දරු ප්‍රසූතියේ අයිතියට තුන්කොන් සටනක්‌

හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු) හා වෛද්‍යවරුන් අතර හටගෙන ඇති තුන්කොන් සටන මේ වන විටත් ක්‍රියාත්මකව පවතී. මෙම සටන මේ වනවිට මාධ්‍ය නිවේදන, වාග් ප්‍රහාරයන්ගෙන් ඔබ්බට යමින් වර්ජන ක්‍රියාමාර්ගයක්‌ දක්‌වා ව්‍යාප්ත වී ඇති අතර දැනටමත් හෙද සූතිකා පුහුණුවට එරෙහිව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති.

සමස්‌ත ලංකා හෙද සංගමයද මෙම පරණ අවුරුදු (13 දා) හා අලුත් අවුරුදුදා (14 දා) යන දෙදිනෙහි දිවයිනේ ප්‍රධාන රෝහල්වල හෙද වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර ඇත. එම හෙද වර්ජනය ක්‍රියාත්මක කිරීමට යනුයේ හෙදියන්ට ලබා දෙන සූතිකා පුහුණුව කඩාකප්පල් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා පවුල් සෞඛ්‍ය සේවා සංගමය ගන්නා උත්සාහයට විරෝධය පෑමක්‌ වශයෙන් යෑයි ප්‍රකාශ වී තිබේ. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද හෙද සූතිකා පුහුණුවට එරෙහිව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට සහාය පළ කර තිබේ.

හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීම යන විෂයය අරභයා වෘත්තීන් 3 කට අයත් ප්‍රබල සංගම් විසින් මෙසේ එකිනෙකාට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වද්දී අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිනුයේ කවදත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් හේතුවෙන් පීඩාවට පත්වන අසරණ රෝගීන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වන විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් ඉකුත් 02 වැනිදා සිට ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා මවුවරුන්ට හා ළදරුවන්ට ලබා දෙන ප්‍රතිශක්‌තිකරණ එන්නත් ඇතුළු එන්නත් ලබා දීම නතර වී තිබේ. වර්ජනයේ යෙදී සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් සායනවලට ඉබි යතුරු දමා එම යතුරු රැගෙන ගොස්‌ තිබීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු, හෙදියන් හා වෛද්‍යවරුන්ට හෝ එම එන්නත් විදීමේ අවස්‌ථාව අහිමි වී ගොස්‌ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙහි අවදානම රටට දැනෙනුයේ නුදුරු අනාගතයේදීය. ඒ නිසි කලට ප්‍රතිශක්‌තිකරණ එන්නතක්‌, නැතහොත් රෝගාබාධයක්‌ වළක්‌වන එන්නතක්‌ විද ගැනීමට නොහැකි වන මවුවරුන් හෝ ළදරුවන් හරහා එන්නත් මගින් පහසුවෙන් වළක්‌වාගත හැකිව තිබූ රෝග සමාජය තුළ පැතිරීමට ඉඩ ඇති නිසාය. අනෙක්‌ අතට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මේ වන විට ගෙන් ගෙට ගොස්‌ ළදරුවන් හා මවුවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කිරීම හා මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ දත්ත වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යෑවීමද නතර කර තිබේ. මෙම තත්ත්වය දිගු කලක්‌ පැවැතියහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය දර්ශකයන් සකස්‌ කිරීමේ කටයුතුවලටද බාධා පැමිණිය හැකිය. මන්ද එම දර්ශකයන්ට අදාළ දත්තයන් ඔවුන් සපයා ගනුයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යවන වාර්තා මගින් වීම හේතුවෙනි.

ඒ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ වර්ජනයෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ඇතිවිය හැකි පාඩුවයි. එම පාඩුව පුද්ගලයන්ට හා සමාජයට සිදු වනුයේ දීර්ඝ කාලීනවය. වර්ජනය තවත් කාලයක්‌ පැවැතියහොත් මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය තත්ත්වය කණපිට පෙරළීමට වුවද ඉඩ තිබෙන බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මතය වී තිබේ. අනෙක්‌ අතට හෙදියන් වර්ජනය කළහොත් රෝගීන්ට ඇති වන පාඩුව අමුතුවෙන් කිව යුතු නොවේ. රෝහල් වාට්‌ටුවක රෝගියාට දවසෙහි වැඩි කාලයක්‌ මිඩංගු කිරීමට සිදු වනුයේ හෙදියන් සමඟය. වෛද්‍යවරුන් හා සෙසු වෘත්තීන්ට වඩා හෙදිය ඒ තරමට රෝගියාට සමීපව කටයුතු කරන අයෙකි.

