කොටි යළි එන තර්ජනය සහ මානව හිමිකම් අර්බුදය

දෙකෝටියකගේ අයිතීන් වලට වග කියන්නේ කවුද?



ස්‌විස්‌ට්‌සර්ලන්තයේ ජිනීවාහි මෙවර පැවති එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී තිස්‌ වසරක්‌ පුරා මෙරට පැවති ත්‍රස්‌තවාදය අවසන් කිරීම හමුවේ "යුද අපරාධ" යන්න මුලට ගෙන ශ්‍රී ලංකාවට එරෙහිව නැගුණු චෝදනා රැසකි.

එකී චෝදනා සමග ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ප්‍රධාන ඇතැම් බටහිර රටවල මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවත්විය යුතු බව කියමින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම යෙදී තිබුණේ ඉකුත් මාර්තු මස 29 වැනිදාටය.

මේ හමුවේ ඒ වන විට ස්‌විස්‌ට්‌සර්ලන්තයේ ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය තුළ මෙන්ම ඉන් පිටත පරිසරයේද වූයේ දැඩි සංවාදශීලී ස්‌වභාවයකි. කෙසේ වෙතත් මෙරටට එරෙහි එම ඇමැරිකානු යෝජනාව දැන් ඇත්තේ සම්මත වීද අවසන්වය. ඒ තුළ අපට සිදු කරන සහ සිදු කළ හැකි දේ දන්නේද ජාත්‍යන්තරයමය.

සැබැවින්ම ජාත්‍යන්තරය මේ කියන සියල්ල පිළිබඳ මධ්‍යස්‌ථව සිට කතා කළොහොත් ත්‍රස්‌තවාදයේ භීෂණය ඇසින් දැක, විඳි අපට ත්‍රස්‌තවාදය, යුද්ධය ගැන මෙන්ම සිංහල, දෙමළ, මුස්‌ලිම් හා බර්ගර් ආදී ලෙසින් වූ ශ්‍රී ලාංකික සියලු ජනකොටස්‌හි පාර්ශ්වයේ සිට ස්‌වාධීනව කියන්නට ඇති දේ බොහෝය.

නමුත් ශ්‍රී ලංකාව අරබයා ඇමරිකාව ප්‍රධාන ඇතැම් බටහිර රටවල ක්‍රියාකාරිත්වයේ කිසිදු මධ්‍යස්‌ථ බවක්‌ සහ ස්‌වාධීන්ත්වයක්‌ පෙනෙන්නට නැති නිසාම නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක්‌ දැන් ඉතිරිවද නැත.

අපට මුඛවාඩම් පළඳවමින් මෙවර ජිනීවා නාඩගම එසේ දිග හැරෙද්දී මළ ප්‍රභාකරන්ගේ ආත්මයට එළිපිට පහන් දල්වන ජාත්‍යන්තරයේම ඇතැමුන්ගේ පිහිටෙන් මේ වන විට එල්ටීටීඊය ඇත්තේ මෙරට තුළ යළි හිස ඔසවන තැනකය. එය සමස්‌ත ශ්‍රී ලාංකීය ජන සමාජයම භීතියට පත් කරවන්නකි. නමුත් තත්ත්වය එසේ වුවද ඒ බව අද එක්‌සත් ජාතීන්ට මුවා වී යුද අපරාධ යන ඒකපාර්ශ්වීය කතාව තුළ සිටිමින් ශ්‍රී ලංකාවට වින කරන ඊනියා ජාත්‍යන්තර මානවවාදීන් නොදන්නේද නැතහොත් නොදන්නා සේ රඟන්නේද යන්න ඇසිය යුත්තේ ඔවුන්ගෙන්මය. කෙසේ වෙතත් ඒ පැනයට කිසි විටෙකත් නිසි පිළිතුරක්‌ නම් නොලැබෙන බවද මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුතුය. අද දවසේ යළිත් වරක්‌ ශ්‍රී ලංකාව තුළ ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනයේ අඳුරු සෙවනැළි මතුවෙමින් තිබෙන බව මුලින්ම තහවුරු වූයේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මෙවර සැසිවාරය ආරම්භ වීමට දින කිහිපයක්‌ තිබියදීය.

