දොස්‌තර මාමේ පයින් ගහන්නට
මොකක්‌ද මං කළ වරද කියන් මට!


කුඩා දරුවන්ට කවුරුත් කැමතිය. කාටත් වරදක්‌ නැති කුඩා දරුවන්ගේ හදවත් පිරිසිදුය. ඔවුන්ට වෛරයක්‌ ක්‍රෝධයක්‌ නැත. මලක්‌ වැනි දරුවෙකුට වෛද්‍යවරයකු පයින් ගැසූ හද කකියන කතාවක්‌ ඉකුත් සතියේ අපට අසන්නට ලැබිණි.

මෙම සිද්ධිය නතර වූයේ මාතලේ පොලිසියෙන්ය.

දරුවාගේ මව වන සුනේත්‍රා මහත්මිය මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කළාය.

මෙම සිද්ධිය පිළිබඳව මාතලේ පොලිසිය අධිකරණයේ නඩුවක්‌ පැවරීමට සූදානමින් සිටින බවද කියති.

මෙම වෛද්‍යවරයාගේ පයින් පහරක්‌ කෑ දරුවා සමඟ මම දුරකථනයෙන් කතා කළෙමි.

පුතේ... ඔයාට දොස්‌තර මාමා ගැහුවාද?

දොස්‌තර අන්කල් ගැහුවා... මට පයින් ගැහුවා.

ඇයි පුතාට ගැහුවේ? මම යළි ඇසීමි.

බිත්තියට හේත්තුවුණා කියලා එයා මට ගැහුවා....

අනතුරුවම මම තවත් ප්‍රශ්ණ කීපයක්‌ ඇසුවෙමි. එහෙත් ඉන් එහාට ඔහු පිළිතුරු දුන්නේ නැත.

දරුවා බිත්තියෑයි කීවේ හාඩ්බෝඩ් ආවරණයකට බව ඒ දරුවාගේ මව වන සුනේත්‍රා මහත්මියද කළ විස්‌තරයෙන් මට පැහැදිලි විය.

මේ ඇයගේ කතාවේ ඉතිරියයි.

"මගේ දරුවාට උණ හැදුණා. මං දරුවත් අරගෙන මාතලේ රෝහලට ගියා. අපි පෝලිමේ හිටියා. එක ළමයෙක්‌ දොස්‌තර මහතාගේ කාමරයේ දොරටත් තට්‌ටු කළා. කොහොම හරි ටික වේලාවකින් ඒක නතර වුණා. මගේ පුතාත් ඒකාමරයේ බිත්තියට (හාඩ් බෝඩ් එකට) හේතුවෙලා හිටියෙ. එතකොට මොකක්‌හරි ශබ්දයක්‌ එන්න ඇති. ඒ එක්‌කම දොස්‌තර මහත්තයා කාමරයේ ඉඳලා එළියට ආවා. එයා මගේ පුතාව ඇදගෙන කාමරයට ගියා. මමත් පස්‌සෙන් ගියා. ඒත් දරුවා ඒ මොහොතේම අඬාගෙන මගෙ ළඟට ආවා. දොස්‌තර මහත්මයා එයාට පයින් ගැහුවා කියල එයා අඬන්න ගත්තා.

මේ රෝහලේ හිටපු හුඟ දෙනෙක්‌ කිව්වා හරි අපරාදයක්‌ නෙ මේ පොඩි උන්ට ඔහොම ගහනවදත් කියලා. පස්‌සේ පොලිසියට ගිහින් පැමිණිලි කරන්න මට හිතුනා.

පොලිසියෙ මහත්තුරු මේ සිද්ධිය අහල හුඟාක්‌ කම්පාවුණා. මේ වගේ දරුවෙකුට දොස්‌තර කෙනෙක්‌ ගහපු එක වැරදියි කියලා මිනිස්‌සු දොස්‌ කිව්වා.

මෙම තත්ත්වය සමාදාන කරන්න කීපදෙනකු උත්සහ ගත්තා. ඒත් පොලිසිය දිගටම පරීක්‍ෂණ පවත්වනවා කිව්වා.

දැන් ඉතිං ඒ ගැන මුකුත් හිතන්න බැහැ."

