලිපිනයක පදිංචිව සිටින බව පැවසුවත් ඔහු සිටින්නේ කැනඩාවේයි.

මේ අතර ජාත්‍යන්තර විද්වතකු යෑයි හඳුන්වාගන්නා තැනැත්තෙක්‌ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයනු ඇතැයි දක්‌වමින් පුළුල් ප්‍රචාරයක්‌ දියත්කර ඇත.

ඔහු වර්ධරාජා පෙරුමාල්ගේ ඊලම් පළාත් සභාවේ ඇමැතිවරයාද ලෙස ක්‍රියාකළේය.

මෙම පසුබිම මැද රජය එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ විමර්ශනයට සහාය දැක්‌විය යුතුයෑයි විරුද්ධ පක්‍ෂ දේශපාලනඥයකු වූ ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර ඇත.

ජිනිවාහිදී කොටි හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු එක්‌ව ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ දරන අවස්‌ථාවේ ඇතැම් දේශපාලනඥයන් ස්‌විට්‌සර්ලන්තයේ බුල් නගරයේ චොකලට්‌ කම්හල් නැරඹීමේ යෙදී සිටියහ.

එවන් තත්ත්වයක්‌ මැද වන්නි මෙහෙයුමට කිසිසෙත් දායක නොවූ දේශපාලනඥයන්ගේ ප්‍රකාශ වලට රජය සවන්දිය යුතුද?

ඉන්දු කාශ්මීරයේ සිවිල් ජනතාව මරුමුවට පත්වීම හා ජාත්‍යන්තර විමර්ශනයකට ඉඩදිය යුතු යෑයි රාජ්‍ය නොවන සංවිධාන ඉල්ලා සිටියත් ඉන්දීය රජය ඊට එකඟ වූයේ නැත.

ඊශ්‍රායලය පවා ගාසා තීරයේ මිනිස්‌ ඝාතන ගැන එක්‌සත්ජාතීන්ගේ විමර්ශන ප්‍රතික්‍ෂේප කරද්දී ශ්‍රී ලංකාව පමණක්‌ එවන් විමර්ශන වලට එකඟවිය යුතුද?

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී රටවල් රැසක්‌ ඊශ්‍රායලය පතුරු ගහද්දී ඊශ්‍රායලයේ කිසිම දූත කණ්‌ඩායමක්‌ එකී සමුළුවට සහභාගි වුණේ නැත.

මේ තත්ත්වය මැද එක්‌සත් ජාතීන්ගේ විමර්ශනයක්‌ ශ්‍රී ලංකාව සම්බන්ධව ආරම්භ කිරීමට නියමිතව තිබියදී වන්නි මෙහෙයුම ගැන කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය සකස්‌ කළ රහස්‌ පත්‍රිකාව ප්‍රකාශයට පත්වී ඇත. මෙය සකස්‌කර ඇත්තේ ශ්‍රී ලංකාවේ එක්‌සත් ජාතීන්ගේ ප්‍රධානි නිල් බුහුනේයි.

මෙම එක්‌සත් ජාතීන්ගේ රහස්‌ පත්‍රිකාවට අනුව වන්නි මෙහෙයුමේදී මියගිය සංඛ්‍යාව 7721 කි. තුවාල ලත් සංඛ්‍යාව 18479 කි. 2008 අගෝස්‌තු මස සිට 2009 මැයි 13 දක්‌වාවූ කාලය ඊට ඇතුලත්වී තිබේ.

මෙකී වාර්තාවට තොරතුරු සපයා ඇත්තේ වන්නියේ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේ සේවය කළ කාර්ය මණ්‌ඩලයයි.

එහෙත් බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව 70000 ක්‌ දක්‌වාද වන්නි මෙහෙයුම සමයේ මෙරට නොසිටි හිටපු බී. බී. සි වාර්තාකාරියවූ ප්‍රැන්සස්‌ හැරිසන් එකී සංඛ්‍යාව 140000 ක්‌ දක්‌වාද කොටි ඩයස්‌පෝරාව 3,00000 ක්‌ තෙක්‌ද වැඩිකර ඇත.

මේ පසුබිම මැද නවි පිල්ලේගේ යුධ අපරාධ විමර්ශන මණ්‌ඩලය වෙත මෙරට බොරු සාක්‍ෂිකරුවන් 40 කට අධික පිරිසක්‌ ඉදිරිපත් වී ඇති අතර ඔවුන්ට ජිනීවා ගෙන්වා හෝ වීඩියෝ දුරකථන ජාලය ඔස්‌සේ සාක්‌කි සටහන් කරගැනීමට ක්‍රියාකෙරෙන බව වාර්තා වී ඇත. මේ අතර අත්අඩංගුවට ගනු ලැබූ නන්දගෝපන් හෙවත් කපිලන්ට ජර්මනියේ සිටින ඔහුගේ බිරිය ඇමතීම සඳහා රජය ඉඩදී ඇත.

නන්දගෝපන් සුබ්‍රමනියම් හෙවත් කපිලන් අල්ලා ගැනීම සඳහා ඉරාන රහස්‌ පොලිසියට තොරතුරු සපයා ඇත්තේද ශ්‍රී ලංකා හමුදා නිලධාරියෙකි.

කපිලන් කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියාවූ මානිවන්නන් විරභක්‌ති හෙවත් කස්‌ත්‍රොa යටතේ සේවය කර තිබේ. කැනඩා රහස්‌ පොලිසිය විසින් ලෝක ද්‍රවිඩ සම්මේලන කාර්යාලයේ තිබී සොයාගත් කොටි ජාත්‍යන්තර ජාලයේ ලැයිස්‌තුව හා මුලතිව් බංකරයේ තිබී හමුවූ ලැයිස්‌තුවද එක සමානය.

ශ්‍රී ලංකා රජය මාර්තු 21 දා අතිවිශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මගින් කොටි හිතවාදින් 423 තවත් තොරතුරු ප්‍රකාශය කරන අවස්‌ථාවේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධාන එමානුවෙල් දේවගැති ප්‍රකාශයක්‌ කරමින් රජය සාක්‍ෂි ඉදිරිපත් කළයුතු බවට අභියෝග කළේය. එහෙත් වත්මන් කොටි ඩයස්‌පෝරාවේ කලබලයට පත්විය. නන්දගෝපන් හෙවත් කපිලන් ගැන මේ දක්‌වාම කිසිදු ප්‍රකාශයක්‌ කර නැත්තේ එබැවිනි.

මේ අතර ස්‌විට්‌සර්ලන්තයේ සුරිඩ් කොන්සල් වරයකු ලෙස විදර්ශන් මුණසිංහ පත්විය. මෙතෙක්‌ සුරිඩ් නුවර කොන්සල් කාර්යාලයක්‌ නොතිබුණි. ශ්‍රී ලංකාවේ සිට ස්‌විට්‌සර්ලන්තයට පැන ගිය පිරිස්‌වල මුල්ම කේන්ද්‍රස්‌ථානය වූයේ සුරිඩ් නගරයයි.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.