මාස 3 ක්‌ තුළ මැලේරියා රෝගීන් තිදෙනකු මීගමුවෙන් හමුවෙලා

අජිත් අලහකෝන්

ගතවූ මාස තුන තුළදී මෙරටින් මැලේරියා රෝගීන් තිදෙනකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක්‌ ඊයේ (17 දා) "දිවයින"ට ප්‍රකාශ කළේය.

මෙම මැලේරියා රෝගීන් තිදෙනාම වාර්තා වූයේ මීගමුව මහ රෝහලෙන් වන බවද ඔවුන් අතර වයස අවුරුදු දෙකහමාරක පිරිමි දරුවකු සිටි බවද හෙතෙම කීය.

එමෙන්ම පසුගිය වසරේදීද මැලේරියා රෝගීන් දහ අටදෙනකු මීගමුව මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි කී හෙතෙම මෙම රෝහලෙන් මේ වන විට වාර්තා වූ මැලේරියා රෝගීන් විසි එක්‌ දෙනාම මුස්‌ලිම් ජාතිකයන් වීම විශේෂයක්‌ බවද ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ කරුණු සොයා බැලීමේදී වාර්තාවූ මැලේරියා රෝගීන් විසි එක්‌දෙනාම පාකිස්‌ථානයේ සිට මෙරටට සංක්‍රමණය වූවන් බවද හෙළිවී තිබේ.

පකිස්‌ථානයේ පවත්නා යුද ගැටුම් නිසා ඉස්‌ලාමීය සංවිධානයක්‌ විසින් පකිස්‌ථානු ජාතිකයන් පුත්තලම මීගමුව වැනි ප්‍රදේශවල පදිංචි කරවන බවද මැලේරියාව වැළදී තිබෙන්නේ එසේ පදිංචිවූවන්ට බවද තොරතුරු අනාවරණය වී ඇත.

පකිස්‌ථානය වෙතින් සංක්‍රමණය වන මෙම පිරිස්‌ ඉහත ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකීය මුස්‌ලිම් නිවෙස්‌වල නතර කරවන අතර ඔවුන් පාකිස්‌ථානයේ සිට මෙරටට පැමිණෙන්නේ මැලේරියා රෝගයද සමගින් බව කී ඉහත ප්‍රකාශකයා මේ පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමුකළ යුතු බවද කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.