මේ දරුවාගේ පියාට ස්‌ථිර රැකියාවක්‌ නොමැත. දරුවාට කළ මෙම හිංසනය පිළිබඳව ඔවුන් වේදනාවට පත්ව සිටියි.

"වෛද්‍යවරයෙක්‌... මේ වගේ දරුවෙකුට පයින් ගැසීම හරිම තිරිසන් වැඩක්‌. අපි දුප්පත් බව ඇත්ත. ඒත් මෙහෙම කරන්ඩ වටිනවද?" ඔහු කියයි. පොඩි දරුවෙක්‌ බොරු කියන්නේ නැහැ... දරුවාට මේ විදිහට පා පහරක්‌ එල්ල කිරීම ඉතා අමානුෂිකයි... වෛද්‍ය සංගමයේ අයෙක්‌ද කීය.

මාතලේ රෝහලේ අධ්‍යක්‍ෂ දොස්‌තර අර්ජුන තිලකරත්න මහතාගෙන් මේ පිළිබඳව අපි කරුණු විමසුවෙමු.

"හරිම පුදුමයි... වෛද්‍යවරයෙක්‌ මේ විදියට දරුවන්ට ක්‍රියා කිරීම ගැන.... හැබැයි දරුවෝ කවදාවත් බොරු කියන්නේ නැහැ... ඒ හින්දා මේ පිළිබඳව රෝහල් මට්‌ටමෙනුත් අපි පරීක්‍ෂණයක්‌ ආරම්භ කරලා තියෙනවා."

මෙම චෝදනාව අදාළ වෛද්‍යවරයා ප්‍රතික්‍ෂේප කර ඇතත් මාතලේ පොලිසිය සහ පොලිස්‌ ළමා සහ කාන්තා කාර්යාංශයද මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භකර ඇත.

පොලිස්‌ ප්‍රකාශකයකු කීවේ... මෙවැනි සිද්ධියක්‌ පිළිබඳව ලැබුණු ප්‍රථම පැමිණිල්ල මෙය බවය.

ඕනෑම වෛද්‍යවරයෙක්‌ තමා ළඟට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුවන්ට පමණක්‌ නොව වැඩිහිටියන්ට පවා සලකන්නේ ඉතා ආදරයෙන්. ඒත් මෙම වෛද්‍යවරයා මෙසේ ක්‍රියා කළේ නම් එය වෛද්‍ය ක්‍ෂේත්‍රයට පවා බරපතළ කැළලක්‌ බවය.

වෛද්‍ය වෘත්තියට කිසියම් අසාධාරණයක්‌ වූයේ නම් දවස්‌ ගණන් වර්ජනය කර රෝහල් වසා දමන යුගයක වුවද මේ පුංචි දරුවාට කළ අරියාදුවට විරුද්ධව නැගී සිටින්නට තරම් කෙනෙක්‌ නැතිවීම පුදුම නැත.

අදාළ වෘත්තිය සංගම් වෛද්‍යවරයාගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳවද සොයා බැලිය යුතුයි.

මෙම දරුවාට පමණක්‌ නොව මුළුමහත් දරු පරපුර වෙනුවෙන් මේ පිළිබඳව කරුණු සොයා බැලිය යුතුය.

චෝදනාවට ලක්‌වූ වෛද්‍යවරයා හැර මාතලේ රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට මේ වනතෙක්‌ මහජන පැමිණිල්ලක්‌ ලැබී නැත. මාතලේ රෝහලේ වෛද්‍යවරු පමණක්‌ නොව වෙනත් කාර්ය මණ්‌ඩල පවා ජනප්‍රියය.

දරුවාට පයින් පහරදුන් බව කියනු ලබන වෛද්‍යවරයා මෙවැන්නක්‌ කළේ ඇයි... මේ ආකාරයට හැසුරුණේ ඇයි.

දරුවාගේ මේ ප්‍රකාශය අසත්‍යයක්‌ බවට මේ වනතුරු කරුණු හෙළි වී නැත. පුංචි දරුවෝ බොරු නොකියති. මාතලේ රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ මෙම කතාවේ හරයක්‌ ඇත.

නෝමන් පලිහවඩන
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.