ඒ එල්ටීටීඊයේ ප්‍රබලයකුව සිටි කජීපන් පොන්නයියා සෙල්වනායගම් නොහොත් ගෝපි නමැත්තා කිලිනොච්චිය ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත යුද හමුදා සහ පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසයේ නිලධාරින් පිරිසක්‌ ඔහු අත්අඩංගුවට ගැනීමට යැමේදී ගෝපි පොලිසියට වෙඩි තබා පලා යැමත් සමගිනි. මෙම වෙඩි තැබීමෙන් ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසයේ නිලධාරියකු තුවාල ලැබූ අතර එය අවසන් සටනින් වසර පහකට පසු ත්‍රස්‌ත ප්‍රහාරයකින් මෙරට ආරක්‍ෂක අංශ නිලධාරියකු තුවාල ලැබූ පළමු අවස්‌ථාවද විය.

ඉකුත් අවසන් මෙහෙයුම සමයේ එල්ටීටීයේ ප්‍රබලයකුව සිටි ගෝපි නමැත්තා පසුව විදේශයකට පලා ගිය බවට බුද්ධි අංශ වෙත වාර්තා වී තිබුණකි. මෙවර ඔහු මෙරටට පැමිණ කිලිනොච්චිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියේ එල්ටීටීයේ නව නායකයා ලෙස ක්‍රියාත්මක වී නැවත ත්‍රස්‌තවාදයට පණදීමේ අරමුණින් බවද ආරක්‍ෂක බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබිණ.

මෙම සිද්ධියත් සමග ත්‍රස්‌ත විමර්ශන නිලධාරින් ගෝපිට රැකවරණ දීමේ චෝදනාව මත ඔහු සැඟව සිටි නිවසේ උන් කාන්තාවක අත්ඩංගුවට ගනු ලැබීය. ජෙයකුමාරි නමැති ඇය උතුරේ සිටිමින් විදේශගත කොටි ඩයස්‌පෝරාවේ වුවමනාව මත ආරක්‍ෂක අංශවලට හා රජයට එරෙහිව කටයුතු කරන්නියක බවද පසුව අනාවරණය විය.

එකී කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබඳ සොයා බැලීම සඳහා කිලිනොච්චිය ප්‍රදේශයට ගිය මානව හිමිකම් ක්‍රියාකාරින් යන ලේබලය යටතේ මෙරට ක්‍රියාත්මක ප්‍රවීන් නමැති කිතුනු පූජකවරයකු සහ රුකී ප්‍රනාන්දු නමැත්තකුද පොලිස්‌ අත්අඩංගුවට පත් වූ අතර පසුව ඔවුන් දෙදෙනා මුදා හැරීමට පොලිසිය කටයුතු කළේය. නමුත් මෙකී පූජකවරයා සහ රුකී ප්‍රනාන්දු නමැත්තා අත්ඩංගුවට ගැනීමත් සමග සිදු වූයේ කුමක්‌ද? ඒ වන විටත් ආරම්භ වී තිබූ ජිනීවා මානව හිමිකම් කවුන්සලය තුළ ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් ක්‍රියාකාරින් අත්අඩංගුවට ගන්නේ යෑයි හඬක්‌ මතු වීමය. එහෙත් ගෝපිගේ කතාව තුළින් ශ්‍රී ලාංකීය ජනජීවතියට එල්ල වෙමින් තිබෙන තර්ජනය පිළිබඳ කිසිවකුත් කතා නොකළේය. නමුත් එල්ටීටීඊයට නැවත පණ දීමට පැමිණ පොලිසියට වෙඩි තබා පලා ගිය මෙම ගෝපි නමැත්තා සොයා ඉකුත් මාස දෙකක පමණ කාලය පුරා යුද හමුදා බුද්ධි අංශ පුළුල් මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කරනු ලැබුවේ සමියල්ල එසේ වෙද්දීය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ගෙවී ගිය සතියේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව වව්නියාව නෙදුන්කර්නි කැලයේ සැඟව සිටි ගෝපි ඇතුළු කොටි ත්‍රස්‌තාවාදීන් තිදෙනකු මරා දැමීමට ඉකුත් සිකුරාදා වන විට යුද හමුදාවට හැකිවිය.

