රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාෆියාවක්‌!
- ශ්‍රී ලංකා ආහාර හා පෝෂණවේදීන්ගේ සංගමයේ සභාපතිනි

ආහාර හා පෝෂණවේදීන් බඳවා ගන්නැයි ඉල්ලීම්

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ශ්‍රී ලංකාවේ පවතින උග්‍ර ආහාර හා පෝෂණවේදීන්ගේ හිඟය අඩුකර ගැනීම සඳහා කඩිනමින් ආහාර හා පෝෂණවේදීන් බඳවා ගන්නැයි ශ්‍රී ලංකා ආහාර හා පෝෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සමස්‌ත රාජ්‍ය අංශයටම සිටිනුයේ ආහාර හා පෝෂණවේදීන් 4 දෙනකු පමණක්‌ බවත්, ඉන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලේ ද, තවත් අයකු මහනුවර මහ රෝහලේද, අනෙක්‌ අය පෝෂණ සම්බන්ධීකරණ අංශයට අනුයුක්‌තව සේවය කරන බවත් එම සංගමයේ සභාපතිනි ප්‍රියංවදා අමරසේකර මහත්මිය "දිවයින"ට පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ඈත පළාත්වල වෙසෙන පෝෂණ ප්‍රතිකර්ම අවශ්‍ය වන්නන් හා රෝගීන් කොළඹට හෝ මහනුවරට පැමිණිය යුතු බවද ඇය සඳහන් කළාය.

2013 නොවැම්බර් 08 වැනිදා රට පුරා රෝහල්වල පවතින පෝෂණවේදී පුරප්පාඩු 41 ක්‌ සඳහා බඳවා ගැනීමට ගැසට්‌ කළ බවත්, එහෙත් අද වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම මත සහ පෝෂණය පිළිබඳව දන්නේ යයි කියාගන්නා කීපදෙනකුගේ බලපෑම මත මෙම බඳවා ගැනීම් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්හිටුවා ඇති බවත් ඇය කියා සිටියාය.

එයට හේතුව ලෙස දැනගැනීමට ඇත්තේ වෛද්‍යවරුන් සඳහා "පෝෂණවේදී" යන නම ලබාගැනීම හා එම කාර්යභාරය සඳහා වෛද්‍යවරුන් යෙදවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දරන ප්‍රයත්නය බවද ඈ සඳහන් කළාය.

මෙහිදී තවදුරටත් කතා කළ ශ්‍රී ලංකා ආහාර හා පෝෂණවේදීන්ගේ සංගමයේ සභාපතිනිය මෙසේද කියා සිටියාය.

"රෝගියකුට ප්‍රතිකාර කිරීම යනු සාමුහික ප්‍රයත්නයක්‌. එහිදී වෛද්‍යවරුන් පමණක්‌ ප්‍රමාණවත් නොවේ. මෙම ක්‍රියාදාමයට පෝෂණවේදීන්ගේ, ඖෂධවේදීන්ගේ, විකිරණ ශිල්පීන්ගේ, රසායනාගාර ශිල්පීන්ගේ, හෙදියන්ගේ, කනිෂ්ඨ කාර්ය සහායකයන්ගේ දායකත්වයද ඉතා අවශ්‍යයි. එහෙත් අනවශ්‍ය අතපෙවීම් මගින් වෘත්තීය සංගමයක්‌ වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාµsයාවක්‌ ලෙස මුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයම අවුල් කරමින් තම පෞද්ගලික අවශ්‍යතා සපලකර ගැනීම සඳහා ක්‍රියාකරමින් සිටිනවා. මේ නිසා අප සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ දැනට පුරප්පාඩු 41 ක්‌ ඇති ආහාර හා පෝෂණවේදීන් බඳවා ගන්නා ලෙසයි."
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.