පවුල් සෞඛ්‍ය සේවා වර්ජනය අත්හිටුවයි

ඒමන්ති මාරඹේ

රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු) විසින් ඉකුත් 02 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ඊයේ (17 දා) සිට තාවකාලිකව අත්හිටවූ බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය "දිවයින"ට පැවැසුවාය. අලුතින් රජයේ රෝහල්වලට බඳවා ගනු ලබන සියලු හෙදියන්ට ඉදිරියේදී සූතිකා පුහුණුව ලබා නොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් පොරොන්දුව මත මෙම වර්ජනය අත්හිටවූ බව ඇය කීවාය.

හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් තම සංගමය වෙත ලබාදී ඇති පොරොන්දුව ලිඛිතව ළඟදීම ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පෙරේදා (16 දා) තම සංගමය වෙත දැනුම් දුන් බවද කොඩිතුවක්‌කු මහත්මිය සඳහන් කළාය.

ඉකුත් 10 වැනිදා සිය සංගමය හා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධව මූලික එකඟතාවක්‌ ඇති කර ගත් බවද ඇය කීවාය.

මේ අතර එක්‌සත් ලංකා පවුල් සෞඛ්‍ය සේවා සංගමයද නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටිනුයේ හෙදියන්ට මින් ඉදිරියට සූතිකා පුහුණුව ලබා නොදෙන බවට සෞඛ්‍ය බලධාරීහු තම සංගමයටද පොරොන්දු වූ බවකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.