මෙහිදී ත්‍රස්‌තවාදීන් හා යුද හමුදාව අතර ඇති වූ ගැටුමින් සෙල්වරාඡ් නමැති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකුද මරණයට පත්විය. එකී මරණය ඉකුත් අවසන් සටනින් පස්‌ වසරකට පසු ත්‍රස්‌තවාදීන් හා ඇති වූ ගැටුමකින් යුද හමුදා රණවිරුවකු රට වෙනුවෙන් දිවි පිදූ ප්‍රථම අවස්‌ථාව ලෙසද සටහන් වන්නකි.

මෙම ගැටුමේදී මිය ගිය අනෙක්‌ ත්‍රස්‌වාදීන් දෙදෙනා වන්නේ සුන්දරලිංගම් කජීපන් හෙවත් තේවියන් හා අප්පන්ය. හමුදා ප්‍රහාරයෙන් මියගිය තේවියන් යනු එල්ටීටීඊය ශක්‌තිමත්ව තිබූ කාලයේදී අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ කොටි ප්‍රහාරයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වී කොටි ගුවන් නියමුවකු ලෙස කටයුතු කෙරුවකු බවටද ආරක්‍ෂක බුද්ධි අංශ හඳුනාගෙන සිටියෙකි. විදේශගත කොටි ඩයස්‌පෝරාවේ වුවමනාව මත එල්ටීටීඊයට නැවත පණ දෙන්නට විදේශයක සිට මෙරටට පැමිණි එල්ටීටීඊයේ නව නායකයා යෑයි කියාගත් ගෝපිට අත් වූ මෙම ඉරණමත් සමග දැන් ඇමරිකාවේ රුකඩයක්‌ සේ රඟන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී නවනීදන් පිල්ලේ ඇතුළු නඩය "අනේ රස්‌සාවක්‌ නැති කමට දර කඩන්නට නෙදුන්කර්නි කැලේට ගිය නිරායුද ගෝපිව ශ්‍රී ලංකා හමුදාව මරා දැමුවා යෑයි කියමින් වැළපෙන්නටද බැරි නැත.

එසේ වැළපෙන අතරේ ශ්‍රී ලංකා හමුදා දෙස වෛරී ලෙස බලමින් අන්න තවත් යුද අපරාධයක්‌ කළා යෑයි පවසා "ඉඳපියව් තොපිට කෙළවන්නට" යෑයි අපට ඇඟිලි දිගු කරන්නටද පුළුවන. එහෙත් ඒ සියල්ල තුළ ඇත්තේ සැබෑ මානව දයාව නොව විවිධ ලෝක දේශපාලන කෝණ තුළින් මතුවන කුහකකම බව ජාත්‍යන්තරයේ කිසිවකුටවත් අමුතුවෙන් කියා දිය යුතද= නැත. ශ්‍රී ලාංකීය ජනතාව නැවත වරක්‌ රුදුරු ත්‍රස්‌තවාදයේ ගොදුරු බවට පත්වීමේ අවදානමක්‌ මතු වී තිබෙන බවට ඉකුත් සතියේ තවත් අනාවරණයක්‌ සිදු වූයේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සහ ගෝපි ප්‍රධාන එල්ටීටීඊයේ යළි පිබිදීමේ කතාව මෙසේ සටහන් වෙමින් තිබියදීය. ඒ ත්‍රස්‌තවාදය තුළින් මේ බිමේ නැවත බෙදුම්වාදය පැතිරවීමට ක්‍රියාත්මක සහ ඊට අනුබල දෙන පුද්ගලයන් 424 දෙනකු මෙන්ම සංවිධාන 15 ක්‌ තහනම් කරමින් ආරක්‍ෂක අමාත්‍යංශයට සම්බන්ධ නිවේදනයක්‌ රජය ගැසට්‌ මගින් ප්‍රකාශයට පත් කිරීමත් සමගිනි.