දශක ගණනාවක්‌ මුළුල්ලෙහිම රෝගී ජනතාවට අත්‍යවශ්‍ය වූ හෙද සේවාවන් සපයනු ලබන හෙද, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හා වෛද්‍යවරු අතර පැවැතියේ සමීප සබඳතාවකි. එහෙත් අද මේ වනවිට හෙදියන් එක්‌ පසෙකටත් වෛද්‍යවරු හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් තවත් පසෙකටත් වී එකිනෙකාට චෝදනා කර ගන්නා තරමට විරසක වී සිටිති. සැබැවින්ම මෙම තත්ත්වයට වගකිවයුත්තේ කවුරුන්ද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරීන් හා ඇතැම් වෘත්තීය සමිති යන්න මෙයට දිය හැකි සරලම පිළිතුරයි.

හෙදියනට ලබාදෙන සූතිකා පුහුණුව මාස 6 ක සිට වසරක කාලයක්‌ දක්‌වා දීර්ඝ කිරීමට වෙනත් වෘත්තීය සමිතිවල අදහස්‌ පවා ලබා නොගෙන අනුමැතිය ලබා දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරීන් විසිනි. අනෙක්‌ අතට එම නිලධාරීන් විසින් අනුමැතිය ලබා දුන්නේ හෙදියන්ට ලබාදෙන සූතිකා පුහුණුව මාස 6 කින් දීර්ඝ කිරීමට පමණක්‌ නොව අලුතින් බඳවා ගනු ලබන සෑම හෙද සිසුවකුටම එම සූතිකා පුහුණුව ලබා දීම සඳහාය.

මෙවැනි තත්ත්වයක්‌ තුළ මෙතෙක්‌ සූතිකා කටයුතු සිදු කළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පත්වන තත්ත්වය පිළිබඳව නොකිවමනාය. මෙවැනි වාතාවරණයක්‌ තුළ ඔවුන්ගේ සේවාව අනාරක්‍ෂිත බව ඔවුනට හැඟී ගියහොත් එයද පුදුමයක්‌ නොවේ. මෙවැනිම තත්ත්වයක්‌ කලකට පෙර පාසල් දන්ත චිකිත්සකයන් සම්බන්ධයෙන්ද පැන නැඟිණි. එහිදීද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරීන් විසින් දන්ත වෛද්‍ය සංගම්වල ඉල්ලීම මත පාසල් දන්ත චිකිත්සක සේවාව මියෑදෙන සේවාවක්‌ (ඩයින් ස(ර්)විස්‌) කිරීමට පවා සැලසුම් සකස්‌ කළහ.

එවැනි තත්ත්වයක්‌ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ටද ඇති වේ යෑයි එම නිලධාරිනියන් තුළ සිතිවිල්ලක්‌ පහළ වූයේ නම් එය සාධාරණය. මන්ද කිසිවෙකු තම සේවාව මියදෙන සේවාවක්‌ වනු දැකීමට අකමැති වීමයි.

කෙසේ වුවද ප්‍රබල හෙද වෘත්තිය සමිතිය වන රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය මෙහිදී තරයේ කියා සිටියේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ රාජකාරි කටයුතු හෙදියන්ට පවරා ගැනීමේ කිසිදු අදහසක්‌ සිය සංගමය සතුව නොමැති බවයි. හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීම නවීන ලෝකයේ හෙදියන්ට පවතින ඉල්ලුම තවත් ආකර්ෂණීය කිරීමට ඔවුනට ලබා දෙන සූතිකා පුහුණුව සමත්වන බව හෙද සංගමය අවධාරණය කරන ලදී.

අනෙක්‌ අතට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වශයෙන් හෙද පුහුණු විදුහල්වල ඉගෙනුම ලබන සිසුවියන්ට සූතිකා පුහුණුව පිළිබඳව පුහුණුව ලබා දෙනුයේ හෙද ආචාර්යවරුන් විසින් බවත් පවුල් සෞඛ්‍ය සේවා වෘත්තියද තවදුරටත් මෙරට ක්‍රියාත්මක විය යුතු බවත් සංගමය සඳහන් කර සිටියේය. එහෙත් හෙද සංගමයේ මෙම මතය පිළිගැනීමට පවුල් සෞඛ්‍ය සේවා සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන සංගම් කැමැති නැත. එම සංගම් විසින් දිගින් දිගටම පෙන්වා දෙනුයේ වෛද්‍ය ආඥ පනතටද අනුව වින්නඹු කර්මය පිළිබඳ පුහුණුව ලැබිය යුත්තේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මිසක හෙදියන් නොවන බවයි. සියලු හෙද සිසුන්ට සූතිකා පුහුණුව ලබා දීමේ තීන්දුව අහෝසි කළ යුතු බව එම සංගම්වල මතය වී තිබේ.

