මුස්‌ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට විල්පත්තු
අභය භූමියේ බිම් අඟලක්‌වත් එළිකර නැහැ

බොදු බල සේනා සංවිධානයෙන් මිලියන 500 ක වන්දියක්‌ ඉල්ලනවා

ඇමැති රිශාද් බදියුදීන්


අකිත පෙරේරා

මුස්‌ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා විල්පත්තු අභය භූමියේ බිම් අඟලක්‌ හෝ තමා එළිකොට නැතැයිද එසේ සිදුකළ බවට බොදු බල සේනා සංවිධානය විසින් තමන්ට එරෙහිව සිදුකරන චෝදනා අසත්‍ය බවද කර්මාන්ත හා වාණිජ ඇමැති රිශාද් බදියුදීන් මහතා කීය.

විල්පත්තු අභය භූමියට තමන් ආදරය කරන බවත්a එය විනාශ කිරීමට තමන් ඉඩ නොදෙන අතර එම අභය භූමිය ඇතුළත ජනතාව පදිංචි කිරීම වැරදි බවත් ඇමැතිවරයා එම අමාත්‍යාංශයේදී ඊයේ (17 දා) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍ය විසින් ඇමැති රිශාද් බදියුදීන් ඇමැතිවරයාව දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්‌ කෙරිණි.

1990 වසරේදී උතුරෙන් පන්නා දැමූ මුස්‌ලිම් ජනතාව යළි තම වාසභූමි වෙත පැමිණ කූඩාරම් ගසා ගැනීම නිසා මෙම තත්ත්වය ඇතිවූ බවද ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

එසේ පැමිණි ජනතාව වන්නේ මරිච්චිකඩ්ඩි, කරඩිකුලි, පාලෛයිකුලි, මුල්ලිකුලම් යන ගම්මාන හතරෙහි පදිංචිව සිටි අය බවත් එම ගම්මාන පිහිටා ඇත්තේ විල්පත්තු අභය භූමියේ මායිම්වලට යාබදව බවද හෙතෙම පැවසීය.

මුල් පදිංචිකරුවන් වූ පවුල් 73 ක එම ජනතාවට "ජාසිම් සිsටි" නමින් නිවාස යෝජනා ක්‍රමයක්‌ ඉදිකිරීමට ඉඩම් බෙදා හැරීම තම කාර්යාලය විසින් සිදුකළ අතර ඊට ජනාධිපති කාර්ය සාධක බළකායේ අවසරය ද ලබා තිබූ බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම නිවාස යෝජනා ක්‍රමයට තමන් කිසිම අයුරකින් විල්පත්තු අභය භූමියට අයත් ඉඩම් භාවිත නොකළ බවට තමන්ට තහවුරු කළ හැකි බවද ඒ මහතා කීය.

එසේ අභය භූමියේ ඉඩම් භාවිත කළේ යෑයි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නගන චෝදනා නිසා තමන්ට අපහසයක්‌ සිදුවූ අතර ඊට වන්දි වශයෙන් මිලියන 500 ක වන්දියක්‌ ඉල්ලා ලබන 21 වැනි දින නඩුවක්‌ පවරන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවට පැමිණ සිටි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා පැවසූ කරුණු සහ ඇමැතිවරයාගේ කරුණු සම්බන්ධව ඇතැම් අවස්‌ථාවල දී පරස්‌පරතා තිබූ අතර මාධ්‍ය විසින් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම් නිසා මාධ්‍ය හමුව විටින් විට උණුසුම් මුහුණුවරක්‌ ගනු ලැබීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.