එක්‌සත් ජාතීන්ගේ 4(2) නියෝගයට අනුව ආරක්‍ෂක අමාත්‍යංශයට අදාළ ගැසට්‌ නිවේදනයක්‌ ලෙස රජය මෙම තහනම ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙසේ තහනම් කෙරුණු පුද්ගලයන් 424 අතරින් තිස්‌ දෙදෙනකු දැනට ඉන්දියාවේ පදිංචිව සිටින බව එරට පී.ටී.අයි. නමැති ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබුණු අතර සෙසු පිරිස අතරින් අති බහුතරයක්‌ නොර්වේ, කැනඩාව, ඩෙන්මාර්කය, ජර්මනිය, පින්ලන්තය, නෙදර්ලන්තය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 14 ක්‌ තුළ පදිංචිව සිටින බවද හෙළිදරව් කෙරිණ.

මේ අන්දමින් එල්ටීටීඊ ත්‍රස්‌තවාදී ක්‍රියාකාරීන් රැඳී සිටින බවට අනාවරණය වූ විදේශ රාජ්‍ය අතරින් බොහෝ රටවල් මේ මොහොතේත් එල්ටීටීඊය දරුණු ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ ලෙස තහනමට ලක්‌ කළ රාජ්‍යයන් ලෙසද ප්‍රකටය. මෙලෙස රජය මගින් එල්ටීටීඊ ත්‍රස්‌තවාදයට පණ දීමට සැරසෙන පුද්ගලයන්ට තහනමක්‌ පනවමින් නිකුත් කළ නිවේදනයත් සමග එක්‌තරා සුවිශේෂී සිදුවීමක්‌ද සිදු විය. ඒ අදාළ තහනම් පුද්ගල නාම අතරට මෙරට ඉපදී ත්‍රස්‌තවාදීන්ට රට පාවා දුන් සිංහල කොටි ත්‍රස්‌තයන් දෙදෙනකුගේ නම් ද ඊට ඇතුළත් කර තිබීමය. ඉදින් අපි දැන් ඊනියා යුද අපරාධ යන්න මත රැඳී මේ බිමට ඇඟිලි දිගු කරන ජාත්‍යන්තරයෙන් මෙසේ විමසන්නෙමු.

නුඹලා කුමක්‌ කීවද, අපට එරෙහිව කෙසේ ක්‍රියාත්මක වුවද ශ්‍රී ලංකා රජය මේ ප්‍රකාශයට පත් කර පෙන්වනුයේ ජාතිවාදය හෝ වර්ගවාදය හෝ වෙන අන් යමක්‌ පිළිබඳ සටහනක්‌ද? නැත.

ලෝකයෙන් තුරන් කර දැමීමට නුඹලාද සැලසුම් සහගත ලෙස කටයුතු කළ සහ දැනුදු කරන, ඒ ලෝකය තුළ ජීවත් වන්නවුන් ලෙස නිදහසේ විසීම උදෙසා විනාශ කර දැමීමට අපටද අයිතියක්‌ ඇති සහ විනාශ කර දැමුවද අද දවසේ නුඹලාගේ පිහිටෙන් මේ බිමේ යළි හිස ඔසවමින් තිබෙන ත්‍රස්‌තවාදයේ කතාවය.

මෙරට දෙමළ, සිංහල, මුස්‌ලිම් සහ බර්ගර් ආදී ලෙසින් සියලු වැසියන් අරබයා අනාගත භීෂණයක්‌ සේ යළි ඉස්‌මතු වෙමින් තිබෙන මෙකී ත්‍රස්‌තවාදයේ කතාව තුළ ඇති පුද්ගල නාම අතරින් දෙමළ ත්‍රස්‌තවාදීන් යෑයි කියන කොටසට අයත් 422 ක නම් දැන් අපි අමතක කරන්නෙමු.