මේ වන විට ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනාවකට අනුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වශයෙන් හෙද පුහුණු පාසල්වල පුහුණුව ලබන සිසුවියන්ව හෙද පුහුණු පාසල්වලින් ඉවත් කර වෙනම ආයතනයක ඔවුන්ට පුහුණුව ලබා දීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවද වාර්තා විය.

අනෙක්‌ අතට මේ වන විටද සූතිකා පුහුණුව ලැබූ හෙද සිසුවියන්ට ප්‍රායෝගික පුහුණුව සඳහා මාතෘ රෝහල් වාට්‌ටුවලට ඇතුළු වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නතර කර තිබේ.

මෙම සෑම ක්‍රියාදාමයකින්ම ආපස්‌සට යනුයේ මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයයි. ප්‍රබල සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක කඹ ඇදිල්ල හේතුවෙන් මෙතෙක්‌ අෙන්‍යාaන්‍ය සහයෝගීතාවයකින් රෝහල් වාට්‌ටුවල කටයුතු කළ වෛද්‍යවරු, හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මේ වනවිට ඇන කොට ගන්නා තත්ත්වයක්‌ උද්ගතව පවතී.

හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීමට අනුමැතිය ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරීන්ට අද සිදුව ඇත්තේ හෙද, වෛද්‍ය, පවුල් සෞඛ්‍ය සේවා යන වෘත්තියන් ත්‍රිත්වය එකිනෙකා හා ඇන කොටා ගන්නා ආකාරය නරඹමින් සිටීමටය. ගනු ලැබූ එක්‌ අදූරදර්ශී පියවරක්‌ හේතුවෙන් හෙද, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හා වෛද්‍යවරු යන සේවාවන් සතුටු කරලීම සඳහා සෞඛ්‍ය බලධාරීහු ගැටලුවට තාවකාලික පැලැස්‌තර යොදමින් සිටින බව පෙනේ. සියලු හෙද සිසුන්ට සූතිකා පුහුණුව ලබා දීමට පැහැදිලි තීරණයක්‌ ගෙන තිබියදීත් එවැනි තීරණයක්‌ නොගත් බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිලධාරියා විසින් පසුගිය සතියේ නිවේදනයක්‌ නිකුත් කරන ලද්දේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සතුටු කිරීමට බව පෙනීයයි.

මෙහිදී හෙදියනට සූතිකා පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පානුයේ මන්දැයි යන්න බොහෝ දෙනාට ගැටලුවක්‌ වී තිබේ. අනෙක්‌ අතට හෙදියනට සූතිකා පුහුණුව ලබා දෙනුයේ සාමාන්‍ය වෛද්‍යවරුන් නොව ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසිනි. එම වෛද්‍යවරුන් විසින් මෙතෙක්‌ හෙද සූතිකා පුහුණුවට විරෝධයක්‌ දක්‌වා නොතිබියදීත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම ප්‍රකාශ කරනුයේ හෙද සූතිකා පුහුණුවට ඉඩ නොදිය යුතු බවයි.

හෙදියන් සඳහා උපාධි පාඨමාලාවක්‌ අරඹා තිබීම මත එයට විරෝධය පෑමේ වක්‍ර ක්‍රියාමාර්ගයක්‌ වශයෙන් හෙද සූතිකා පුහුණුවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ බවට මතයක්‌ පවතී.

කරුණු කෙසේ වුවද එක්‌ පිලක්‌ සතුටු කරලීම සඳහා ලබා දුන් අනුමැතිය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයටම හිසරදයක්‌ බවට පත්ව තිබේ. හෙද සූතිකා පුහුණුව ගැන සොයා බැලීම සඳහා විද්වත් මණ්‌ඩලයක්‌ අමාත්‍යාංශය විසින් පත් කරනු ලැබුයේද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ බලපෑම මතය. දැනට හෙද සූතිකා පුහුණුව සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති අර්බුදකාරී තත්ත්වය විසඳීමට නම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෙද සංගම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා පවුල් සෞඛ්‍ය සේවා සංගමය යන සංගම් එකම සාකච්ඡා මේසයකට කැඳවා සාකච්ඡා කළ යුතුව තිබේ. එසේ නොකොට එක්‌ එක්‌ සංගම් සමඟ වෙන වෙනම සාකච්ඡා කිරීමෙන් ප්‍රශ්නයට පිළිsයම් යෙදීමට අසීරුය.

අසරණ රෝගීන් තවත් අසීරුතාවට පත් නොකොට හෙද සූතිකා පුහුණුව සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති ගැටලුව සෑම වෘත්තියකටම සාධාරණයක්‌ වන අයුරින් විසඳීමට කටයුතු කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ යුතුකම බව අවසන් වශයෙන් අවධාරණය කරනු කැමැත්තෙමි.

ඒමන්ති මාරඹේ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.