ඩෙංගුවලට වෙන් කළ කෝටි ගණනක්‌ වතුරේ

අජිත් අලහකෝන්

ඩෙංගු රෝගීන් සඳහා රෝහල් තුළ අධිසත්කාර ඒකක ස්‌ථාපිත කිරීම සඳහා වෙන් කර තිබෙන රුපියල් කෝටියකට අධික මුදලක්‌ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන විසින් ප්‍රචාරක කටයුතු සහ වෙනත් වියදම් සඳහා වැය කර ඇත.

මේ සම්බන්දව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති චෝදනා කර සිටී.

එපමණක්‌ නොව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන යටතේ පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ මදුරු මර්දන සති ද සම්පූර්ණයෙන්ම අසාර්ථක වීම නිසා ඊට සහාය ලබා දෙන අමාත්‍යාංශ මෙම මදුරු මර්දන වැඩසටහනෙන් ඉවත්ව යැමේ අවදානමක්‌ ද පවතින බව එම වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටී.

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා දිවයිනේ රෝහල් රැසක අධි සත්කාර ඒකක ස්‌ථාපිත කිරීමට තීරණය කර ඇති අතර, ඒ යටතේ එක්‌ රෝහලකට රුපියල් ලක්‍ෂ විස්‌සක මුදලක්‌ වෙන් කර ඇත.

රෝහල් විස්‌සක අධි සත්කාර ඒකක සෑදීම සඳහා මහා භාණ්‌ඩාගාරයෙන් වෙන් කර ඇති රුපියල් ලක්‍ෂ හාරසියයක මුදලින් වැඩි ප්‍රමාණයක්‌ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් මදුරු මර්දන සතියේ ප්‍රචාරක කටයුතු සහ අනෙකුත් වියදම් සඳහා යොදාගෙන ඇති බවට චෝදනා එල්ල කර සිටී.

එහෙත් මදුරුවන් මර්දනය කිරීම සඳහා පසුගිය 2 වැනිදා සිට 8 වැනිදා දක්‌වා ද රටපුරා මදුරු මර්දන සතියක්‌ ක්‍රියාත්මක කළ නමුත් එය ද සම්පූර්ණයෙන් ම අසාර්ථක වී ඇත. මේ සඳහා කිsසිදු වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර නැති අතර ඒ නිසාම මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සහාය දක්‌වන අනෙකුත් අමාත්‍යාංශ එම කටයුත්තෙන් ඉවත්වීමේ අවදානමක්‌ ද පවතින බව වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.