එහෙත් ආණ්‌ඩුව අද සිංහල කොටි ත්‍රස්‌තවාදීන් ලෙස හඳුන්වා තිබෙන දේශෙද්‍රdaහින් ලෙස කටයුතු කර ඇති තහනම් ලැයිස්‌තුවට ඇතුළත් ඉහත කී අපතයන් දෙදෙනා කවුරුන්දැයි විමසා බලන්නෙමු.

ඉන් එකකු වන්නේ නමින් අන්ද්‍රdහැන්නදිගේ චමින්ද දර්ශන නොහොත් අයිස්‌ මංජුය. අනෙකා ගුණරත්න බන්දුල ගජවීරය. මෙහිදීත් ගුණරත්න බන්දුල ගජවීර යනු යුද සමයේ එල්ටීටීයේ අවශ්‍යතා වෙනුවෙන් ඔත්තු බැලූ කාලකණ්‌නියෙකි. එසේම එල්ටීටීඊය වෙනුවෙන් මෙරටට ද්‍රවිඩ, සිංහල මුස්‌ලිම් ඇතුළු සාමාන්‍ය ජනතාවට එරෙහිව කඩේ ගිය එකෙකි.

අම්පාර අක්‌කරේපත්තුව ප්‍රදේශයේ ජීවත් වෙමින් එල්ටීටීයේ මුදලට සියල්ල පාවා දුන් හේ දැනුදු මේ රට තුළ සැඟව ජීවත් වන්නකු ලෙසද ආරක්‍ෂක අංශ හඳුනාගෙන තිබේ. ඇතැම් විට මේ සැඟවීම තුළ හේ දැනට මුස්‌ලිම් ජාතිකයකු ලෙස සියල්ල පාවා දී ජීවත් වනවාද විය හැකිය. එසේ නම් එය හඳුනා ගැනීම මෙරට සුජාත මුස්‌ලිම්වරුන්ගේ වගකීමක්‌ බවද මෙහිදී සටහන් කළ යුතුය. ඒවා කෙසේ වෙතත් මේ කතාවේදී ගජවීර නමැති පාවා දෙන්නාගේ සටහන මෙසේ කෙටියෙන් නිම කළ හැකි වුවද අන්ද්‍රdහැන්නදීගේ චමින්ද දර්ශන නොහෙත් අයිස්‌ මංජුව එලෙස ලෙහෙසියෙන් බැහැර කිරීමට අපට නොහැකිය. ඒ ගජවීර මෙන් නොව අයිස්‌ මංජු යනු පාවා දෙන්නකු පමණක්‌ නොව මේ බිමට එරෙහි ම්ලේච්ඡ තිරිසනකු ලෙස ක්‍රියාත්මක වූ නරුමයකු බවට වාර්තා වන හෙයිනි. සැබවින්ම මේ අන්ද්‍රdහැන්නදිගේ චමින්ද දර්ශන නොහොත් අයිස්‌ මංජු යනු කවරෙක්‌ද? දකුණේ ජීවත් වූ සිංහල පවුලක ඉපදී ඇති අයිස්‌ මංජු සිය ළමා කාලය ගෙවා දමන්නේ මාතර ගන්දර ප්‍රදේශයේ ය.

එහෙත් කිසියම් හේතුවක්‌ මුල් කර ගනිමින් 1987 වසරේ ගන්දර ප්‍රදේශය අතහැර යන අයිස්‌ මංජුගේ පවුලේ පිරිස සිය අලුත් නවාතැන ලෙස නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමලය සමුද්‍රdගම තෝරා ගනු ලබන්නේ හේ ගැටවර වියේ පසුවෙද්දීය. අයිස්‌ මංජු නැමති සුපිරි පාවා දෙන්නාගේ හෙවත් මේ කාලකණ්‌නි චරිතයේ සංක්‍රාන්ති සමය ඇරඹී ඇත්තේද එසේ පවුලේ පිරිස සමග ත්‍රිකුණාමලයේ පදිංචියට පැමිණීමත් සමගිනි. මෙකී පවුලේ පරම්පරාගත රැකියාව වී තිබුණේ ධීවර රැකියාව සඳහා යන බහුදින යාත්‍රාවලට අවශ්‍ය අයිස්‌ සකසා පැටවීමය.

අන්ද්‍රdහැන්නදිගේ චමින්ද කුමාර හෙවත් මංජු අයිස්‌ මංජු ලෙස ප්‍රකට වන්නේද එකී පවුලේ පරම්පරාගත රැකියාව නිසාය. මෙසේ ත්‍රිකුණාමලයට පැමිණීමෙන් පසු කෙමෙන් තරුණ වියට එළැඹෙන අයිස්‌ මංජුද මුල් වරට සිය රැකියාව ලෙස තොරා ගනු ලබන්නේ බහුදින යාත්‍රාවලට අවශ්‍ය අයිස්‌ සැපයීම වන අතර ඒ අනුව හේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන තෙල් කුමාර නමැත්තකු ළඟ අයිස්‌ කැඩීමේ රැකියාවකට යන්නේය.

එසේ තෙල් කුමාර ළඟ රැකියාව කරද්දී ත්‍රිකුණාමලයේ එකල ක්‍රියාත්මක වූ පාතාලයටද සමීප වන අයිස්‌ මංජු ජීවිතයේ මුල්වරට පාතාල ඝාතකයකු ලෙස සිය නම පොලිස්‌ පොත්වල සටහන් කරගෙන ඇත්තේ ත්‍රිකුණාමලය මර්තඩි හන්දියේ ව්‍යාපාර කරගෙන ගිය අවමංගල්‍ය ශාලා හිමිකරුවකු සහ ඔහුගේ සේවකයකු එකවර ඝාතනය කිරීමේ ද්විත්ව ඝාතනයක්‌ සමගිනි.

එකී ඝාතනයත් සමග පොලිසියට කොටුවී බන්ධනාගාරගත කෙරෙන අයිස්‌ මංජු කලකට පසු ඇප ලබා යළි සමාජගත වන්නේ නමින් අයිස්‌ මංජු වුවද රැකියාව ලෙස අයිස්‌ කැඩීම නොව කුලී ඝාතකයකු ලෙස මිනී මැරීම තෝරාගෙනය.

මෙසේ කුලී ඝාතකයකු බවට පත් වන අයිස්‌ මංජු පිළිබඳව තිබෙන ආරක්‍ෂක බුද්ධි අංශ වාර්තාවලට අනුව අනාවරණය වන සුවිශේෂම කරුණ වන්නේ ඔහු සිදු කළ සියලුම ඝාතන කර ඇත්තේ එල්ටීටීඊයේ කොන්ත්‍රාත්වලට අනුව වීමය.

පැහැදිලි ලෙසම මල්ශාලා හිමිකරු මරා දැමීමෙන් පසු ඝාතනය ජීවිතය කර ගත් අයිස්‌ මංජු එතැන් පටන් සිදු කළ සෑම ඝාතනයක්‌ම කර ඇත්තේ එල්ටීටීයේ කොන්ත්‍රාත්කරුවකු ලෙසය.

ඉකුත් 2003 ජුලි මස 17 වැනිදා ත්‍රිකුණාමලය සෙල්වනායගම්පුරම් හිදී අබ්දුල් කුද්දුස්‌ හා µරීඩ් නමැති එල්ටීටීඊ විරෝධි මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකු ඝාතනය කිරීම, පාතාල කෙරුමෙකු ලෙස ප්‍රකටව සිටිමින් එල්ටීටීයට එරෙහිව නැගී සිටි කපිල නමැත්තකු 2004 ජුනි මස 4 වැනිදා ත්‍රිකුණාමලය මාළු වෙළෙඳසළේදී වෙඩි තබා ඝාතනය කිරීම, 2005 ජුනි මස 18 වැනිදා එල්ටීටීඊ කොන්ත්‍රාත්තුවක්‌ මත ටී. එම්. චන්ද්‍රසිරි නොහොත් කිරිමහත්තයා මරා දැමීම, 2005 සැප්තැම්බර් දෙවැනිදා ත්‍රිකුණාමලය නගරයේ බුදු පිළිමය තැනීමට මුල් වූ එන්. එච්. ප්‍රියන්ත නොහොත් ඔක්‌කේ ප්‍රියන්ත ඇලස්‌වත්තේදී ගෙල කපා මරා දැමීම, එකී බුදුපිළිමය තැබීමේ සිද්ධියටම මුල් වූ තවත් ක්‍රියාකාරිකයකු වන ත්‍රිරෝද රථ රියෑදුරෙකු වූ අනුර ප්‍රියන්තව එල්ටීටීඊයේ කොන්ත්‍රාත්තුවකට අනුව ඝාතනය කිරීම ආදී ලෙසින් ආරක්‍ෂක අංශ වාර්තා අනුව මෙසේ අයිස්‌ මංජුගේ නම ඉදිරියේ ඇති තවත් ඝාතන රැසකි. මෙකී ඝාතන අතරේ වන ප්‍රබලම සිද්ධිය වන්නේ ආරක්‍ෂක හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු ලෙස පෙනී සිටිමින් 2005 වසරේ ඔක්‌තෝබර් 29 වැනිදා කිරිබත්ගොඩ ප්‍රදේශයේදී එවකට හමුදා බුද්ධි අංශයේ තෙවැනියා ලෙස කටයුතු කර්නල් තුවාන් මීඩින් වෙඩි තබා ඝතනය කිරීමය.

එකී ඝාතනයත් සමග එල්ටීටීඊ බල ප්‍රදේශයට එකල පලා ගිය අයිස්‌ මංජු ඉකුත් අවසන් සටන සමයේදී කිලිනොච්චිය ප්‍රදේශයේ සිටි බවටද ප්‍රභාකරන්ගේ අවසානය සමග හමුදා භාරයට පත්වූ එල්ටීටීඊ සාමාජිකයන් විසින්ම පසුගිය කාලයේ අනාවරණය කර තිබිණි.

එසේ සිටි මංජු අවසන් සටන දරුණු ලෙස ක්‍රියාත්මක වෙද්දී ඉන්දියාවට පලා ගිය බව අද ආරක්‍ෂක බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙන්නකි.

පසෙකෙsන් එල්ටීටීඊයේ නව නායකයා ලෙස පෙනී සිටි ගෝපි වෙඩි කා මිය යෑමය. තවත් පසෙකින් අයිස්‌ මංජු ඇතුළු කොටි ක්‍රියාකාරින් අරබයා රජය මගින් පනවා ඇති තහනමය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදයේ හොල්මන් මේ වන විට යළිත් වරක්‌ ශ්‍රී ලංකාව බිලි ගැනීමේ කුරුමානමක යෙදී සිටින බව මේ සියල්ල දෙස බැලිමේදී පැහැදිලිවම පෙනී යන්නකි. අද ඇමරිකාව ප්‍රධාන බටහිර ඇතැමුන් යුද අපරාධ යන්න මුලට ගෙන අපට එරෙහිව ඇඟිලි දිගු කරමින් සිටිනුයේ යථාර්ථය එසේ වෙද්දීය. නමුත් මේ සියල්ලන්ගෙන් අපට අවසන් වශයෙන් අසන්නට ඇත්තේ නුඹලාගේ උඩගෙඩි දීම් හමුවේ එල්ටීටීයේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය මේ බිමේ යළි මතු වුවහොත් දෙකෝටියක්‌ වන ශ්‍රී ලාංකික ජනතාවගේ මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කරන්නේ කවුරුන්ද යන්නය.

එවැන්නක්‌ සිදු වුවහොත් මෙදා දවසේ අපට චෝදනා නගන නවනීදන් පිල්ලේ ඇතුළු බටහිර ප්‍රජාවට අද මෙන් "යුද අපරාධ යුද.. යුද අපරාධ.." කියමින් විකාරයෙන් දොඩවන ආකාරයේ මොලේ අමාරුවක්‌ ඇති විය හැකිද? කිසිසේත්ම එවැරන්නක්‌ නම් සිදු නොවන්නේමය.

සමන් ගමගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.